ආනයන-අපනයන පහසුවට මහලේකම් කාර්යාලයක් | දිනමිණ

ආනයන-අපනයන පහසුවට මහලේකම් කාර්යාලයක්

ජයසිරි මුණසිංහ

එතෙර මෙතෙර වෙළෙඳාමේ නිරත සැමට අතදීම සඳහා ආනයන - අපනයන කටයුතු පහසුකිරීමේ මහ ලේකම් කාර්යාලයක් ළඟදීම සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශ පරිශ්‍රයේදී පිහිටුවීමට රජය සූදානම් වේ.

කොළඹ කොටුව ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ පිහිටුවා ඇති ‘සිංගල් චින්ඩෝ’ කාර්යාලය තුළින් දැනට ලබාදෙන සේවාවන් වඩාත් පුළුල්කොට නව මහලේකම් කාර්යාලයෙන් ලබාදීමට තමන් බලාපොරොත්තු වන බව උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කෙළේය.

පිට රටට තම නිෂ්පාදන අපනයනය කරන පිරිසටත්, ඒවා මිලදී ගන්නා විදේශ පාරිභෝගික ජනතාවටත් තම ගනුදෙනු ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා පහසු කිරීම (e-Commerce) වැඩිදියුණු කිරීම මේ මහලේකම් කාර්යාලය තුළින් සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු නව මහ ලේකම් කාර්යාලය හරහා ලියකියවිලිවලින් තොරව ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක් තුළින් සිදු කරනු ඇතැයි ද මලික් සමරවික්‍රම මහතා කීය.

ඊට අමතරව ආනයනයට අදාළ සියලු ලියකියවිලි මෙහෙයවීම ද ස්වයංක්‍රීයව සිදු කිරීමට රජය ඉක්මනින් පියවර ගන්නා බව ද ඇමැතිවරයා කීය.

වසර 2018 සඳහා වූ රජයේ අය වැය ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මේ යෝජනාව ඉදිරිපත් කළ බව ද, එය කඩිනම් කිරීමට රජය සූදානම් බව ද මලික් සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේය. 

 

නව අදහස දක්වන්න