අපේ මිනිස්සුන්ට කතා කරන්න ඕන අපේ සංස්කෘතියෙන් | දිනමිණ

අපේ මිනිස්සුන්ට කතා කරන්න ඕන අපේ සංස්කෘතියෙන්

ධම්මික සෙනෙවිරත්න
කුමාර ලියනගේ

කවියකු, ගීත රචකයකු සහ විචාරකයකු වන කුමාර ලියනගේගේ නවතම කාව්‍ය සංග්‍රහය 'අමුතු බට නළාව' හෙට (17) ප.ව. 2. 30ට කොළඹ 7, ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ ද ලයිට් හවුස් හිදී එළිදැක්වීමට නියමිතය. මේ, එය නිමිති කර ගනිමින් සිදු කළ සංවාදයකි.

ඔබ 'අමුතු බට නළාව' එළිදක්වන්නේ 'චේ සහ ඇපල්' කෘතියට පසු, වසර ගණනාවක නිහැඬියාවකින් අනතුරුවයි. මේ කෘතියට බලපෑ පසුබිම ගැන අපි මුලින්ම කතා කරමු?

සාමාන්‍යයෙන් මගේ පොත් දෙකක් අතර සෑහෙන කාල පරතරයක් තියෙනවා. පසුගිය කාලයේ මගේ අක්කත්, අම්මත් ජීවිතයෙන් සමු ගත්තා. අම්මා නැති වුණේ අක්කාට පසුව. මේ සමුගැනීම් මට දැඩි කම්පනයක් ඇති කළා. සිත හදා ගන්න වෑයම් කරමින් සිටි කාලයක කවි ටිකක් එකතු වුණා. මේ අතර වාරයේ රන්පත් ආයතනයේ අධිපති නිරූන් බුද්ධසිරි මගේ මිත්‍රයා කවි පොතක් කරමු කියලා මට ඇවටිලි කරමින් සිටියා. 'අමුතු බට නළාව' හිත හදා ගැනීමට දැරූ වෑයමේත්, ඒ ඇවටිලි කිරීම්වලත් ප්‍රතිඵලයක්.

මේ කෘතියට මගේ කාව්‍ය නිර්මාණ 50ක් ඇතුළත්. කෘතියේ පෙරවදන පිටු 63ක්. වර්තමාන වසළ වෙළෙඳ සිංහල බසට එරෙහිව සංස්කෘතික සිංහල බස හෙවත්, සිංහල පොදු ජන කලා බස නැවත මතුකර ගත යුතුයි. සම්ප්‍රදාය නවීකරණය කළ හැක්කේ එවිටයි. මේ කෘතියෙන් මතු කරන සංවාදයත් එයයි.

මේ කෘතියට මේ නම යොදන්න විශේෂ හේතුවක් තියෙනවද‍?

'අමුතු බට නළාව' කියලා මේ පොතට නම යෙදීමටත් මට බලපෑවේ අම්මා ගැන මතකය කිව්වොත් නිවැරැදියි.

අපේ ගෙදර මගේ කාමරේ තිබුණේ කුස්සියට ළඟින්. අම්මා බට කුඹලෙන් ළිපට පිඹින ශබ්දය මට නිතර ඇහෙනවා. ඒ ශබ්දය මගේ මනසේ දෝංකාර දෙමින් තිබුණා. මේකත් හරියට බට නළා ශබ්දයක් වගේ. හැබැයි අනෙක් බට නළාවලට වඩා වෙනසක් තියෙනවා. අම්මා මේ බට නළාව පිම්බාට පසුව, අපට රසවත් ආහාර වේලක් ලැබුණා. අනෙක් බට නළාවලට ඒ හපන්කම කරන්න බැරි වුණා. 'අමුතු බට නළාව' කියන කවිය මගේ අතින් ලියැවුණේ ඔය අත්දැකීම ඔස්සේ.

'අමුතු බට නළාව' පොත,පිට කවර 5කින් ඉදිරිපත් කර තිබෙනවා. මෙරට පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ පළමු වතාවට තමයි මෙවැනි කටයුත්තක් සිදු වෙන්නේ. මේ ගැන පැහැදිලි කළ හැකිද?

මෙය අපේ රටේ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තයේ අලුත් අත්දැකීමක් වේවි. පාඨකයාට කැමැති පිට කවරය තෝරා ගැනීමේ අවස්ථාවකුත් මේ මඟින් ලැබෙනවා. පිට කවර නිර්මාණය කළේ සය දෙනෙක් . පිට කවර 5කින් පොතක් එළි දැක්වීමේ අපේක්ෂාව, තාක්ෂණයේ වර්ධනයත් එක්ක පොදුවේ ග්‍රන්ථ කර්මාන්තයේ ඉදිරියට යාමක් මිසක්, නිසරු වාකම් තරගයක් නෙමෙයි.

