දඩ බල්ලන් සපා කන සංව­ර්ධන අසි­රිය | දිනමිණ

දඩ බල්ලන් සපා කන සංව­ර්ධන අසි­රිය

තිඹිරියාගම බණ්ඩාර

දඩ බල්ලකුගේ ගොදුරක් ව සත් දිනක් වයසැති දරුවකු මිය යෑමේ සිදු වීම අපේ රටේ විසම පන්ති රටාවේ දුක් ඝනාන්ධකාරය හෙළි වූ අඳුරු සිදුවීමක් වැන්න.

මියගිය බිළිඳාගේ පාංශුකූලයට සහභාගි වූ භික්ෂුවක් මෙය කළ කම් පලදීමක් ලෙස හඳුන්වා දී තිබෙනු දැක මසිත ඇතිවූයේ ආගමික සංස්ථාව පිළිබඳ කළකිරීමකි.

බිළිඳා උපත ලද ගම්මානය මී කැඩීමෙන් හා දඩයම් කිරීමෙන් ජීවිකාව සපයා ගන්නා දිළින්දන්ගෙන් යුතු එකක් බවත්, ඔවුන් රහමෙර පානයට ඇබ්බැහි වී ඇති බවත් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබිණ. ගම්මුන් සමඟ දඩයමට යෑමට හුරු වූ බල්ලන් ලේ රසට පුරුදු වී වසු පැටවුන් ද ඩැහැගෙන යන බව තවත් වාර්තාවක දැක්විණ.

මියගිය බිළිඳා දඩ බල්ලාට ගොදුරු වන මොහොතෙහි පියා දඩයමට ගොස් සිටිය බවත් මව හාල් ටිකක් ඉල්ලාගෙන විත් උයමින් සිටි බවත් අනාවරණය විය.

බිළිඳාගේ මළ සිරුර භූමදානය කිරීම සඳහා දඹුල්ල රෝහලේ කාර්ය මණ්ඩලය මුදල් ලබා දී ඇති බව ද, මළ සිරුර යාබද නිවසක තබා ඇත්තේ බිළිඳාගේ නිවසෙහි ඉඩකඩ මඳ නිසා බවද සඳහන් විය. මේ සියලු තොරතුරු අනුව හැඟී යනුයේ උදේ හවා ජප කරන සංවර්ධනයේ අරුණලු මේ ගමට නම් නොවැටී ඇති බවය.

අගනුවර අලුතින් ඉදි කෙරෙන නිවාස සංකීර්ණවල නිවාස කොටස් එම ගොඩනැගිලිවල වැඩ අවසන්වීමට ද පෙර විකිණී අවසන් වන අතරතුර දඹුල්ල ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක දරුවකු බල්ලකුගේ අහර බවට පත් වෙයි. පියා දඩයක්කරුවකු වීමේ වරද නිසා පුතාට මේ බිහිසුණු ඉරණම අත් වී ඇතැයි ද එය දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දීමකැයි ද පවසා අත පිසදා ගත හැකි ද?

කර්මය පඩිසන් දීම හරි යැයි මොහොතකට අනුමාන කළහොත් දඬුවම ලැබිය යුත්තේ ලෝකය ගැන හය හතරක් නොදත් පුතා ද? නොඑසේ නම් පියා ද? ඔවුන් මේ සා අසරණ බවට පත් කළ බලවතුන් ද? සියලු වරද කරුමය පඩිසන් දීමක් ලෙස පූජකයන් අර්ථ දැක්වීම රට කරවන්නන් සියලු දොස්වලින් නිදොස් කිරීමේ කදිම උපායකි. වගකීමෙන් නිදහස් කිරීමකි. මිය ගිය බිළිඳා උපන් ගමෙහි නම ‘ආසිරිගම’ ය. එය පිහිටා ඇත්තේ ‘නාමල්පුර’ ජනපදයෙහිය. මේ නම් දෙකෙහි ඇති දීප්තිය අනුව නම් එම ගම්වාසීන්ගේ කරල පැහී තිබිය යුතුය. කිසිදු දුකක් තිබිය නොහැක. ‘ආසිරිගම’ උජාරුවට තැබූ නමකි. එහි වතුර හිඟය නිසා ගොවිතැන් කළ නොහැක. කුලී වැඩක්වත් සොයාගත නොහැකි නිසා වේලක් ඇර වේලක් කෑම ද දුෂ්කර ය. මියගිය කවිශ්ක සඳරුවන්ගේ මව අසල්වැසි නිවසකින් හාල් ටිකක් ඉල්ලාගෙන ඇත්තේ කුසගිනි ඉවසනු බැරිම තැන ය. අලුත උපන් බිළිඳාට කිරි ටිකක් පෙවීමේ වරම ඇයට අහිමි වී ඇති බවද එයින් පෙනේ. සංවර්ධනයෙන් ගිනි කන වැටුණු සමාජයක කිසිවකුගේ අවධානයට ලක් නොවූ මෙවැනි සමාජ තීරු දුක්ඛිත ඉරණමකට ගොදුරු වී ඇති අයුරු දුෂ්කර ප්‍රදේශවල අත්දැකීම් අනුව අපට පෙනේ. සමෘද්ධි ව්‍යාපාරය, ස්වයං රැකියා යනාදී ව්‍යාපෘති කිසිවක් මේ ප්‍රදේශවල ක්‍රියාත්මක නොවේ ද?

