රෝහින්ග්‍යා අර්බුදය: "ජාත්‍යන්තර විවේචනවලට බය නැහැ" | දිනමිණ

රෝහින්ග්‍යා අර්බුදය: "ජාත්‍යන්තර විවේචනවලට බය නැහැ"

රෝහින්ග්‍යා අර්බුදය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචනවලට සිය ආණ්ඩුව බිය නොවන බව මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචී පවසයි.

රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් වෙසෙන රඛයින් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනීමත් සමග එම තත්ත්වය වැළක්වීමට ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අවුන් සාන් සුචී ජාත්‍යන්තරය තුළ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.

මුස්ලිම්වරුන්ගෙන් වැඩි දෙනෙකු රඛයින් ප්‍රාන්තයෙන් පළා නොගොස් ඇති බව කී ඇය එහි පැවති ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් වී ඇති බව සඳහන් කළාය.

මියන්මාර පාර්ලිමේන්තුව අමතමින් අදහස් පළ කළ අවුන් සාන් සුචී, ගැටුම් හමුවේ පීඩාවට පත් "සියලු මිනිසුන්ගේ" වේදනාව තමන්ට දැනෙන බවත් කියා සිටියාය.

රඛයින් ප්‍රාන්තයේ වෙසෙන "සියලූම ප්‍රජාවන් වෙනුවෙන් තිරසාර විසඳුමක් ලබා දීම සඳහා" මියන්මාරය කැප වී සිටින බවත් ඇය සඳහන් කළාය.

නව අදහස දක්වන්න