දේශපාලනය හා ඔබේ කවි අතර ඇත්තේ කෙබඳු සම්බන්ධයක්ද?

වෙළෙඳ පොළ ආර්ථිකය, නැත්නම් නව ලිබරල් ආර්ථිකය ඉතාමත් තීරණාත්මක විදිහට අපේ සංස්කෘතික පද්ධතියට ගැහුවා. ඒ පහර දීමට පාවිච්චි කළේ මාධ්‍ය සහ ජනප්‍රිය සංස්කෘතියයි. අද වනවිට ටෙලි නාට්‍ය, සිනමාව, මුද්‍රිත මාධ්‍ය හරහා අපේ සංස්කෘතික පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා. මෙහි ඒජන්තයා ලෙස ක්‍රියා කරමින් ඉන්නෙ දේශපාලන පක්ෂ. මේ දෙය කලාපීය මෙන් ම ගෝලීය මට්ටමේ ව්‍යාපෘතියක්. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලාංකේය ජන සමාජයට කොපමණ දුරක් යා හැකිද කියන ප්‍රශ්නය අප ඉදිරිපිට තියෙනවා.

අපි ජීවත් වෙන්නෙ පවා අපට ඕනෑ විදිහට නෙමෙයි. විශාල ණය කන්දරාවක් අරන් කරගෙන යන වැඩපිළිවෙළ ඇතුළෙයි. අපේ ජීවිත අපි හරියට ගතකරනවාද? අපි ජීවිතය හරියට දකිනවාද? වගේ බරපතළ කාරණා ගණනාවක්ම මතු වෙනවා. මේ දේට මම, ඔබ අපි සියලු දෙනා හසුවෙලා ඉවරයි. බොහෝ අය කියනවා 70’ – 80’ වගේ නෙමෙයි දැන් කියලා. මුදල ජීවිතවලට විශාල බලපෑමක් ඇති කරලා. ආදරය - සෙනෙහස වගේ දේ පවා ඊට යටපත් වෙලා. මේ වගේ පසුබිමක මේ විදිහට අපට තවත් ඉදිරියට යන්න බෑ කියලා මං විශ්වාස කරනවා.

බෙංගාලෙ ජාතික ව්‍යාපාරය වගේ අද අපේ රටටත් ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒක පුද්ගල දේශපාලනයෙන් තොර, සැබෑ දේශප්‍රේමී, සැබෑ සංස්කෘතික නියෝජනයක් සහිත, මේ මහ පොළවේ සම්පත් ගැන අත්දැකීම් ඇති, මේවා සම්බන්ධයෙන් යම් කැපවීමක් කළ හැකි ජාතික ව්‍යාපාරයක් විය යුතුයි. එවැනි ව්‍යාපාරයක් ඔස්සේ පමණයි මේ තියෙන ක්‍රමය අයින් කරන්න පුළුවන් . මේ කෘතියේ පෙරවදන මඟින් වුණත්, කෘතිය මඟින් වුණත් මං කරන්න වෑයම් කරන්නෙ තවත් කිහිප දෙනෙක් හරි සම්බන්ධ කරගෙන ඊට යම් රුකුලක් ලබාදෙන එකයි.

