‘එල්.එස්.ආර්.කලම්බො මැරතන්’ තරගය හෙට | දිනමිණ

‘එල්.එස්.ආර්.කලම්බො මැරතන්’ තරගය හෙට

වර්නන් ගුණසේකර

රටවල් 47කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8000ක්

රටවල් 47කින් දෙස් විදෙස් දුර දිවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8000කට වැඩි පිරිසක් සහභාගි වන ‘එල්.එස්.ආර්.කලම්බෝ මැරතන්’ තරගය හෙට (8) පැවැත්වේ.

මෙවර තරගයේ වැඩි කොටසක් ප්‍රථම වතාවට කොළඹ නගරයට සීමා කරමින් කිලෝමීටර් 5 සහ 10 තරග ඉසව් කොළඹ නගරය තුළ පැවැත්වෙනු ඇත.

මීට අමතරව ප්‍රධාන තරගයේ ද මෙවර වෙනසක් සිදුකර තිබේ. මීට පෙර මීගමුවෙන් අවසන් වූ තරගය මෙවර අවසන් කෙරෙනු ඇත්තේ තලාහේනෙනි.

ජාත්‍යන්තර මැරතන් ධාවන ක්ෂේත්‍රය තුළ ඉමහත් ජනප්‍රියත්වයට පාත්‍රවී ඇති ‘කලම්බෝ මැරතන්’ තරගය මෙවර පැවැත්වෙනුයේ 17 වැනි වතාවටය.

‘විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාව තෝතැන්නකි’ යන පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යමින් මේ ‘කලම්බෝ මැරතන්’ තරගය සංවිධානය කරන්නේ ජලාශ්‍ර හා ස්වභාසෞන්දර්ය ආශ්‍රිත ක්‍රීඩාවන් පැවැත්වීමෙන් ජනාධිපති සම්මාන දිනා ගත් ‘ලංකා ස්පෝට්රයිසන්‘ ආයතනයයි. මේ තරගයට අමතරව ‘ශ්‍රී ලංකා T-Cup’ ජාත්‍යන්තර පාපැදි තරගය, ‘රම්බ්ල් ඉන් ද ජංගල්’ කඳු නැගීමේ පාපැදි තරගය, ‘විටෙල් ඇමසන්‘ වීරක්‍රියා අභියෝගය, ඔස්ට්‍රේලියානු සර්ෆින් ප්‍රමුඛතමයන්ගේ WQS සර්ෆින් තරගාවලිය හා ‘ශ්‍රී ලංකන් ගොල්ෆ් ක්ලැසික්’ තරග සංවිධාන කරන්නේද ‘ලංකා ස්පෝට්රයිසන්’ ආයතනයයි.

සුපුරුදු පරිදි උදෑසන 6.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (B.M.I.C.H.) අසලින් ආරම්භ වන තරගය ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය විසින් සම්මත කරනු ලැබූ නවතම ධාවන මාර්ගය වන බෞද්ධාලෝක මාවත, ආර්.ජී.සේනානායක මාවත, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, හෝර්ට්න් පෙදෙස, කොල්ලුපිටිය ශ්‍රී ජයවර්ධනපුර පාර, ශ්‍රීමත් මාකස් ෆර්නැන්ඩස් මාවත, ඇල්බර්ට් චන්ද්‍රවංකය, නිදහස් පටුමග, ෆිලිප් ගුණවර්ධන මාවත, තුන්මුල්ල හන්දිය, බෞද්ධාලෝක මාවත, ජාවත්ත පාර, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාවත, ටොරින්ටන් පටුමග, බෞද්ධාලෝක මාවත, මේට්ලන්ඩ් පෙදෙස, නිදහස් පටුමග, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, මේට්ලන්ඩ් පෙදෙස, විද්‍යා මාවත, විජේරාම මාවත, බෞද්ධාලෝක මාවත, බොරැල්ල කනත්ත හන්දිය, බේස්ලයින් පාර, පෑලියගොඩ නවලෝක වටරවුම, මීගමුව-කොළඹ පාර, හේකිත්ත හන්දිය, හේකිත්ත පාර, ඇල පාර, බෝපිටිය පාර, පමුණුගම පාර ඔස්සේ දුන්ගාල්පිටිය හරහා පැමිණ තලාහේනෙන් අවසන් වෙයි. තරගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 42.195කි. අර්ධ මැරතන් තරගය අවසන් වීමට නියමිතව තිබෙන්නේ හේකිත්තෙනි.

කිලෝ මීටර් 5 දිවීම හා කිලෝ මීටර් 5 පාසල් විනෝද දිවීමේ තරග බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසලින් ආරම්භ වී බොරැල්ල හන්දිය, ආර්.ජී.සේනානායක මාවත, මේට්ලන්ඩ් පෙදෙස හරහා පැමිණ පැරණි තුරඟ තරග පිටියෙන් අවසන් වන අතර කිලෝ මීටර් 10 තරගය එම ස්ථානයෙන්ම ආරම්භ වී කිලෝ මීටර් 5 තරග මෙන්ම තුරඟ තරග පිටියට පැමිණ ඉන්පසුව රාජකීය විදුහල, තුන්මුල්ල හන්දිය, බෞද්ධාලෝක මාවත, ජාවත්ත පාර ඔස්සේ නැවත තුරඟ තරග පිටියට පැමිණ අවසන් වීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගිතාව මැද පැවැත්වෙන මෙවර තරගයට රුපියල් මිලියන 24.2කට ආසන්න මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා තිබේ. ඉන් මිලියන 2.5ක මුදලක් තරගයේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වෙන් කර තිබේ.

තරගයේ තිළිණ ප්‍රදානය මධ්‍යාහන 12.00 ට පමණ කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය. 

නව අදහස දක්වන්න