ස්විස් කුමාර් අපේ ලොජ් එකේ ඉන්නවා | දිනමිණ

ස්විස් කුමාර් අපේ ලොජ් එකේ ඉන්නවා

විද්‍යා ඝාතකයන් පෝරකයට යැවූ CID වික්‍රමය

"විජේ..

මෙයා අපේ ලොජ් එකට

යන එන කෙනෙක්ද?"

"ඔව් ඔව් සර්.

ඊයේ මහරෑත් ආවා.

තාම ඉන්නවා".

"මේ අය කීයටද

අවුට් වෙනවා කීවේ?"

"තව ටිකකින් යනවා

කීවා සර්"

අධිකරණ නියෝගයකින් තොරව කෙනෙකු විදේශගතවීම වැළැක්වීමට නොහැකි බැවින් ඊට අදාළ කටයුතු සිදුකරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදුන්නේය. එයින් පසුව තමිල්මාරන් විසින් පසුදින කැඳවීමට නියමිත රැස්වීමට තොරතුරු ලබාගැනීමට උප පොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් ඇතුළු කිහිපදෙනෙකුගේ සහය ලැබිණි. ඒ අනුව උ.පො.ප ශ්‍රී ගජන්, තමිල්මාරන් ඇතුළු පිරිස පුංකුඩතිව් බලා පිටත්ව ගියහ.

විද්‍යා ඝාතන සිදුවීමත් සමග ඒ පිළිබඳ තොරතුරු සෙවීමට යෙදවුණු කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ගජන්ය. ඒ නිසාම ස්විස් කුමාර් ඇතුළු සිද්ධියට අදාළ සියලුමදෙනා සම්බන්ධයෙන් ඔහු බොහෝ දේ දැන සිටියේය. අනෙක් අතට ස්විස් කුමාර්, උදය සූරියන් සුරේෂ්කරන් යන අය පෞද්ගලිකවද දැන හැඳින සිටියේය. මේ නිසාම පුංකුඩතිව් ප්‍රදේශයට ගිය මෙම කණ්ඩායමට ස්විස් කුමාර් ඒවන විට සිටින ස්ථානය රහසක් නොවුණු තරම්ය. මේ නිසාම එදින සවස දෙක පමණවනවිට ස්විස් කුමාර්, ස්විස් කුමාර්ගේ බිරිඳ, ඔහුගේ දරුවා මෙන්ම බිරිඳගේ මවද අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත ගෙන ඒමට ඔවුන්ට හැකිවිය. ස්විස් කුමාර්ගේ බිරිඳ යනු මෙම අපරාධ සිද්ධියේ චෝදනා ලැබූ දුෂාන්තන්ගේ වැඩිමහල් සොයුරියයි. මේවන විටත් ගම්මුන්ගේ ගුටිබැට සංග්‍රහයන්ට ලක්ව සිටි ස්විස් කුමාර්ගේ හිසේ සුළු තුවාලයක්ද විය. කෙසේ වෙතත් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබු කණ්ඩායම සමග යළි යාපනය පොලීසිය වෙත පැමිණි තමිල්මාරන් පසු දින සංවිධානය කර ඇති කටයුත්ත වෙනුවෙන් එදිනම සවස නැවතත් පුංකුඩතිව් බලා ගියේය. අත්අඩංගුවට ගනු ලැබූ ස්විස් කුමාර් ඇතුළු සැකකරුවන් සිව්දෙනා පිළිබඳ වැඩිදුර උපදෙස් ලබා ගැනීමට ශ්‍රී ගජන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇමතුවේය. එහිදී සැකකරුවන් මෙම සිද්ධියට සම්බන්ධයක් නොමැති බවට ඒත්තු ගැන්වීමට ඔහු තම ප්‍රධානියාට බොහෝ දේ කියා සිටියේය.

"සර්. ස්විස් කුමාර්ගෙ ඔළුව හොඳටම තුවාල වෙලා. මනුස්සයට හොඳටම අමාරුයි. මිනිස්සු නිරපරාදේ මේ මනුස්සයට ගහලා. මේ අය විරෝධතා නිසා අත්අඩංගුවට ගත්තාට කිසිම සාක්ෂියක් නෑ"

"එහෙනම් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇපදීලා යවන්න" ප්‍රධානියාගෙන් ලැබුණු උපදේශය එය විය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසපතිවරයා, උ.පො.ප ශ්‍රී ගජන් ඇතුළු පොලිස් නිලධාරීන් ‍මෙම මොහොතේ හැසිරුණු ස්වරූපය සැබවින්ම සැකසහිත විය. ශ්‍රී ගජන් වහාම විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් අම්බලගල ඇමතුවේය.