ජීවිතයේ තනියෙන් ඉස්සරහට යන්න කියලනෙ අද කියලා දෙන්නෙ. හැමෝම තනිවෙලා ඉන්නෙ. එතකොට නැඟිට්ටවන්න වෙන්නෙත් තනි තනිවමයි. ඒක කරන්න නම් කාරණය පැහැදිළි කරන්න වෙනවා. අපේ ජන සාහිත්‍යකරුවෝ, ජන නාට්‍යකරුවෝ, පොලිස් කෝළම, ආරච්චි කෝළම වගේ දේ හරහා කළේ බටහිරින් එන ආක්‍රමණය කල්තබාම පෙන්නලා, ඒක විවේචනය කරන එක. ඒ කියන්නෙ, ඊට එරෙහිව ජන නාට්‍යකරුවෝ ජන කවියෝ නැඟී සිටියා. අද ඒ අය කෝ ? සුද්දො එද්දි යද්දි ඔවුන්ට දැනුණු දේ, රටට වුණු දේ අපේ ජන කවිවල තියෙනවා. සුද්දො කඩදාසි කොළත් එක්ක කෑම කන්නෙ කියලා ජන කවියෙ තියෙනවා. මේවා බරපතළ විදිහට විවේචනය කළ බව මේ මඟින් පෙනෙනවා. එහෙම කරලා තමයි නිදහස දිනා ගත්තෙ. දේශපාලනඥයො කළේ මැදින් පැනලා කෝච්චියේ එල්ලුන එක. එසේ නැතිව ඔවුන් තමයි නිදහස දිනා ගත්තෙ කිව්වොත් ඒක වැරැදැයි. ජාතික ව්‍යාපාරය කියන්නෙ ගොංගාලේගොඩ බණ්ඩලා, බුටාවේ රාළලා හදපු එක මිසක්, ඩී.එස්ලා හදපු එකක් නෙමෙයි. ඒ වගේ ජාතික ව්‍යාපාරයක් අද අවශ්‍යයි. ඒ ජාතික ව්‍යාපාරයට අවශ්‍ය භාෂාව, අපේ ජන බස. එතැන තමයි මගේ දේශපාලනය.

කවිය දැනෙන, කවිය විඳින සමාජයක ද අද අපි ඉන්නෙ?

ඕක සංකීර්ණ ප්‍රශ්නයක්. මං ඔබට උදාහරණයක් කියන්නම්. “අඹ යහළුවෝ’ ටෙලි නාට්‍ය දැනට 15 වතාවක් විතර රූපවාහිනියෙන් විකාශනය වුණා. ඇයි ඒ? ඒකෙ තියෙන සාමූහික කලාත්මක ස්වභාවය නිසා, තේ හදපු කෙනාගේ ඉඳන් හැමෝම ඒකට ඇ‍ඟෙන්ම දායක වීම ඒකෙ සාර්ථකත්වයට බලපෑවා. ඒක හරි ම යාතුකාර්මික වැඩක්. කණ්ඩායමක් එකතු වෙලා සද්භාවයෙන් ටෙලි නාට්‍යයක් කරනවා. මේ නාට්‍යයේ ඉතා ම බරපතළ දේශපාලනයක් තියෙනවා. පිටපතේ තියෙන භාව ප්‍රකාශනමය ගුණය,රංගන ශිල්පීන්ගේ ප්‍රතිභාව, අධ්‍යක්ෂවරයාගේ භූමිකාව කියන මේ සියලු කාරණා සමඟ තමයි මේ නිර්මාණය නැඟිටින්නෙ. “අඹ යහළුවෝ” නැවත නැවත විකාශනය වෙමින් යන්නෙ මේ සමාජය ඇතුළෙමයි. ටේක් අ වේ කරන, දහ ජරාව කන, මෙලෝ රහක් නෑ කියන මේ සමාජයම තමයි අද මේ නාට්‍ය රස විඳින්නෙ. ඇයි ඒ ? අපේ සංස්කෘතික උරුමයේ තියෙන ප්‍රබල බව. ඒ භාෂාව. ඒ රංගනය. ඒ මුහුණුවර වචනවල තියෙන වර්ණය නිසයි.

අවුරුදු දහස් ගණනක් තිස්සේ ගොඩනැඟුණු භාෂාවක්, කෙනෙක්ගේ ජීවිත කාලයේ අවුරුදු 20 – 30 ක් තුළ නැතිවෙන්නෙ නෑ. අප්‍රාණිකයි වගේ පෙනෙනවා නම්, වතුර ටිකක් දැමූ විගස ආපහු පණ ගහනවා. මේ යටපත් වීම තාවකාලිකයි. ප්‍රශ්නය තියෙන්නෙ මේ තියෙන ක්‍රමයට එරෙහිව වැඩ කරන දේශපාලකයෝ, සමාජ ක්‍රියාකාරීන්, මැදිහත්කරුවො, කවියො, කෙටිකතාකරුවො වගේ මේ කොටස ඔය කාරණය හරියට හඳුනා නොගැනීමයි.

අපේ රටේ මිනිස්සුන්ට කතා කරන්න ඕන අපේ සංස්කෘතියෙන්. ඒ සංස්කෘතිය දැකලා තමයි සුද්දො මෙහාට එන්නෙ. එහෙම කියනවනෙ සංචාරක මණ්ඩලය. සිංහල සංස්කෘතියට එන්නෙ. අපේ මිනිස්සුන්ගේ තියෙන ආගන්තුක සත්කාරයට. සිනහවට එන්නෙ.මේ දේට සුද්දො ආකර්ෂණය වෙනවා නම්, ඇයි අපේ මිනිස්සුන්ට බැරි? ඒ නිසා මේ මොහොතේ අපි කුමක්ද කළ යුත්තේ? කියන එකයි ප්‍රශ්නය.

