ගෑස් මිල ඉහළ ගිය පසු මහජනතාව හූරා කන මුදලාලිලාට එරෙහිව දැඩි පියවර ගත යුතුයි | දිනමිණ

ගෑස් මිල ඉහළ ගිය පසු මහජනතාව හූරා කන මුදලාලිලාට එරෙහිව දැඩි පියවර ගත යුතුයි

ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යාමත් සමග මහජනතාව හූරා කන මුදලාලිලාට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

රජයක් ලෙස තවදුරටත් මේ ගසා කෑමට ඉඩ නොදෙන බවත් ඒ සඳහා පාරිභෝගික ආරක්ෂක අධිකාරිය කඩිනම් පියවර ගත යුතු බවත් ඇමැතිවරයා කියයි.

ඇමැතිවරයා මෙම අදහස් පළ කෙළේ පසුගිය දා හම්බන්තොට ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. රුපියල් මිලියන 600ක වියදමින් මෙම ගොඩනැඟිල්ල ඉදි කර තිබිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේද කීය.

ගෑස් සිලින්ඩරයක් රුපියල් 110කින් ඉහළ ගිය විට ආප්පයක මිල රුපියල් 10කින් ඉහළ නංවනවායයි සමහර මුදලාලිලා කියන්නේ ගෑස් සිලින්ඩරයකින් හදන්නේ ආප්ප 11ක්ද කියා මම අහනවා- 2015 දී මේ රජය රුපියල් 2000කට වැඩියෙන් ගෑස් මිල අඩු කළා. ඉන්පසු කිසිම අවස්ථාවක ගෑස් මිල වැඩි කළේ නැහැ. නමුත් ලෝක වෙළෙද පොලේ ගෑස් මිල ඉහළ ගිය නිසා රුපියල් 110ක පමණ මුදලකින් ගෑස් මිල නංවන්න රජයට සිදු වුනා.

ගෑස් මිල රුපියල් 130කින් ඉහළ ගියාම සමහර ආපනශාලා මුදලාලිලා කියනවා ගෑස් මිල ඉහළ ගිය නිසා ආප්පයක හා තේ කෝප්පයක මිල රුපියල් 10කින් ඉහළ නංවනවා කියළා. මම අහන්න කැමැතියි ගෑස් ටැංකියකින් හදන්නේ ආප්ප 10ක් හා තේ කොප්ප 10ක් ද කියළා.

එහෙම නම් 2015 අපේ රජය අර තරම් විශාල වශයෙන් ගෑස් මිල අඩු කළාම ඔය ආප්ප තේ නිකම්ම නොමිලේ පාරිභොගිකයාට දෙන්න තිබුනනේ. ගෑස් මිල අඩු වෙන කොට ආප්ප තේ මිල ශත පහකින්වත් ඔය අය අඩු කළාද? .

අද මේ රටේ සමහර මුදලාලිලා කරන්නේ මහජනතාව හූරා ගෙන කන එකයි. ආණ්ඩුව මහජනතාවට බඩු මිල අඩු කළාම ඒ වාසිය ජනතාවට දෙන්නේ නැහැ. ඒකට දහසක් දේවල් කියනවා. හැබැයි සුළු මුදලකින් කිසියම් භාණ්ඩයක මිල ඉහළ ගියොත් ඒ වගේ දහගුනයකින් ඉඩු මිල ඉහළ නංවනවා.. අපි රජයක් විදියට තවදුරටත් මේ ගසා කෑමට ඉඩ දෙන්නේ නැහැ. පාරිභෝගික ආරක්ෂක අධිකාරිය මේ සදහා පියවර ගත යුතුයි. මහජනතාව හූරා කන මුදලාලිලාට එරෙහිව පියවර ගත යුතුයි.

දැන් පොල් මිල ඉහළ ගොස් තිබෙනවා. පොල් මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන හේතුව තමයි පසුගිය මාස ගණනක් තිස්සේ රටපුරා පැවැති නියගය. පොල්ත්‍රිකෝණයේ වගේම රටේ හැම තැනකම පොල් ගස් දහස් ගණනක් මැරුණා. ඒ වගේම ඵලදාව අඩු වුණා. දකුණු පළාතේ මයිටා උවදුරත් පොල් නිෂ්පාදනය පහළ යන්නට හේතු වුණා. ඒත් එක්කම අපේ පොල්වලට ජාත්‍යන්තර වෙළෙඳ පොලේ ඉහළ ඉල්ලුමක් තිබෙනවා. දේශීය කර්මාන්ත කරුවන් පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට අවතීර්ණ වෙලා තියෙනවා.

මේවා තමයි පොල් මිල ඉහළ යාමට හේතු වී තිබෙන්නේ. පොල් මිල පාලනය කිරීමට නම් පොල් වගාව හා නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුයි. අපේ රටේ හැම කෙනෙක්ම අඩුම තරමින් පොල් ගහක් දෙකක්වත් තමන්ගේ ඉඩම්වල වගා කරන්නට කැමැතියි. ඒ වුනත් දැන් අපි වගා කරන පොල් සඳහා ඉඩම්වල විශාල ඉඩක් අවශ්‍ය වෙනවා. පර්චස් දහයේ දොළහේ ඉඩම්වල ගේ හදාගත්තට පස්සේ පොල් ගහක් හිටවන්නට ඉඩක් නැහැ. ඒ නිසා වැඩි උස යන්නැති, කෙටි කාලයක් තුළ ඵලදාව හට ගන්නා පොල් වගාව සදහා පොල් පර්යේෂණ මණ්ඩලය පර්යේෂණ කොට ඒවා මහජනතාවට හදුන්වා දිය යුතුයි. දැන් ඒ ඊට කාලය එළඹී තිබෙනවා. එතකොට අපිට මේ පොල් මිලේ ගැටළුවක් ඇති වෙන්නැහැ. කොහොම වුනත් පහුගිය මාස කිහිපය තුළ රටට බලපෑ නියං තත්ත්වය සෑම වගාවකටම බලපෑවා. ධීවර කර්මාන්තයටත් ඒක බලපෑමක් එල්ල කළා. වැව් සිය ගණනක් හිදිලා ගියා. අපි වැව් වලට මුදා හැරපු මත්ස්යත පැටවුන් නියගය නිසා මැරුණා. ඒ නිසා මත්ස්‍ය නිෂ්පාදනයේත් විශාල අඩු වීමක් සිදු වුණා.

මේවා ආණ්ඩුව හිතාමතා කරන දේවල් නොවෙයි. ඒවා ස්වාභාවික දේවල්. ඒවා අපිට පාලනය කරන්නට බැහැ. නමුත් එවැනි සිදුවීම්වලට මුවා වෙමින් සමහර ව්‍යාපාරිකයින් විසින් කරන මහජනතාව ගසා කන්නට අපි ඉඩ තබන්නේ නැතැයි ද ඇමැතිවරයා කීය. 

නව අදහස දක්වන්න