රටටත් බැංකුවටත් හානි සිදුවන කිසිම ක්‍රියාවකට එළැඹුණේ නෑ | දිනමිණ

රටටත් බැංකුවටත් හානි සිදුවන කිසිම ක්‍රියාවකට එළැඹුණේ නෑ

කමනි අල්විස්

දඩ අනුපාත ප්‍රතිශතයක් ඉවත් කළේ මුදල් මණ්ඩල අනුමැතිය ඇතිව බව හිටපු මහ බැංකු අධිපති කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් මත ටෙන්ඩර් මණ්ඩලය සහ මුදල් මණ්ඩලයේ අනුමැතිය පරිදි නිසියාකාර ක්‍රමවේදයකට අනුව ක්‍රියා කළා හැර ඉන් පිටස්තරව කිසිම ක්‍රියාමාර්ගයකට එළඹී නැති බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (12) පැවසීය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සාක්ෂි විමසීම් හමුවේ සාක්ෂිකරු මේ බව පැවසීය.

රටටත් බැංකුවටත් මොනයම් හෝ හානියක් සිදුවන ආකාරයට ක්‍රියා කළේ නැති බවත් සියයට පහේ දඩ අනුපාත ප්‍රතිශතය ඉවත් කළේ ද මුදල් මණ්ඩලයේ අනුමැතියෙන් බව මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේය.

අර්ජුන් ‍ඇලෝසියස් හෝ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වාසිදායක වන ආකාරයේ කිසිම ක්‍රියාවක් ඉටු නොකළ බව පැවසූ මහේන්ද්‍රන් මහතා, තමන් කිසිම වරදක් සිදුකර නැති බවත් සාක්ෂි දෙමින් පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. එස්. ජයවර්ධන මහතාගේ විමසීම් හමුවේ සාක්ෂිකරු මෙසේ පැවසීය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අතේ දුරින් තබාගෙන ක්‍රියා කළා. එම සමාගමේ සෙසු සාමාජිකයින් සමඟ සබඳතා තිබුණේ නෑ. පෙෆ්රි ඇලෝසියස් මහතා සමඟ පැවැතියේ සමාජමය සබඳතාවක්.

සේවක අර්ථසාධක අරමුදලේ සමන් කුමාර සහ පදුමනාදන් වෘත්තිය දක්ෂතාවයෙන් හෙබි දක්ෂයන්, සී. එෆ්.ඒ. සුදුසුකම්ලාභින් දෙදෙනෙක්.

එවැනි සුදුස්සන් බැංකුවට විරලයි. දක්ෂතාවන් පරිපූර්ණ උදවියට ධෛර්ය දීම පිළිවෙතයි. රාජකාරි සම්බන්ධව හැර වෙනත් පෞද්ගලික සබඳතාවක් ඔවුන් සමඟ තිබුණේ නෑ. ඕනෑම සේවකයකුට බැංකු අධිපති මුණගැසීමට හැකියාව සලසා තිබුණා.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සාක්ෂි විමසීම් හමුවේ සාක්ෂිකරු මෙසේ ද පැවසීය.

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, ටෙන්ඩර් මණ්ඩලය, අධ්‍යක්ෂ මණ්ඩලය, මුදල් මණ්ඩලය විරෝධය පළ කළේ නෑ.

විනිවිද බවකින් අවංකව ක්‍රියා කිරීම සඳහා දිනපතා වාර්තා ලබාගත්තා.

ඍජු ස්ථානගත කිරීම් නතර කිරීමට ගත් තීරණය පිළිබඳව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක දැක්වුණා. එම ප්‍රවෘත්ති නිවේදනය ‘ඩේලිනිවුස්’ පුවත්පතේ පළවුණා.

වසර 2015 මාර්තු මාසයේදී රුපියල් බිලියන එකසිය හැත්ත දෙකක මුදල් අවශ්‍යතාවක් රජයට තිබුණා. එයින් රුපියල් බිලියන එකසිය විසි අටක් දවසක් තුළදී සෙවීමට තිබුණා. ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව 27 සිදුවෙද්දී මෙම කාරණා දැන සිටියා.

නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය එවකට බැංකුවට ලැබී තිබුණා. යම් අකටයුත්තක් වනවානම් ඒ පිළිබඳව ඔවුන්ට උපදෙස් දීමට තිබුණා.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පැවසුවේ උ‍පදෙස් ඉල්ලන්නේ නැතිව උපදෙස් නොදෙන බවයි.

මෙහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පැවසුවේ නීතිපති දෙපාර්ත‍මේන්තුවේ නීතිඥ බාරි මහත්මිය ඇතුළු නීතිඥවරුන් මහ බැංකුවට උපදෙස් ලබාදීමේ නිරතව සිටි බවයි.

බැඳුම්කර සිදුවීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ මූලික විරෝධතාව පිළිගෙන පෙත්සම ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පැවසීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා ප්‍රකාශ කළේ බැඳුම්කර සම්බන්ධව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව ක්‍රියාත්මක වුණ බැවින් එම පෙත්සමට එවැන්නක් සිදුවුණ බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. එස්. ජයවර්ධන සහ වී. කන්දසාමි මහත්වරුන්ගෙන් හෙබි බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි විභාගය සිදුවිය. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සමඟ නීතිඥ චානක ද සිල්වා, නීතිඥ සුදත් කල්දේරා, නීතිඥ මංජුක ප්‍රනාන්දුපුල්ලේ, නීතිඥ අනුර සමරජීව, නීතිඥ සචින්ද කහඳගේ මහත්වරු පෙනී සිටියහ. 

නව අදහස දක්වන්න