කවියා සමාජ ශෝධකයෙක්, ඉදිරියෙන් යන්නෙක් යැයි පවසනවා. සේකරගෙ ‘ප්‍රබුද්ධ’ වගේ නිර්මාණයක් ගත්තොත් මේ‍ දේ හරියටම පැහැදිළියි. ඔබ කොහොමද මේ කාරණය දකින්නෙ?

සේකර කියන්නෙ ඉතා ම දුර්ලබ චරිතයක්. සේකරලා දෙන්නෙක් නෑ. තව කොයි කාලෙකට මතුවෙයිද කියන්නත් බෑ. අවුරුදු 46ක් වගේ ඉතා කෙටි කාල සීමාවක් ඇතුළෙ ඔහු කළ කාර්යභාරය, ඒ නිර්මාණවල තිබුණු මට්ටම සහ දෙයක් වෙන්න කලින් දැකීමේ හැකියාව වගේ කාරණා ගත්තහම ඒක පැහැදිළියි. සේකර මේ නිර්මාණ කරන්නෙ 77ක් එන්න කලින් ලිබරල්වාදයට , ගෝලීය ධනවාදයට මේ රට හරවන්න කලින් සේකර ඒක දකිනවා. ඒකට හේතුවකුත් තියනවා. 60’ ගණන්වල අගදී සේකර නිව්යෝර්ක්, පැරිස්, ලන්ඩන්, වගේ නගරවලට යනවා. ඔය ගමන්වලදී ඔහු ඒ බටහිර සංස්කෘතිය දකිනවා. ඔහු අන්තර්ඥානයෙන් තේරුම් ගන්නවා, ඊ ළඟට මේ දේ ආසියානු කලාපයට එන බව. ඒක තමයි ඔහු වේලාසනින්ම ලියලා තිබ්බෙ. ඒ සාහිත්‍යකරුවකුගේ එක් පැත්තක්. අපට කියන්න බෑ, හැම සාහිත්‍යකරුවෙක්ම සමාජයට ඉදිරියෙන් දකින්නෙක්, පුරෝකථනය කරන්නෙක් වේවි කියලා. සේකරගෙන් පසු තවත් සේකර කෙනෙක් නෑ. සමාජය යන්නෙ කොයි අතටද කියලා අපට හරියට විග්‍රහ කර ගන්න පුළුවන් නම්,ඒක වැදගත් . අපි මේ දේ තේරුම් ගන්න ඕනැ. ඉතිහාසයේ ගැමි කලාකරුවා කළ කාර්යභාරය පිළිබඳ කතා කළොත්, ඔහු සමාජ මැදිහත්කරුවෙක් හැටියට දැඩි දේශපාලන භූමිකාවක් කළා. ඒක ආණ්ඩු විරෝධී නෙවෙයි. ඒක රාජ්‍ය විරෝධීත් නෙවෙයි. අද ආණ්ඩු විරෝධී - රාජ්‍ය විරෝධී කියලා කතා කරන පටු දේශපාලන තැනක නෙවෙයි ඒක තියෙන්නෙ. එය තමන්ගේ උරුමය වෙනුවෙන් කරන සටනක්. ආණ්ඩු විරෝධය කියන එක අපට අපේ පක්ෂ මතවාදයක් තුළ ගෙනෙන්න පුළුවන්. මේ ඒක නෙවෙයි.