දරුවන් පාසල් හැර යෑම, අඩු වයස් විවාහ, මන්ද පෝෂණය, ප්‍රචණ්ඩත්වය හා දිවි නසා ගැනීම් මෙබඳු ජනතීරුවල පොදු ලක්ෂණයකි. අපේ රටේ සංවර්ධන සැලසුම්කරුවන් මෙවැනි ජනතීරු දුක්ඛිත බවෙන් මුදා ගැනීමේ සැලසුම් ඉදිරිපත් කිරීමට අසමත් වූ‍ෙය් ඇයි? අපේ රටේ විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යා අංශ මෙබඳු ජන තීරු පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර නැත්තේ මන්ද?

අපේ රටේ ජනමාධ්‍ය මේ සිදුවීම්වල අනුවේදනීයත්වය දැක්වීම හා ආගමික මත පුනරුච්චාරණය සිය භාවිතය බවට පත් කර ගැනීමෙන් සෑහීමකට පත්ව ඇත්තේ කුමක් නිසාද? ප්‍රශ්නයේ ගැඹුර තේරුම් ගත හැක්කේ සිදුවීම්වල අක්මුල් සෙවීමෙන් පමණි. එසේ නොකරන තාක් මෙවැනි ඛේදජනක දේවල් දිගින් දිගට ම අසන්නට ලැබීම වැළැක්විය නොහැක. 1988 – 89 භීෂණ සමයෙහි කටුපොත මංසන්ධියෙහි පයින් ගමන් යෑම බිය ජනක කරුණක් විය. ඊට හේතුව තරුණ තරුණියන්ගේ මළ සිරුරු නිතර එහි ප්‍රදර්ශනයට තැබීමය. මිනීමසට රසවැටුණු සුනඛයන් ඒ පුරුද්දට පාරේ යන එන මිනිසුන් හඹා යෑමේ තත්ත්වයක් උද්ගත විය. අරගල කළ ආකාරය සදොස් වුව ද ඊට මුල් වූයේ සමාජ අසාධාරණයට එරෙහි වීමය. පන්ති විෂමතාවට විසඳුම් සෙවීම ය. දඩ බල්ලන්ට ගොදුරු සැපයුණේ එහි ප්‍රතිඵල ලෙසය.

ආසිරිගම බිළිඳකු දඩ බල්ලකුගේ ගොදුරක් වන මට්ටමටම, දුප්පත්කම එහි අඳුරු වියන් එලා තිබිණ. එසේ වුව ද ඒ ඉරණම වෙනස්කර ගැනීම සඳහා අරගල කිරීමේ සවිඥානකත්වය ද එම ප්‍රජාවට නොවී ය.

ආසිරිගම අයත් වනුයේ මධ්‍යම පළාතටය. මධ්‍යම ආණ්ඩුව පළාත්වලින් එක් කරන බදු මුදල්වලින් සාධාරණ කොටසක් එම පළාත්වල සංවර්ධනය සඳහා නොයොදන බවට චෝදනා පවතී. පළාත් ආදායම්වලින් යම් ප්‍රතිශතයක් එම පළාත්වල ආන්තික පිරිස් ආර්ථික හා සමාජීය වශයෙන් නඟාසිටුවීම සඳහා යෙදවිය යුතුය. මුදල් කොමිසම ඊට බාධාවක් නම්, එය සංශෝධනයට ලක් කළ යුතුය. දිට්ඨධම්මවේදනීය කර්මය ගැන මුසා දොඩන පූජක පාර්ශ්ව ද ඊනියා පලතුරු පූජා සහ අටපිරිකර පූජාවලට ජනතාවගෙන් ධනය රැස්කරනු වෙනුවට මෙබඳු ගැටලු කෙරෙහි සංවේදී වෙමින් පාලකයනගේ සහ ජනතාවගේ අවධානය යොමු කිරීමට ක්‍රියා කළ යුතුය. ආන්තික කණ්ඩායම් දිළිඳු බවේ පතුලට ඇදී යන අතරේ රටේ ධනයෙන් වැඩිම කොටස හිමි සුළුතරය ඇල්ටෙයාර් කුලුණෙහි මුදුන ද මිලට ගැනීම සංවර්ධනය ලෙස නම් කෙරේ නම් එය ජීවිතයට කළ හැකි ලොකුම සරදමකි.

නව අදහස දක්වන්න