උමාඔය ව්‍යාපෘතියට වඩා වැඩි මුදලක් වන්දි ගෙවන්න රජයට වැය වුණා | දිනමිණ

උමාඔය ව්‍යාපෘතියට වඩා වැඩි මුදලක් වන්දි ගෙවන්න රජයට වැය වුණා

බණ්ඩාරවෙල අනාගතයේදි නටබුන් නගරයක් ෙව්වි
- සමන්ත විද්‍යාරත්න (ජ.වි.පෙ.)

උමාඔය විපතට පළාත් සභාවේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ
- සෙනරත් ජයසූරිය (එ.ජා.ප.)

ඌව පළාත තුළින් ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩකයන් රැසක් බිහි කළ බණ්ඩාරවෙල මහ නගර සභා ක්‍රීඩාපිටිය සැණකෙළි, සංගීත සංදර්ශන හා කාර් වෙන්දේසි, පොළවල් වැනි දේවල් සඳහා යොදා ගැනීමට ඉඩදීම මඟින් එහි වළවල් හැරීම, තාවකාලික මඩු, කූඩාරම් ඉදිකිරීම වැනි ක්‍රියාවන් නිසා මෙහි ජලය බැස යන ජල පවාහන පද්ධතියට හානි සිදුවී ඇති අතර වැසි කාලයට ක්‍රීඩා පිටිය ජලාශයක් බවට පත්ව මඩ වගුරක් වී ඇතැයි ඌව පළාත් සභා මන්ත්‍රී එම්. සචිච්ත්තානන්දන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා පැවැති ඌව පළාත් සභා රැස්වීමේදී මේ පිළිබඳ වූ යෝජනාවක් ද සභාගත කරමිනි. ඌව පළාත් සභාවේ සභාපති ඒ.ඇම්. බුද්ධදාස මහාතගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා රැස්වීම් ශාලාවේදී මේ රැස්වීම පැවැත්විණි.

එම්.සච්චිතානන්දන් මහතා (එ.ජා.ප.):-

බණ්ඩාරවෙල මහ නගර සභා සීමාව තුළ පිහිටි ග්‍රාම සේවා වසම් 13 ක පසුගිය කාල සීමාව තුළ පානීය ජල හිඟයක් පැවතුනා. එම ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපරා ගැනීම සදහා දින 15 කට වරක් පමණ බවුසර් මඟින් ජලය නිකුත් කරනු ලබනවා. ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. පාසල් සිසුන් මහත් අපහසුතාවකට ලක්වෙලා. මේ අයට උඩුවර, දෙමෝදර ජල යෝජනා ක්‍රමයෙන් ජලය ලබා දීමට බණ්ඩාරවෙල මහ නගර සභාවෙන් අවශ්‍ය කටයුතු සලසා දිය යුතුයි.

ජනතාවට අවශ්‍ය තරම් ජලය ලැබෙන්නේ නැහැ. ජල ප්‍රශ්නයට මුහුණ පා සිටින්නේ උමා ඔය නිසයි. ඡන්ද දායකයන් 18000 ක් ඉන්නවා. පාසල් සිසුන් 36000 ක් ඉගෙන ගන්නවා. රජයේ ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ජනජිවිත වගේම කාර්යාල කටයුතු පවත්වාගෙන යාමත් අසීරුයි. බණ්ඩාරවෙල නගරයේ පාසල් 14 ක් තියෙනවා. ආරෝග්‍ය ශාලා, සිද්ධස්ථාන, වෙළෙඳ සැල්, බැංකු, ආපන ශාලා, මේවා පවත්වාගෙන යාම ගැටලුවක් වෙලා. ගොවීන් වතුර නැතුව දුක් විඳිනවා. සංචාරක හෝටල 140ක් විතර තියෙනවා. මේවට වතුර නැතිව පුළුවන් ද? දීලා තියෙන ජල ටැංකි ප්‍රමාණවත් නෑ.

සමන්ත විද්‍යාරත්න මහතා (ජ.වි.පෙ.):-

මධ්‍යම කඳුකරයේ නැෙඟනහිර බෑවුමේ උමාඔය ඛේදවාචකය ගැනයි යෝජනාව. වැලිමඩ, ඌවපරණගම, හාලිඇළ, ඇල්ල, හපුතලේ, වැල්ලවාය හා බණ්ඩාරවෙල යන ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසවලට හානිය බලපා තියෙනවා. බණ්ඩාරවෙල නගරයට ජලය ගත්තු ජල මූලාශ්‍ර බොහොමයක් මේ වනවිට සිඳිගොසින්. උල්පත් සැලකිය යුතු ප්‍රමාණයක් සිඳී ගිහින්. කවදාවත් හිඳුනේ නැති මහවංගුව පීල්ල හිඳිලා. ඓතිහාසික දෝව රජමහා විහාරය වර්ෂයක් පාසා පෙරහැරක් පවත්වනවා. දිය කපන්න යන්නේ බදුලු ඔයටයි. එතැන දැන් වතුර නෑ. තියෙන්නේ වැලි පමණයි. දැන් දිය වෙනුවට වැලි කපන්නයි සිද්ධ වෙලා තියෙන්නෙ. දෝව රජමහා විහාරය ළඟ තිබුණු ගල් පීල්ලත් සිඳී ගිහින්. අලි නාවන අමුණක් තිබුණා. දැන් ඒකත් හිඳිලා. කූඹියෙකුට නාන්නවත් වතුර නෑ.

