බිසෝවරුන් ජල ස්නානය කළ බිසෝ ඇල්ල | දිනමිණ

බිසෝවරුන් ජල ස්නානය කළ බිසෝ ඇල්ල

ඇතැම් කෙම්මුර දිනවලදී, රන් සෙම්බුවක් ජලයෙන් ඉහළට මතු වන, කඩුක්කන් පැළැඳි ආඳෙක් ගැවසෙන බව ජනප්‍රවාදයේ කියැවෙන,කලෙකට පෙර වසරක් පාසා නර බිල්ල බැගින් ගත් බව ද පැවසෙන, 'කබුක' නම්වූ මහ වළක් සහිත බිසෝ ඇල්ල, සබරගමු පළාතේ පිහිටි ජන ආකර්ෂණයට ලක් වූ, රමණීය දියඇලි ලාලනියකි. එසේ ම, රාජකීය පහස ලත් දිය ඇල්ලකි.

අවිස්සාවේල්ල - රත්නපුර මහා මාර්ගයේ ඇහැලියගොඩ පනාවල හන්දියෙන් දකුණට හැරී, දෙහිඕවිට පාරේ කිලෝ මීටර දෙකක් පමණ ගමන් කර , කොහිළදෙණිය හන්දියෙන් හැරී , පොල්වත්ත පන්සල පාරේ තවත් කි‍ලෝ මීටර කාලක් පමණ ගමන් කිරීමෙන් පසු මේ ජලාංගනාවගේ ධවල සේලය දැකගත හැකි ය.

පොල්වත්ත ප්‍රදේශය ඔස්සේ විහිදී ඇති පටු මාර්ගයට සමාන්තරව, ගල් දෙබුක්කා - මහ ගල් කුළු ඇතුළු විවිධ බාධක මැඩගෙන, ඇතැම් තැනකදී දෝංකාර දෙමින් ද, තවත් තැනකදී ළයාන්විත 'සිලි සිලි' නාදයක් නංවමින් ද, සර්පයකු පරිද්දෙන් පහළට ඇදෙයි. ජල'ඟන ඇගේ සුදු සේලය මුදා හරිමින්, දෙබුක්කා සහිත ගල් තලාවකින් පහළට ගලා හැලෙන්නේ, තරමක් ඈතට ඇසෙන තාලයේ දෝංකාරයක් ද නංවමිනි.

මේ ජල දහරාවෙන් ගැනෙන ජලය පොම්ප මාර්ගයෙන් ගෙන යන ජල පොම්පාගාරය පිහිටා ඇත්තේ, දියඇල්ල පහළට කඩා හැලෙන ස්ථානයට මදක් ඉහළිනි.මෙතැනදී පිරිපහදු කෙරෙන ජලය, නළ මාර්ග ඔස්සේ ඇහැලියගොඩ නගරය ඇතුළු ගම්මාන කිහිපයකට පොම්ප කරනු ලැබේ.

මේ දියඇලි ලාලනියගේ වත කමල දකිමින්, ඇගේ ඇකයේ දැවටෙමින්, දිය නෑම සඳහා බොහෝදෙනා පොහොය හා වෙනත් නිවාඩු දිනවල පැමිණෙති. මේ විනෝදකාමීන්ගෙන් සමහර අය, නිදහසේ සීමා මායිම් නොතකා, දිය ඇල්ලෙන් ඉහළ තහනම් කලාපයට පවා හොර රහසේ ඇතුළු වෙමින්, පොම්පාගාරයට ජලය ලබා ගන්නා ජල ටැංකියට බැස දිය නෑමට පෙලඹෙන බව වරින් වර වාර්තා වුණි. දිය ඇල්ල අවට පරිසරයට කසළ බැහැර කිරීම ද සිදුවනුයේ ඉතා අවිධිමත් ලෙසට ය.

ඈත අතීතයේදී ඇහැලියගොඩට නුදුරු මාළිගාකන්දේ එවකට සැඟවී සේනා සංවිධානය කළ මායාදුන්නේ රජතුමාගේ බිසෝවරුන්, දියඇල්ල කඩා හැලෙන ස්ථානය පාමුල සහ ඊට පහළින් පිහිටි ජල තටාකයේ ජල ස්නානය කළ බව කියැවේ. රජුගේ බිසවක්, ඉතා

අපරීක්ෂාකාරී ‍ලෙස ගල් ඇන්දක තැබූ රන් ආභරණ දිය වළට ලිස්සා වැටී, අතුරුදන් වූ බව ද පැවසේ. රන් සෙම්බුව සහ කඩුක්කන් ආඳා මතු වන්නේ මෙබඳු දිය වළකින් ය.

රජතුමාගේ අශ්වයන් නෑවීම සඳහා උපයෝගී කරගත් ජලාශය පිහිටා ඇත්තේ, අසුන් නැහැවූ ගංගාව යන අරුත රැගත් අද 'අස් ගඟුල' යනුවෙන් හැඳින්වෙන ගම මැද ය. එතැනින් පහළට ගලා ගොස් ඇහැලියගොඩ නගරය කෙළවරින් ඇදී යන බිසෝ ඇලි ලාලනිය, ඉන් එහා දී වියලගොඩ ඇළ බවට පත්වී, ඒ ගම කෙළවරදී 'නැදුරන් ඔය' ට තුරුළු වන්නීය.

සටහන සහ ඡායාරූප
නිමල් විජයතුංග
ඇහැලියගොඩ විශේෂ

නව අදහස දක්වන්න