ගණිත විෂයේ බර මෙසේ අරිමු | දිනමිණ

ගණිත විෂයේ බර මෙසේ අරිමු

ගණිත විෂය අ.පො.ස. (සා/පෙළ) විභාගය සමත් බව තීරණය කරන ප්‍රබල සාධකයකි. මේ නිසා ගණිත විෂයයට බොහෝ පාසල් සිසුහු අනියත බියක් දක්වති. එබැවින් ගණිත ගැටලු පහසුවෙන් විසඳීමට මග සලසා දීම ගණිත ගුරුවරයාට පැවරෙන විශාල වගකීමකි.

ගණිත සංකල්ප අපගේ එදිනෙදා ජීවිතය හා සෑම විටම බැඳී පවතී. උදාහරණයක් ලෙස මහා මාර්ගයක බස් රථයකින් ගමන් කිරීම සැලකු විට හමුවන ගණිත සංකල්ප රාශියකි. දුර, කාලය, දිශාව, කෝණ, සංකේත, මුදල් ඉන් සමහරකි. චිත්‍රයක් ඇඳීමේ දී වුව ද මෙලෙස ගණිත සංකල්ප රාශියක් හමු වේ. දිග, පළල, වර්ගඵලය, කෝණ, හැඩතල, නිමානය ඉන් ප්‍රධාන වේ.

මෙලෙස බලන කල අප නොදැනුවත්වම ගණිත සංකල්ප රාශියක් එදිනෙදා කටයුතුවල දී භාවිත කරයි. මෙය, සිසුන් ගණිතයට දක්වන බිය බැහැර කර ගැනීමට ගුරුවරයාට දායක කරගත හැකිය. එබැවින් පාසල් විෂය මාලාවේ ගණිත අධ්‍යාපනය ආරම්භයේ සිට ම මේ පිළිබඳව සැලකිලිමත් වීම ද ඉතා වැදගත් වේ. වත්මන් ගණිත විෂය මාලාවේ ගණිත ගැටලු ප්‍රායෝගික අවස්ථාවනට තුඩු දෙන සේ ගොඩනගා තිබෙනු දක්නට ලැබීම සතුටට කරුණකි.

පන්ති කාමරයේ දී, ගණිත ගැටලු විසඳීමට ලබාදීමේ දී අප දැනට අනුගමනය කරන ක්‍රියාවලිය කෙරෙහි සිත යොමු කරමු‍. ගණිත ගැටලුව ඉදිරිපත් කර එය විසඳීමට අවස්ථාව ලබාදීමත් බොහෝ විට සිදු වේ. එවිට සිසුහු ගැටලුව තේරුම්ගත් ආකාරය අනුව විසඳීමට උත්සාහ කරති. මෙහි දී ගුරුවරයා මග පෙන්වීමක් සිදුකරනවා නම් බොහෝ සිසුනට එය තවදුරටත් ගැටලුවක් නොවීමට ද ඉඩ සැලසෙනු ඇත. මගපෙන්වීම සිදු කිරීමේ දී ප්‍රථමයෙන්ම එක් එක් සිදුවා ගැටලුව කියවා තේරුම්ගත් ආකාරය තමාගේ වචනවලින් පන්තියට ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදුනහොත් සිසුනගේ සන්නිවේදන හැකියාව ද දියුණු වනු ඇත.

සිසුන් ගැටලුව තේරුම්ගෙන ඇති ආකාරය දැන ගැනීමටත් එහි දී මතු වී ඇති ගැටලු සඳහා උදව් ලබාදීමටත් ගුරුවරයාට ඉන් හැකිවනු ඇත. එක් සිසුවකු තමා ගැටලුව තේරුම්ගත් ආකාරය පන්තියට ප්‍රකාශ කළවිට හා ඒ ආශ්‍රිත ප්‍රශ්න කිරීම්වලට අනිකුත් සිසුන් පෙලඹවීමෙන් බොහෝ සිසුනට ගණිතමය ගැටලු විසඳීමට හැකියාව ලැබෙනු පමණක් නොව අනවශ්‍ය තරගකාරීත්වය ද අවම වනු ඇත.