සත්තුන්ටත් වතුර නෑ. ගහ-කොළටත් වතුර නෑ. හීල්ඔයත් හිඳිලා වතුර නෑ. බණ්ඩාරවෙල නගරය තමයි ඌව අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය. අනාගතේ මේක නටබුන් නගරයක් වෙන්න ඉඩ තියෙනවා.

මේ ප්‍රශ්නය දිහා පාලකයො බලන්නෙ මානවවාදී කෝණයකින් නෙමෙයි. මේ ආපදාව ස්වාභාවික ආපදාවක් නෙමේ. වැරැදි ව්‍යාපෘතියක් විසින් ඇති කරපු ආපදාවක්.

සභානායක මේජර් සුදර්ශන දෙණිපිටිය මහතා:-

දෙමෝදර ජල ව්‍යාපෘතියෙන් ළඟදීම වතුර බෙදා හරිනවා. බණ්ඩාරවෙල නගරයට වතුර දුන්නේ දවස් 15 කට සැරයක් තමයි. නගර සභාවයි, ජල සම්පත් මණ්ඩලයයි අතර පොඩි ප්‍රශ්නයක් ඇතිවූ නිසා ජලය බෙදා හැරීම ප්‍රමාදයක් වුණා. සහන කාර්යාලයේ අධ්‍යක්ෂ තුමා දිනකට ජලය ලීටර් ලක්ෂ 20 ක් දෙන්න පුළුවන් කියලා අප සමඟ පැවසුවා. තව සතියකින් පස්සෙ දෙමෝදර වතුර බවුසර්වලට ලැබෙයි. දවසකට ජලය ලීටර් ලක්ෂ 09 ක් විතර තමයි අවශ්‍ය වන්නේ. වැසි කාලයත් සමඟ සුපුරුදු පරිදි නායයාමේ අවදානම හිස ඔසවමින් තිබෙනවා. බණ්ඩාරවෙල සිද්ධවෙන හැම විපතක්ම උමාඔය ව්‍යාපෘතියටයි බැර වෙන්නෙ. ඒක විලාසිතාවක් වෙලා. රජයෙන් දෙන්න පුළුවන් හැම දෙයක්ම ලබාදීල තියෙනවා. නමුත් ගැටළු තියෙනවා. ගම්වල ප්‍රශ්න තියෙනවා. මිනිස්සු කුලප්පු කරන එක වැරැදියි. ගොඩක් අය සහන කාර්යාලයට ඇවිත් කෑ ගහල යනවා. නිලධාරීන්ට බණිනවා. කරන්න පුළුවන් වැඩත් ආපස්සට යන්නේ මේ හේතු නිසා. බවුසර් රියදුරන්ට ගහන්න යනවා. පළාත් සභාවට දාන යෝජනා ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක සංවර්ධන ක්‍රියාවලියට තදබල බාධාවක්.

සෙනරත් ජයසූරිය මහතා(එ.ජා.ප.):-

මේ ප්‍රශ්නය ගැන අපි හැමෝම දන්නවා. නමුත් පළාත් සභාවක් විධියට මැදිහත්වීම ප්‍රමාණවත්ද? කියන ප්‍රශ්නය අප හමුවේ තියෙනවා. හැම පක්ෂයකම මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් හදලා විසඳුම් සොයන්න පුළුවන්නම් හොඳයි. මේ මන්ත්‍රීවරුන්ට මේ ප්‍රශ්නයෙන් පැනලා යන්න බෑ. අප හැම දෙනාටම බලපානවා. බණ්ඩාරවෙලට මෙපමණ හානියක් සිදුවෙලා තියෙද්දිත් පළාත් සභාව කිසිම පියවරක් අරන් නෑ. මධ්‍යම රජයට සියල්ල බාර දීල අත පිහදාගන්න පුළුවන්කමක් නෑ. අපේ වගකීම් පැහැදිළිවම පැහැර හැරලා. මහ ඇමති, විපක්ෂ නායක හා සභාපති එකතු වෙලා දැන්වත් විධිමත් වැඩසටහනක් සකස්කර ඒ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිනවා.

මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා:-

බණ්ඩාරවෙල නගර සභා සීමාව තුළ පිහිටි ග්‍රාම සේවා වසම් 13 ක පවතින පානීය ජල හිගය සම්බන්ධව සච්චිතානන්දන් මන්ත්‍රී කුමා කතා කළා. අදාළ නිලධාරීන් ගෙන්නලා අපි ඊයේත් සාකච්ඡාවක් පැවැත්තුවා. මේ වනවිට ග්‍රාම සේවා වසම් 36 කට උමාඔය ව්‍යාපෘතියෙන් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. 2014 වගා ණය පියවලා තියෙනවා. කිනලන් වත්තෙන් ඉඩමක් අරන් නිවාස ප්‍රශ්නය විසඳන්න ජනාධිපති තුමා පියවර අරන් තියෙනවා. රජ කොටුව වන වගාව තුළ පිහිටි ඉඩමක් අපි තෝරාගෙන තියෙනවා. මේ වනවිට මේ දෙමෝදර ජල ව්‍යාපෘතියෙන් පිරිසිදු පානීය ජලය බෙදා දීමට කටයුතු කරමින් සිටිනවා. ජල සම්පත් මණ්ඩලයට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

එතැණින් බවුසර් වලට පිරිසිදු ජලය ලබා දෙනවා. මෙතෙක් කල් කළේ කොහේ හරි වතුර තියෙන තැනකින් බවුසර් වලට වතුර පුරවගෙන ගිහින් බෙදා හැරීමයි. සියළුම බවුසර්වලට මින්පසු පිරිසිදු ජලය ලබා දෙනවා. සියළුම නිවාසවලට අවශ්‍ය ජල ටැංකි ලබාදීල තියෙනවා. ඒ වගේම ජනාධිපති තුමා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා මිනිස්සු එක එක බැංකුවලින් අරන් තියෙන ණය මිලියන 9000 ක් අවුරුදු දෙකක් පොළී රහිතව ඉවත් කිරීමට.තක්සේරු දෙපාර්තමේන්තුව සියලු ගෙවල් තක්සේරු කර අවසන්.

උමාඔය සහන කාර්යාලය පවත්වාගෙන යාම සදහා ඌව ගුවන් විදුලියේ උඩ තට්ටුව ලබාදීමට මං තීරණය කළා. බණ්ඩාරවෙල අධ්‍යාපන ඒකකයේ කෑල්ලකුත් හදිසි කටයුතු සදහා වෙන්කර තියෙනවා. උමාඔය ව්‍යාපෘතියෙන් හානියට පත් ජනතාවගේ ශුභ සිද්ධිය සදහා රජය සුවිශාල වැඩ කොටසක් අප්‍රසිද්ධියේ කරගෙන යනවා. මහින්ද අමරවීර ඇමති තුමා අපට අවශ්‍ය සියළු සම්පත්, ආම්පන්න, මුදල් ලබා දෙනවා. දෙමෝදර ජල ව්‍යාපෘතියට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ව්‍යාපෘතියක් කැබිනට් මණ්ඩලයට යොමු කරලා දැන් ඒකට මුදල් වෙන්කරලා තියෙනවා. බණ්ඩාරවෙල, දියතලාව නගරවලට මාතැටිල්ල ඔය හරස් කරලා ජලය දෙනවා.

සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමාට බණ්ඩාරවෙල ගෙදරක් තියෙනවා නම් ඒකටත් වතුර දෙනවා. මිනිස්සු 10000 ක් ගෙනත් උද්ඝෝෂනයක් කරන්න සමන්ත විද්‍යාරත්න මන්ත්‍රී තුමා සැලසුම් කළා. කෝ ආවද? 2000 ක් වත් නැහැ. පන්සල් 57 කට ගිහින් ආරාධනා කරලා තිබුණා.

කුඩා කණ්ඩායම් රැස්වීම් තිබ්බා. පළාත් සභාවයි, කච්චේරියයි වට කරනවා කීවා. සැලැසුම් කරපු විධියට මිනිස්සු ආවේ නැත්තේ පීඩාවට පත් ජනතාවට රජය නිසියාකාරයෙන් සලකපු නිසයි. ඒක අසාර්ථක උද්ඝෝෂනයක්. එදා උද්ඝෝෂනයට ආපු 1500 ක් විතර හිටියේ මගේ මිනිස්සු. මිලියන 9000 ක ණය මුදල් ආපසු ගෙවීම වසර දෙකකට රජය කල් දැම්මා. වතුර ටැංකි, වගා හානි මුදල්, නිවාස හානි මුදල්. ඉඩම්, වතුර, අනෙකුත් පහසුකම් සියල්ල රජය සපයාදි තියෙනවා. 

බණ්ඩාරවෙල සමූහ
ආනන්ද හපුගොඩ හා බදුල්ල දිස්ත්‍රික් සමූහ - ජයසේන විජේනායක

 

නව අදහස දක්වන්න