"මෙන්න මෙයාගෙ පැමිණිල්ල ලියාගන්න"

පොලිස් සැරයන්වරයා උඩබිම බැලුවත් ඔහුට කළ හැකි අන් යමක් නොවීය. ඒ අනුව ස්විස් කුමාර් විසින් තමාට නිරපරාදේ ගම්මුන් විසින් පහරදී තුවාල සිදුකළ බවට කළ ප්‍රකාශය, පොලිස් පොතේ පැමිණිල්ලක් ලෙස සටහන්වීමෙන් පසු තමාගේ සාක්කුවෙන් ගත් රුපියල් දෙදහසක මුදලක්ද, ස්විස් කුමාර්ගෙ අතමිට මෙළවීමට ශ්‍රී ගජන් අමතක නොකළේය. ඉහළින් එන නියෝග හා උපදෙස් මත සිදුවෙමින් පවතින මෙම ජුගුප්සාජනක සිදුවීම් දෙස බලා සිටි නීතිගරුක පොලිස් නිලධාරීන් නොසිටියාද නොවේ. එහෙත් ඔවුනට කළ හැකි කිසිවක් නොවීය. නඩුව විභාග කෙරුණු අවස්ථාවේදී ‍පොලීසිය විසින් අධිකරණයට කරුණු දැක්වීමේදී මොවුන් මෙම අපරාධකරුවන්ට හිතෛෂිවන්තභාවයක් පෑම සම්බන්ධයෙන් තවත් බොහෝ දේ අනාවරණය විය. මේ නිසාම ඔවුන් අධිකරණයේ දෝෂදර්ශනයට ලක්විය.

දිනය 19 දාය. පුංකුඩතිව් ප්‍රදේශයේ සමිති ශාලාවේ සැලසුම් කළ පරිදි රැස්වීම තමිල්මාරන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, නියෝජ්‍ය පොලිස්පති ටී.කේ පෙරේරා, යාපනය පොලිස් කෝට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් වීරසේකර, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමසේවා නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භවිය. ප්‍රදේශයේ අපරාධ මැඩලීම සඳහා පොලිස් ස්ථානයක් ඉදිකිරීමට සුදුසු ඉඩමක් ලබාදීමත්, විද්‍යා ඝාතන සිදුවීමට අදාළව පොලිසියට නිවරදි තොරතුරු ලබාදීමේ වැදගත්කමත්, ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද යන්නත් මෙහිදී සාකච්ඡාවට ලක්විය. මොහොතකින් රැස්ව සිටි තරුණයින් කසුකුසු ගාන්නටත්, එකිනෙකාගේ කණට කර යම් යම් දේ කියන්නටත්, ජංගම දුරකථන එකිනෙකාට පෙන්වා කරුණු තහවුරු කරන්න‍ට ගන්නා උත්සාහයන් දක්නට ලැබිණි. පිරිස නොසන්සුන්වීම සම්බන්ධයෙන් ‍පොලිස් ප්‍රධානීන් වහා ක්‍රියාත්මක විය.

"ඇයි මොකක්ද ප්‍රශ්නය?

"ප්‍රශ්නය. මේ මොන බොරු සාකච්ඡාද? තවත් අපිව අන්දන්න හදන්න එපා. කෝ ඊයේ අපි අල්ලල දුන්නු ස්විස් කුමාර්." තරුණයින් කෝපාවිෂ්ඨව කලහ කරන්නට විය. "ස්විස් කුමාර් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු කොළඹින් ඇල්ලූ" බවට ජංගම දුරකථනයට කෙටි පණිවිඩ පුවත් සේවාවකින් පණිවිඩයක් ලැබී තිබිණි. එය බොහෝ දෙනෙකුගේ ෆේස්බුක් සමාජ ජාලයේ සංසරණයවී තිබිණි.

මොහොතකින් යළිත් නොසන්සුන්තාව වර්ධනය වූ අතර ගම්මුන් රැස්වීමේ සංවිධායකයින්ටද, චෝදනා කරමින් විරෝධය දක්වන්නට විය. ‍ඇතැම් තැනක ගුටි හුවමාරුද දකින්නට ලැබුණු අතර කලහකාරී ලෙස හැසිරෙන පිරිස එන්න එන්නම වර්ධනය වෙමින් රජයේ දේපළවලට හානි සිදුකරන තැනට තල්ලුවෙමින් සිටියහ.

