මෝටර් රිය දියවන්නාවට පෙරළීම - ජනපති සබඳතාවක් ගැන සමාජ ජාලා ප්‍රචාර අසත්‍යයි | දිනමිණ

මෝටර් රිය දියවන්නාවට පෙරළීම - ජනපති සබඳතාවක් ගැන සමාජ ජාලා ප්‍රචාර අසත්‍යයි

විජයානි එදිරිසිංහ සහ රක්ෂණ ශ්‍රියන්ත

තලවතුගොඩ ප්‍රදේශයේදී පසුගිය 17 වැනිදා බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් ඔයකට පෙරළී තිබූ අතර එම මෝටර් රථයට ජනාධිපතිවරයාගේ සම්බන්ධතාවයක් ඇති බවට සමාජජාලා ඔස්සේ කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා නිල වශයෙන් ප්‍රකාශ කරයි. එදින පෙරවරු 6.00ට පමණ තලංගම පොලිස් වසමේ තලවතුගොඩ ප්‍රදේශයේදී එම මෝටර් රථය ඔයකට පෙරළීමෙන් පසු රියදුරු පළාගොස් තිබේ. අංක CBB 5005 දරණ BMW මෝටර් රථය මේ වනවිට තලංගම පොලිස් බාරයට ගෙන ඇත.

එම මෝටර් රථයේ ලියාපදිංචි අයිතිකරු, අංක 85, සිගේරා පාර, මාදිවෙල ලිපිනයේ පදිංචි ෆාහිම් මොහොමඩ් හුසේන් යන අය වෙයි. එමෙන්ම සිදුකර ඇති විමර්ශනයේදී සඳහන් කර ඇති ප්‍රකාශ කිහිපයකින් සහ CCTV දර්ශනවලින් ද එම ලියාපදිංචි අයිතිකරු විසින්ම එම අවස්ථාවේ එම රථය පැදවූ බවටද තහවුරු වී තිබේ. රිය අනතුරක් සිදුකර පළායාම සම්බන්ධයෙන් එම තැනැත්තා අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය විමර්ශන සිදුකරයි.

තත්ත්වය එසේ තිබියදී හුදෙක් දේශපාලනික වෛරී භාවයන් සාක්ෂාත් කර ගැනීම සඳහා එම රථයට ජනාධිපතිවරයාගේ සම්බන්ධතාවය තිබෙන බව සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් පවතී. එහෙත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ද රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

නව අදහස දක්වන්න