මුල් මිනිසා ගැන කියන සොඳුරු බිම්පෙත බටදොඹ ලෙන | දිනමිණ

මුල් මිනිසා ගැන කියන සොඳුරු බිම්පෙත බටදොඹ ලෙන

ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසයේ දැනට සොයාගෙන ඇති මානව සම්පතේ මූලාරම්භය ලෙස සැලකෙන, 'හෝමෝ සේපියන්' කුලයේ'බලංගොඩේනිසිස්' යන නාමයෙන් හැඳින්වෙන 'බලංගොඩ මානවයාගේ' රහස් සඟවාගෙන, සුනීල කඳු පන්ති දෙකක් අතර පිහිටා ඇති 'බටදොඹ ලෙන' වචනයේ පරසමාප්ත අර්ථයෙන් ම චිත්තාකර්ෂණීය පරිසරයකට උරුම වේ. මේ සුවිශේෂී බිම්පෙත, සුන්දරත්වය දායාද කර ගත්, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්, සුවිශේෂී ස්ථානයකි.

අවිස්සාවේල්ල - රත්නපුර මහා මාර්ගයේ කුරුවිට නගරයෙන් වමට හැරී, එරත්න පාරේ කිලෝ මීටරයක් පමණ ගමන් කර,එක්නැලිගොඩදී දකුණට හැරී, එතැන් සිට ගුරුළුවාන මාර්ගයේ තවත් කිලෝ මීටරයක් පමණ ගමන් කර, සපුගස්තැන්න ගම්මානයට ළඟාවී, තරමක් දුෂ්කර අඩි පාරක පා ගමනින් ගොස්, කිරිගල්කන්ද ඔස්සේ මේ ස්ථානයට ළඟාවිය හැකි ය.

නිති ඇසෙන කුරුලු කූජන මෙන් ම, රිළා වඳුරන්ගේ ගෙරවුම් හඬ ද සවන්පත් අතරට සමීප වෙද්දී, වැහි වනාන්තරයකට නෑකම් කියන රූස්ස ගස් කොළන් අතරින් එහි ළඟාවන කෙනකුට, ප්‍රථමයෙන් ම දැකගත හැක්කේ, මීටර සියයක් පමණ උස, මීටර එකසිය පනහක් පමණ දිගැති බටදොඔ ලෙන සහ එහි මුවදොරයි.

ලෙන තුළට ඇතුළුවන අය වෙසෙසින්ම සැළකිල්ලට ගත යුත්තේ, එහි වෙසෙන බව කියැවෙන සර්පයන්ගෙන් ප්‍රවේශම් වීම බව, එහි සේවයේ යෙදී සිටි ජයන්ත නමැති මුරකරුගෙන් දැනගන්නට ලැබිණ.මෙහි වැඩියෙන්ම හමුවන සර්පයා මාපිලා බව ද කියැවේ. එමෙන් ම, ලෙන තුළ පදිංචි වී සිටින දහස් සංඛ්‍යාත කිරි වවුලන්ගෙන් නිකුත් වන දුගඳ ද ඉසිලිය නොහැකි තරම් ය.

ඇතුළුවන ස්ථානයේ පිහිටි ප්‍රධාන ලෙනට අමතරව, තවත් කුඩා ලෙන් තුනක් මෙහි ඇත. ඒවා ප්‍රධාන ලෙනට සමාන්තරව පිහිටා තිබේ. ඉන් එකක් 'ආනන්ද ලෙන' යනුවෙන් නම් කර ඇත. එහි වීදුරු කුටියක් තුළ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර තිබේ. ඉන් එහා පිහිටි ලෙන තුළ කලක් වැඩ සිටි බව කියන උන්මත්තක බෞද්ධ හික්ෂුවක්, සිය ගත පුරා භූමිතෙල් වත් කර‍ගෙන ගිනි තබාගෙන තිබේ. අනතුරුව උන්වහන්සේ සියදිවි නසාගත් පුවතක් ද වාර්තාවී ඇත. මෙය සිදුවී ඇත්තේ වසර 1986 දී ය.

මේ අති විශාල ලෙන් පර්වතය මුදුණේ වැවී ඇති විවිධ ගස් සහ වැල්, පරිසරයට අමුතු අලංකාරයක් එක් කරන සෙයකි. ලෙන වටා මිනිසා විසින් නිර්මාණය කරන ලද කුඩා ලෙන් කුටි ගණනාවක් ම දැකිය හැකිය.මේවා කලක් වනවාසී භික්ෂූන් විසින් පරිහරණය කර ඇති බව සැලකේ. මෙය කරා යනෙන මාර්ගය දෙපසින් ගලා බසින කුඩා දොළ පහරවල් කිහිපයක් ද වෙයි.

මෙහි ප්‍රධාන ලෙන තුළ කරන ලද කැණිමකදී, බලංගොඩ මානවයාගේ ඇට සැකිල්ලක් හමුවී ඇත. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් දියත් කෙරුණු එම කැණීමේදී, එම මානවයා පරිහරණය කළ බවට සැලකෙන භාණ්ඩ ගණනාවක් ම හමුවී ඇත.ගල් දුන්නක කොටස්,සිදුරු කළ ගොළු බෙලි කටු,සත්ව හමින් කළ වෙළුම් පටි සහ ඉඳිකටු බඳු උපකරණ ද ඒ අතර තිබී ඇත.

බටදොඹ ලෙනේ ප්‍රධාන ලෙන තුළ සිදු කෙරුණු කැණීමේදී හමු වූ මානව ඇටසැකිල්ල පිළිබඳ අමෙරිකාවේ කැලිෆෝර්නියාහි දී සිදු කරන ලද පොසීල කාබන් විශ්ලේෂණයේදී, එය වසර 28.000 ක් පමණ පැරැණි බවට නිගමනය වීමත් සමඟ, බලංගොඩ මානවයා ලෝක ප්‍රසිද්ධ විය.

මිට අමතරව බටදොඔ ලෙනට කිට්ටුව ගෝනපිටිය ප්‍රදේශයේ කුඹුරක මැණික් පතලකින් 1949 වසරේදී රයිනෝසිරස් හිස්කබලක් ද හමුවු පුවතක් වාර්තා වී තිබේ. මේ සොඳුරු, නිහඬ ස්ථානයට යන මාර්ගය පිළිබඳ සහ අදාළ ඇටසැකිල්ල හමුවූ වර්ෂය නිවැරැදිව දැනකියා ගැනීමට තොරතුරු හිඟවීම, මෙහි යනෙන සංචාරකයන්ට අඩුපාඩුවක්ව පවතී.

සටහන
නිමල් විජයතුංග
ඡායාරූප
නයන්ජන දිසානායක

නව අදහස දක්වන්න