පොලිසිය තත්ත්වය පාලනය කිරීමට උත්සාහ දැරුවද, ගම්මු පොලිස් නිලධාරීන් සමග මුහුණට මුහුණ ගැටෙන්නට විය. ‍ගම්මුන් පොලිස් නිලධාරීන්ට ගල්මුල් වලින් පහරදෙන්නට වූහ. යාපනය පොලිස් ස්ථානය වෙත බාරදෙනු ලැබූ ස්විස් කුමාර් ඇතුළු පිරිස යළි කොළඹින් අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ කෙසේද? යන්න පිළිබඳ බොහෝ දෙනෙකුට ගැටලුවක් වුවත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ඇතුළු පිරිසට එය ගැටලුවක් වූයේ නැත.

එදින රාත්‍රීයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ප්‍රධානි පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබිණි.

"නිශාන්ත ඔයා නිදිද?

"නෑ සර් කියන්න"

"යාපනයේ ඉස්කෝලෙ ළමයෙක් ඝාතනය කරලා ලොකු කේස් එකක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පොලීසිය හරිහැටි පරීක්ෂණ කරන්නේ නෑ කියලා එහේ සෑහෙන්න කලබල ඇතිවෙලා. ඒගැන පරීක්ෂණ මට බාරගන්න කියලා නියෝගයක් ලැබුණා. ඒ වැඩේට ඔයා නායකත්වය දෙන්න ඕන. සුදුසු කණ්ඩායමක් තෝරාගෙන හෙට උදේම එහේ යන්න වෙනවා"

"හොඳයි සර්"

දුරකථන ඇමතුම ලැබුණේ සහකාර පොලිස් අධිකාරී බී.එස් තිසේරා මහතාගෙනි. පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මේවන විටත් සිද්ධිය ගැන දැන සිටියේය. කප්පම් සිද්ධියකට අදාළව මුදල් ලබාදුන්නු කොළඹ ව්‍යාපාරික ස්ථානයක් හිමි පුංකුඩතිව් ව්‍යාපාරිකයෙකුගෙන් එදින දහවල් කටඋත්තරයක් ලබාගත් අවස්ථාවේදී ඔහුද මේ අපරාධයත්, එයින් පසුව ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් ගැන බොහෝ කරුණු පොලිස් පරීක්ෂකවරයා හා පවසා තිබිණි. ජනමාධ්‍ය විසින්ද ඒවන විටත් යම් යම් තොරතුරු වාර්තා කර තිබුණි.

සමූහ දූෂණය සිද්ධියක් බැවින් මෙම පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදෙනු ලැබුවහොත් එහි වගකීම පැවරෙනු ඇත්තේ තමාට බවද, ඔහු දැන සිටියේය. සිද්ධියේ බරපතළකම වටහා ගත් ඔහු මෙවන් පරීක්ෂණයකට අතගැසීමේදි වඩාත් කාර්යශූර නිලධාරීන්ගේ අවශ්‍යතාවද, සන්නිවේදන ගැටලු ඇතිවිය හැකි බැවින් ද්‍රවිඩ භාෂාව මැනවින් හැසිරවිය හැකි කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවද තේරුම්ගත්තේය.

ඒ අනුව රාත්‍රීයේදීම තම කණ්ඩායමට ඇතුළත් විය යුත්තේ කවුරුන්දැයි තීරණය කොට ඒ සම්බන්ධයෙන් තම ප්‍රධානියා දැනුම්වත් කළේය. අනතුරුව හෙට දිනයේ සුවිශේෂී රාජකාරියක් පැවරී ඇති බැවින් උදෑසනින්ම යාපනය බලා පිටත්වීමට සූදානම්ව රාජකාරියට වාර්තා කරන ලෙස තෝරා ගත් පිරිසට දැනුම්දුන්නේය.

පො.ප ඉලංගසිංහ, පො.ප. රාජකරුණා, උ.පො.ප ජනානන්ද, උ.පො.ප ජයවීර, උ.පො.ප සම්පත් රියදුරු පොලිස් සැරයන් අධිකාරි (586), රියදුරු පො.කො සරත්( 34406) ,පොලිස් රියදුරු ධනුෂ්ක (60705), පොලිස් රියදුරු සමරවීර(1705), පොලිස් රියදුරු ඒකනායක (1764), පො. සැ. නිශාන්ත (1259),පො.සැ රයීම් (50041), පො.සැ සියාඩ් (54294), පො. කො රාජපක්ෂ (37611), පො.කො කුමාර (40039) යන අය මෙම පිරිසට අයත්වූහ.

