ඉන්දියාවට කඩුළු 09ක ජයක් | දිනමිණ

ඉන්දියාවට කඩුළු 09ක ජයක්

දඔුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ අද පැවති ශ්‍රි ලංකා - ඉන්දියා පළමු එක්දින තරගයෙන් කඩුළු 09ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව මීට සුළු මෙහොතකට පෙර සමත් විය.
 
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා පිල පන්දුවාර 43යි පන්දු දෙකකදී සියල්ලන් දැවී ලකුණු 216 ක් වාර්තා කලේය.
 
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රිඩා ඉන්දීය ක්‍රිඩකයින් සිය ජය වාර්තා කලේ පන්දුවාර 28යි පන්දු පහකදීය.
 
ඒ අනුව ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 220ක් වාර්තා කලේය.
 
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේ දී දවාන් ලකුණු 132ක් වාර්තා කිරීම විශේෂත්වයක්.
 
 
------------------------------

ධවාන්-කෝලි සබඳතාවෙන් ඉන්දියාවට පහසු ජයක්

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති පළමු දිවා/රාත්‍රි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

මේ සමග තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාවට හැකි විය.

මැද පෙළ හා පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් නොදුන් ඉන්දියානුවෝ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පිල ලකුණු 216කට සීමාකළ අතර කිසිදු අපහසුවක් තොරව ජයග්‍රාහී ඉලක්කය පසුකළේ පන්දු 127ක් ඉතිරිව තිබියදී එක් කඩුල්ලක් පමණක් අහිමිකර ගනිමිනි.

ඉන්දීය පිළිතුරු ඉනිමේදී රෝහිත් ශර්මා (4) පළමු කඩුල්ල ලෙස මුළු ලකුණු 23දී දැවී ගියද ආරම්භක පිතිකරු ශිකර් ධාවන් සමග එක්වූ නායක විරාට් කෝලි ලකුණු 197ක නොබිඳි සබඳතාවක් ගොඩනගමින් ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පන්දු 71කින් සිය 12වැනි ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කළ ධවාන් ඉනිම නිමාවනවිට නොදැවී ලකුණු 132ක් රැස්කරගෙන සිටියේය. පන්දු 90කට මුහුණදුන් ඔහු හතරේ පහර 20කින් හා හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කර ගත්තේය.

කෝලි නොදැවී ලකුණු 82ක් වාර්තා කළේ පන්දු 70කදී හතරේ පහර 10ක් හා හයේ පහරක් සමගිනි.

නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක ඕවර 14කදී පළමු කඩුල්ලට ලකුණු 74ක සබඳතාවක් පිහිටුවමින් ආරම්භයක් ලබාදුන්හ. එහෙත් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ යළිත් වරක් වගකීම් විරහිත පිතිහරඹයක් දියත් කළ මැද පෙළ පිතිකරුවන් හා අසාර්ථක වූ පසුපෙළ පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 43.2කදී ඉනිම නිමාවට පත්විය.

කාසියේ වාසිය දිනු ඉන්දීය නායක විරාට් කෝලිගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සමග පළමු කඩුල්ලට ගොඩනැගූ ලකුණු 74ක සබඳතාව බිඳ වැටුණේ යුස්වෙන්ද්‍ර චාහල්ගේ පන්දුවක් හමුවේ ලෝකේෂ් රාහුල් උඩ පන්දුවක් රැක ගැනීමෙන් ගුණතිලක (35) දැවී යෑමෙනි.

අනතුරුව දික්වැල්ලට එක්වූ කුසල් මෙන්ඩිස් ලකුණු 65ක සබඳතාවක් ගොඩනගමින් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත් වුවද ලකුණු 64ක් ලබාසිටි දික්වැල්ල දැවී යෑමත් සමග ඉනිමේ කඩා වැටීම ඇරැඹිණි. 5වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය රැස්කළ දික්වැල්ල, කේදර් ජාදව්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවනවිට පන්දු 74කදී හතරේ පහර 8ක් ඉනිමට එක්කර ගෙන තිබිණි.

ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 139ක් විය. දික්වැල්ලගේ කඩුල්ලත් සමග අවසන් කඩුලු 9 දවා ගැනීම සඳහා ඉන්දීය පන්දු යවන්නන්ට ලබාදීමට සිදු වූයේ ලකුණු 77ක් පමණි.

අක්ෂාර් පටෙල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් තෙවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 36කට දැවී ගිය අතර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස පත්වීමෙන් පසු පළමු තරගයට පිවිසි උපුල් තරංගට ලබාගත හැකිවූයේ ලකුණු 13ක් පමණි. ඔහු කේදර් ජාදව්ගේ පන්දුවක් හමුවේ ශිකර් ධවාන් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.

අනතුරු ලකුණු 9ක් තුළ චාමර කපුගෙදර (1), වනිඳු හසරංග (2) හා තිසර පෙරේරා (0) පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා පිල අසීරු තත්ත්වයකට ඇද දැමීමට ඉන්දීය පන්දු යවන්නන්ට හැකි විය. කපුගෙදර දුවද්දී දැවී ගිය අතර අක්ෂාර්ගේ පන්දුවක් හමුවේ ජාදව් උඩ පන්දුවක් රැක ගැනීමෙන් හසරංගද, පන්දු 5කට මුහුණදුන් තිසර පෙරේරා ලකුණු ලබාගැනීමට පෙර බුම්රාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්ද දැවී ගියහ.

මුළු ලකුණු 187ක් වෙද්දී ලක්ෂාන් සඳකැන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට අක්ෂාර් පටෙල් සමත් වූ අතර ලකුණු 8ක් ලබාසිටි ලසිත් මාලිංග, යුස්වෙන්ද්‍ර චාහල්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමට හසුවිය. මංගල ජත්‍යන්තර එක්දින තරගයට එක්වූ විශ්ව චතුරංග ලකුණු ලබාගැනීමට පෙර ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත්විය. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 50කින් ලකුණු 36ක් රැස්කර ගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

සිය ජාත්‍යන්තර එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අක්සාර් පටෙල් ලකුණු 34කට කඩුලු 3ක් දවාගත් අතර ජස්ප්‍රිට් බුම්රා, කේදර් ජාදව් හා යුස්වෙන්ද්‍ර චාහල් කඩුලු 2 බැගින් දවාගත්හ.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය මේ 24වැනිදා පල්ලේකැලේ දී පැවැත්වේ.

 

නව අදහස දක්වන්න