ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ උපනායකත්වය ලක්මාල්ට | දිනමිණ

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ උපනායකත්වය ලක්මාල්ට

අකිල ධනංජය පළමු වරට එක් වෙයි

බංග්ලාදේශය සමග මේ මස 31 වැනිදා ආරම්භ වන තරග 2ක් ඇතුළත් ටෙස්ට් තරගමාලාව සඳහා නම් කළ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වයට වේගපන්දු යවන සුරංග ලක්මාල් නම් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ උපනායකත්වය පළමුවරට හිමිවූ සුරංග ලක්මාල් මීට පෙර දේශීය තරග බිමේ දී ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කර තිබේ. 30 හැවිරිදි ලක්මාල් මෑත කාලයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වැඩි දස්කම් දැක්වීමට සමත්වූ අතර මෙතෙක් ටෙස්ට් තරග 42කට ක්‍රීඩා කර කඩුලු 96ක් බිඳ දමා තිබේ.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතුව පෙරේදා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, දුෂ්මන්ත චමීර සහ වේග පන්දු යවන ළහිරු කුමාර යළි කැඳවා ඇති අතර මෙතෙක් ටෙස්ට් තරගයකට ක්‍රීඩා නොකළ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ද කණ්ඩායමේ ස්ථානයක් හිමිවී ඇත. පාකිස්තානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ පැවැති ටෙස්ට් තරගමාලාවේදී අසාර්ථක වීම නිසා කුසල් මෙන්ඩිස්ට පසුගිය ඉන්දීය සංචාරයේ ටෙස්ට් තරගමාලාව අහිමිවිය.

එසේ වුවත් මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ පළමුපෙළ ලීග් තරගාවලියේ විශිෂ්ට දස්කම් පෑමට ඔහු සමත්විය. ඔහු පසුගියදා මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 177ක් රැස් කිරීමට සමත්වීමෙන් යළි කණ්ඩායමට එක්වීමේ අවස්ථාව උදාකර ගත්තේය.

පසුගිය ඉන්දීය සංචාරයේදී උපනායකත්වය දැරූ ළහිරු තිරිමාන්න සමග 22 හැවිරිදි යොවුන් පිතිකරු සදීර සමරවික්‍රම මෙවර ටෙස්ට් සංචිතයට ඇතුළත් වී නොමැත. එමෙන්ම ඉන්දීය තරගාවලියට සහභාගි වූ වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු සහ තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ද කණ්ඩායමට ඇතුළත්වී නොමැත.

ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මේ මස 31 වැනිදා චිතගොන් නුවරදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි මස 8 වැනිදා ඩකා නුවරදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේය - දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උපනායක), දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ළහිරු ගමගේ, ළහිරු කුමාර.

නව අදහස දක්වන්න