මැයි මස 20 වන දින උදෑසනින් කොළඹින් පිටත්වූ මෙම පිරිස පස්වරු 2.00 පමණ වන විට යාපනයට ළඟාවූහ. ගමනාන්තය 'පුංකුඩතිව්' වුවද, ‍පවත්නා නොසන්සුන්කාරී වාතාවරණය තුළ ඒ ප්‍රදේශයට ළඟාවීම අනතුරුදායක බැව් කයිටම් පොලිස් ස්ථානයේ ප්‍රධානීන් විසින් දැනුම්දීම නිසා ඔවුනු කයිට්ස් පොලිස් ස්ථානයේ සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ. සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ඇති පොත අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ බාරයට ගනු ලැබිණි.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙන්ම පොලිස් නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ විය. මන්දයත් පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ඇතුළු පිරිසට පැවරී ඇති වගකීම දෙයාකාරය. අත්අඩංගුවට ගනු ලැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාම පළමුවැන්නය. ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ සැබෑ ඝාතකයින් නීතිය හමුවට ගෙන ඒම අනෙක් වගකීමය.

වැල්ලවත්ත ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සපයන ව්‍යාපාරිකයෙකු හෙවත් ලොජ් හිමියෙකු වන මහේන්ද්‍රන් (සැබෑ ‍නම නොවේ) ඉඩක් ලැබුණු හැම මොහොතකම පාහේ තම ජංගම දුරකතනයෙන් ෆේස්බුක් අඩවියේ සැරිසරන්නට පුරුදුව සිටියි. විද්‍යා ඝාතන සිදුවීමට අදාළව අත්අඩංගුවට ගැනුණු අපරාධයේ මහමොළකරු ලෙසින් හඳුන්වන ස්විස් කුමාර් නමැති අය පොලිස් අත්අඩංගුවෙන් මිදී ගොස් ඇති බවට වෙබ් අඩවියක පළවූ පුවතක් ඔහුගේ මිතුරකු විසින් ෆේස්බුක් අඩවියේ ෂෙයාර් කර තිබිණි. එහි ස්විස් කුමාර් නමැති අයගේ ඡායාරූපයක්ද පළවී තිබුණි.

මහේන්ද්‍රන් එම ඡායාරූපය දෙස තරමක සැලකිල්ලෙන් යුතුව බැලුවේ අන් හේතුවක් නිසා නොව එකී මුහුණ පිළිබඳ යම් මතකයක් තමාට තිබුණු බැවිනි. එම පුද්ගලයා කොහේදී හෝ දැක ඇති බවට කල්පනා වුවද, ඒ කොහේදීදැයි නිශ්චය කර ගැනීමට ඔහුට නොහැකිය. තම ලොජ් ආයතනයේ සේවයේ නියුතු විජයන්ට (සැබෑ නම නොවේ) ඔහු කතා කළේය.

"විජේ.. පොඩ්ඩකට මෙහෙට වරෙන්. මෙයා අපේ ලොජ් එකට යන එන කෙනෙක්ද?

විජයන්, තම ආයතන හිමිකරුවාගේ ජංගම දුරකතනයට එබී බැලුවේය.

"ඔව් ඔව් සර්. ඊයේ මහරෑත් ආවා. තාම ඉන්නවා".

විජයන්ගේ කතාවට තිගැස්සුණු මහේන්ද්‍රන් වහාම සෝදිසි කර බැලුවේය. විජයන්ගේ හඳුනාගැනීම නිවැරදිය. ස්විස් කුමාර්, බිරිය, දරුවා, බිරියගේ මව යන සිවුදෙනාම තවමත් තම නවාතැන් පොළේ සිටිති.

"මේ අය කීයටද අවුට් වෙනවා කීවේ?

"තව ටිකකින් යනවා කීවා සර්" විජයන් ගත් කටටම කීවේය.

විජයන් පසෙකට කැඳවූ මහේන්ද්‍රන් සිද්ධියේ බරපතළකම පිළිබඳ ඔහුට වටහා දුන්නේය. මෙම පිරිස උපක්‍රමශීලිව ටික වේලාවක් ප්‍රමාද කරවා ගන්නා ලෙසද, උපදෙස් දුන්නේය. අනතුරුව වැල්ලවත්ත පොලීසිය ඇමතුවේය.

"ඊයේ යාපනයෙන් පැනලා ආව කියන ස්විස් කුමාර් මගේ ලොජ් එකේ ඉන්නවා. ඉක්මනින් ඇවිත් අරන් යන්න. අපරාධකාරයින්ට පැනල යන්න දෙන්න බෑ".