මෙලෙස සිසුන් ගැටලුව මනාව අවබෝධ කර ගත් පසු, ලබාදුන් ගැටලුව ආශ්‍රිත පෙර දැනුම මතකයට නැංවීම ද ගුරුවරයාට සිදුකළ හැකිය. අවශ්‍ය වන සූත්‍ර, සමීකරණ ආශ්‍රිත මතකය හෝ ඇතැම්විට භෞතිකමය ද්‍රව්‍ය ද පරිහරණයට අවස්ථාව ලබාදිය හැකිය. විසඳීමට ලබාදුන් ගණිත ගැටලු හා සම්බන්ධ සරල ගැටලුවක විසඳුම වුව ඉදිරිපත් කළ හැකිය. මෙලෙස සිසුනට මග පෙන්වීමෙන් ගණිත ගැටලු නොවිසඳා සිටිනවාට වඩා විසඳීමට පෙලඹවීමක් හෝ ඇති කිරීමට හැකි වනු ඇත. සාමාන්‍ය බුද්ධි මට්ටමේ සිසුන්ට මෙමගින් වැඩි වාසියක් සැලසෙන අතර තර්කනයට ද රුකුලක් සැපයෙනු ඇත. පසුබට සිසුන් ගණිත ගැටලු විසදීමට පෙලඹවීම ද ඉන් සැලසෙන ඉමහත් වාසියකි.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ගුරුවරයා විසින් ලබාදුන් ගැටලුව නිවැරදිව විසඳූ ශිෂ්‍යකු ලවා විසඳුම හුණු පුවරුවෙහි සටහන් කිරීමට අවස්ථාව ලබා දේ. මෙය තව දුරටත් සංවර්ධනය කළ හැකිය. ඒ සඳහා එම සිසුවාගෙන් අනෙක් සිසුන් ලවා ප්‍රශ්න කිරීම කළ හැකිය. ගැටලුව විසඳූ ක්‍රමයට අමතරව වෙනත් විසඳුම් ක්‍රම පිළිබඳ ප්‍රශ්න නැගීමට ශිෂ්‍යයින්ට අවස්ථාව සලසා දීමෙන් සිසු තර්කන ශක්තිය ඉහළ නැංවීමට ගුරුවරයාට ඉඩ සැලසෙනු ඇත. ඉදිරිපත් කිරීමේ කුසලතාව, අභියෝගවලට මුහුණදීමේ හැකියාව, ප්‍රශ්න කිරීම වැනි මෘදු කුසලතා ද ඉන් දියුණු වීම වළකනු නොහැකිය.

ඉහත අයුරින් ගැටලු විසඳීමේ දුෂ්කරතා පැන නොනගින්නේ ද නොවේ. බොහෝ කාලයක් වැය කිරීමට සිදුවීම ඉන් ප්‍රබල වේ. එම නිසා මෙම ක්‍රමය පන්ති කාමරයේ දී, විසඳීමට ලබා දෙන සියලු ගණිත ගැටලු සඳහා නොව තෝරාගත් ගණිත ගැටලු සඳහා පමණක් හෝ යොදා ගැනීම කාලෝචිත බව හැ‍ඟෙයි.

ගණිත ගැටලුව කියවා එය තේරුම්ගත් ආකාරය ‍තම වචනයෙන් ප්‍රකාශ කිරීමෙන් ද ඒ ආශ්‍රිත ප්‍රශ්න කරණයෙන් ද අනතුරව එය විසඳීමට අවශ්‍ය අදාළ පසුබිම සැකසීමෙන් ද අවසන, ගැටලුවෙහි විසඳුම ඉදිරිපත් කර ඒ පිළිබඳ ප්‍රශ්නකරණයට ඉඩ සැලසීමෙන් ද විසඳීම පහසු වනු නොඅනුමානය. මෙවැනි පන්ති කාමර වාතාවරණයක් තුළ , ගණිත විෂයයේ සියලු අරමුණු සඵලවනු ඇත. තවද ගණිතය ප්‍රියජනක විෂයයක් වීමෙන් අ.පො.ස. (සා/පෙළ) විභාගය සමත් ප්‍රතිශයත ඉහළ යනු ඇත.

 

ඉන්දු වීරක්කොඩි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පස්දුන්රට ජාතික
අධ්‍යාපන විද්‍යාපීඨය කළුතර

නව අදහස දක්වන්න