නාමල් මිතුරකු බව කී නිසා කෝටි 3 මාරු කර දුන්නා | දිනමිණ

නාමල් මිතුරකු බව කී නිසා කෝටි 3 මාරු කර දුන්නා

කුමුදු හෙට්ටිආරච්චි

ගවර්ස් කෝපරේට් සමාගමේ සේවය කළ ඉන්දික කරුණාජීව රුපියල් මිලියන 30 ක චෙක්පතක් මාරුකර දෙන මෙන් පැවසූ බවත් ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ මෙන්ම එවකට පැවති රජයේ ඉහළ පිරිස් හඳුනන නිසා කුඩා ව්‍යාපාරිකයෙකු වූ තමන්ට බැහැ කියන්න නොහැකි වූ බවත්, රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදුකළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හයකට එරෙහි නඩ‍ුවේ සාක්කි දුන් බොස්ටන් කැපිටල් පුද්ගලික සමාගමේ සභාපති රොහාන් අබේ ඊරියගොඩ මහතා ඊයේ (20) පැවසීය.

ගවර්ස් කෝපරේට් සමාගම එවූ ඉන්වොයිස් පහක් මත තම අත්සනින් යුතු චෙක්පත් මඟින් එම මුදල ලබා දුන් බවත් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ඇරඹූ පසු කලින් එවූ ඉන්වොයිස් පත් පහේ ව්‍යාපෘති සඳහන් කළ නොහැකි වූ බව පවසා කුඩා සුළං විදුලි ව්‍යාපෘති ඇරඹීම යනුවෙන් සඳහන් වෙනත් ඉන්වොයිස් පත් පහක් ගවර්ස් කෝපරේට් සමාගම තම සමාගමට එවූ බවත් සාක්කිකරු ඊයේ (20) පැවසීය.

ගවර්ස් කෝපරේට් සමාගමේ සේවය කළ ඉරේෂා සිල්වා මේ නඩුවේ සිවුවැනි විත්තිකාරිය ඒ බව තමාට දුරකථනයෙන් දන්වා ව්‍යාපෘති සඳහන් කර වෙනස් කළ ඉන්වොයිස් පත් පහක් තම සමාගමට එවූ බව පැවසූ සාක්කිකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ එම ඉන්වොයිස් පත් බව ද පැවසීය.

කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා හමුවේ ‍එම නඩුව විභාගයට ගැනෙන අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ සාක්කි මෙහෙයවීම මත සාක්කි දෙමින් රොහාන් අබේ ඊරියගොඩ මහතා එසේ පැවසීය.

හෝවල් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගමෙන් ලද මිලියන තිහක චෙක්පත මාරු කර දෙන ලෙස නඩුවේ දෙවන විත්තිකරු වූ ඉන්දික කරුණාජීව දුරකථන ඇමතුමක් මඟින් ඉල්ලා සිටි බවත්, ඔහු තමාගේ පාසලේ නිසාත්, නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරකු බවත් පැවසූ සාක්කිකරු ලියුම් කවරයක දමා තම සමාගම වෙත එවා තිබූ රුපියල් මිලියන තිහක චෙක්පත මාරුකර මුදල් තම සමාගම වෙත රැගෙන ආ බවත් පැවැසීය.

එම මුදලින් රුපියල් මිලියන හතක් තම කාර්යාල ප්‍රයෝජනයට තබා ඉතිරිය තම සමාගම් ගිණුමට දැමූ බව පවසා සිටි සාක්කිකරු ගවර්ස් කෝපරේට් සමාගම එවූ ඉන්වොයිස් මත චෙක්පත් මගින් එම මුදල ලබාදුන් බවත් පැවසීය.

රෝයල් සෙරමික් සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ නිමල් පෙරේරා මහතා මගින් නාමල් රාජපක්ෂ මහතා තමා හඳුනාගත් බවත් සාක්කිකරු පවසා සිටියේය.

මෙගා වොට් සියයේ කුඩා සුළං විදුලි ව්‍යාපෘති ඇරඹීමට කියා ඉන්වොයිස්පත් ගවර්ස් කෝපරේට් සමාගමෙන් එවා තිබුණද තම සමාගම කිසිවිටෙක එවැනි ව්‍යාපෘතියකට සම්බන්ධ නොවූ බවද සාක්කිකරු වැඩිදුරටත් පැවැසීය.

නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති සිද්ධියට අදාළ ඉන්වොයිස්පත් හා ඒ වෙනුවෙන් සාක්කිකරුගේ සමාගම නිකුත් කළ චෙක්පත් සාක්කිකරු විසින් ඊයේ (20) විවෘත අධිකරණයේදී හඳුනා ගත්තේය.

වැඩිදුරටත් විභාගය මැයි 30 හා 31 වැනි දිනට කල් තැබුණි.

ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම, ඔරෙනෙලා ඉරේෂා සිල්වා හා නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවෝ ඊයේ (20) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නඩුවේ දෙවැනි විත්තිකරු වූ ඉන්දික ප්‍රභාත් කරුණාජීව හා සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම නැතිව සාක්කි ආඥා පනතේ 241 වගන්තිය අනුව මෙම නඩුව විභාගයට ගැනේ.

නඩුව ඊයේ (20) විභාගය සඳහා කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් හට අධිකරණ භාෂා පරිවර්තක විසින් චෝදනා පත්‍රය කියවා දුන් අතර විත්තිකරුවන් සිවු දෙනාම ඔවුන් චෝදනාවන්ට නිවැරැදිකරුවන් බව පැවසීය.

ඒ අනුව විභාගය ඊයේ (20) ආරම්භ කෙරුණි.

අධිචෝදනා 11ක් මත මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව අධි චෝදනා නඟා ඇත.

නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා පෙනී සිටි අතර 2,04 සහ 05 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියේය.

තුන්වන විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.

නව අදහස දක්වන්න