මහේන්ද්‍රන් අහිංසක විද්‍යා දැරිය ඝාතනයෙන් කම්පාවට පත්ව සිටි එක් අයකු පමණි. මහේන්ද්‍රන්ට පවත්නා හදිසිය වැල්ලවත්ත පොලීසියේ නිලධාරීන්ට තිබුණේ නැත. කුමක් හෝ හේතුවකට ඔවුන් තරමක් ප්‍රමාදය. ඉන්පසු මහේන්ද්‍රන් පොලීසියට දිව ගියේය. ස්ථානභාර නිලධාරියා හමුවූ ඔහු ආරංචිය ලබාදී ක්‍රියාමාර්ගයක් ගන්නාතුරු එහිම රැඳී සිටියේය.

පොලිස් ස්ථානාධිපතිවරයා එම අවස්ථාවේ පොලිස් ජංගම මුර සේවයේ යෙදී සිටි කණ්ඩායමකට පණිවිඩය ලබාදී අදාළ ලොජ් ආයතනයට ගොස් එම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන්නේය. ඒ අනුව වැල්ලවත්ත පොලීසියේ පො.සැ එච්.එම් වීරසේකර, පො.කො අබේසිරි, පො.කො චාමර, හා කාන්තා පො.කො මධුශානි යන සිව්දෙනා විසින් ඉකුත් 18 වන දින සවස යාපනයෙන් පලා ආ ස්විස් කුමාර් ඇතුළු පිරිස 19 වන දින පෙරවරුවේ වැල්ලවත්ත ලොජ් එකකදී යළි අත්අඩංගුවට ගෙන වැල්ලවත්ත පොලීසියට ගෙනඑනු ලබයි.

එම ආරංචිය කෙටි පණිවිඩ සේවාව ඔස්සේත්, ෆේස්බුක් වැනි සමාජ ජාල ඔස්සේත් ව්‍යාප්තවෙමින් පවතිද්දී යාපනයේ පොලිස් ප්‍රධානීන්ද, මාවෙයිසේනාධිරාජා වැනි දේශපාලනඥයින්ද, තමිල්මාරන්ද පුංකුඩතිව්හි සමිති ශාලාවකට රැස්වී සාකච්ඡා පවත්වමින් සිටි අවස්ථාවය.

යාපනය පුරා උද්ඝෝෂණ, විරෝධතා උත්සන්න වෙමින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලෙද්දී යාපනයේ පොලිස් බලධාරීන්ට යළිත් ඉහ මොළ රත්වීම පුදුමයට කාරණයක් නොවේ. අත්අඩංගුවට ගනු ලැබූ ස්විස් කුමාර් ඇතුළු සිව්දෙනා යාපනයට කැටුව එන ලෙස ලැබුණු උපදෙස් අනුව උ.පො.ප ජයතිලක ඇතුළු පොලිස් කණ්ඩායමක් කොළඹ බලා පිටත්වෙයි.

යාපනයෙන් පැමිණි පොලිස් කණ්ඩායම විසින් ස්විස් කුමාර් ඇතුළු පිරිස යළි යාපනය පොලීසිය වෙත ගෙන එනු ලබන්නේ 20වන දින රාත්‍රී අට පමණ වන විටය. ඒවන විටත් කොළඹින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත ද සිල්වා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායම විසින් පරීක්ෂණ ආරම්භ කර තිබිණි. එදින රාත්‍රීයේ නිශාන්ත ද සිල්වාට දුරකථන ඇමතුමක් ලබාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් නාගහමුල්ල මහතා විශේෂ නියෝගයක් ලබාදුන්නේය.

"නිශාන්ත. ස්විස් කුමාර්ගෙ කට උත්තරය ගන්න ඕන ඔයාමයි"

"ඕකේ සර්"

මෙවන් සැකකරුවෙකුගෙන් කටඋත්තර සටහන් කරගැනීමේදී සැලකිල්ලට ගත යුතු ඇතැම් සුවිශේෂී කරුණු පිළිබඳ නාගහමුල්ල මහතා විසින් උපදෙස් ලබාදුන්නේය. ඒ වන විට වේලාව රාත්‍රී එකොළහ පසුවී තිබිණි. පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා, තම ප්‍රධානියාගේ උපදෙස් අනුව ස්විස් කුමාර්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කළේය.

සඳුදා-පරීක්ෂණ නොමඟයවන උත්සාහයක්

රංජිත් විජේබණ්ඩාර

නව අදහස දක්වන්න