මිනිසා වුණත් තමන්ගේ උරුමය වෙනුවෙන් සතකු මෙන් පෙනී සිටිනවා. උදාහරණයක් හැටියට අපි වෙන ගමකට ගිහින් කාටවත් මොනවහරි වචනයක් කිව්වොත් පිටගම්කාරයො කියල බනිනවා. මේ නැඟිටින්නෙ තමන්ගෙ උරුමය වෙනුවෙන් ඊළඟට ඒක පළාතේ උරුමය වෙනවා. ඊට පස්සෙ රටේම උරුමය බවට පත්වෙනවා. දෙමළ ජනතාව මේ වෙලාවෙ සටන්කරමින් ඉන්නෙ උරුමය වෙනුවෙන් කියල කියනවනම් අපි එකඟයි. හැබැයි ඔවුන් පෙනී සිටින්නෙ උරුමය වෙනුවෙන් නෙවෙයි. උරුමය වෙනුවෙන් පෙනී සිටිනවා නම් සංස්කෘතික ගැටුමක් තියෙනවා. එහෙම ගැටුමක් ති‍යෙනවා නම් ශ්‍රී පාදයයි කතරගමයි ගැටෙන්න ඕන. එහෙම ගැටුමක් නෑ. ඒ නිසා මෙතැන තියෙන්නෙ දේශපාලන ප්‍රශ්නයක්. අපි බුදුදහම තුළ කතා කරන කාරණා ටික ගත්තොත් ඕනෑම කෙනෙකුට ජීවිත දර්ශනයක් පෙන්වනවාය කියන පිළිගැනීම අපට තියෙනවා. ඒ කියන්නෙ අපිවත්, ඉතිහාසයවත් අන්තවාදී නෑ. ඒක එළාරගෙ පුතා සිංහල මිනිස්සු දෙවියන් කර ගැනීමෙන් පෙන්වා දී තිබෙනවා. එහෙම ඉතා ගැඹුරු තැනක තමයි අපේ රටේ මිනිස්සු හිටියෙ.

ඒ කාලෙ ලංකාවට ආපු විජාතිකයො, මේ රට ඉතා ම සුන්දර රටක් කියලා ලියලා තියෙනවා. සිංහල,දෙමළ, මුස්ලිම් සමඟියෙන් ජීවත් වුණු රටක් මේ රට. ඒ ගැන සුද්දො මවිත වුණා. එහෙම පුදුම වුණ රටක් තමයි අද මෙහෙම වෙලා තියෙන්නෙ. ඒ නිසා මං කියන්නෙ, අපි උරුමය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. එහෙම නොවුණොත්, මේ රට කොයි අතට යාවිද? අපේ දරුවන්ට අපි ඉතිරි කරන්නෙ මොකක්ද ? කියන ප්‍රශ්නය ඉතිරි වෙනවා.

'අමුතු බට නළාව' ඔබේ අලුත් ම කවි පොත එළි දකින දවස ගැන යමක් කියමුද?

'අමුතු බට නළාව' එළි දැක්වෙන ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේ ද ලයිට් හවුස් ස්ථානය තෝරාගන්න විශේෂයෙන් හේතු වුණේ, මං මුලින් කිව්වා මේ රටේ විවිධ ජන වර්ග අතර තිබුණු සැබෑ සංහිඳියාව, සමඟිය මූර්තිමත් වුණු අපේ කාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයා‍ ලක්ෂ්මන් කදිර්ගාමර් වීම කියලයි. ඔහුට ඇති ගෞරවය නිසා ඔහු නමින් ස්ථාපිත කළ එම සෙවණ යට මේ කෘතිය එළි දැක්වීමට මට ඕන කළා. “ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ නව දැක්මක් මැයෙන් එදින දේශනය සිදු කිරීමට මහාචාර්ය රාජ් සෝමදේවයන්ට මං ආරාධනා කළා. මගේ මේ සමාජයීය මැදිහත් වීමට අවශ්‍ය කරන පුරාවිද්‍යාත්මක සාධක ටික තියෙන්නෙ එතුමා ළඟ. අපේ වංශ කතා සාහිත්‍යයත් එක්ක මට ප්‍රශ්න තියෙනවා. හැබැයි, පුරා විද්‍යාවත් එක්ක මට කිසි ගැටුමක් නෑ. මහාචාර්ය සෝමදේවත් සමඟ මං වැඩ කරලා තියෙනවා. එතුමාගේ ගවේෂණ මං ඇසින් දැක තියෙනවා. එතුමාගේ අන්තර්ජාතික දැනුම ගැන මට යම් වැටහීමක් තියෙනවා. රටේ ඉරණම තීරණය කරන මේ නිශ්චිත මොහොතේ, ශ්‍රී ලංකාවේ බුද්ධිමතා හැටියට මං සලකන්නෙ මහාචාර්ය රාජ් සෝමදේව. මූලාසනය ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්.එතුමා මගේ කවියට ප්‍රබල මඟ පෙන්වීක් කළා. කවිය කියන මාධ්‍යයට මා පැමිණි මුල් කාලයේ, මං ගාල්ලේ එතුමාගේ ගෙදරට ගියහම මට කිසි ම අවවාදයක්, අගෞරවයක්, අහිතක් නොපෙන්වා, මා ළඟින් වාඩිකර ගෙන, ඒ කවි රසවිඳලා මට පිළිගැනීමක්, ඇගැයීමක් ලබා දුන්නා. එතුමා මට අසුනක් දුන්නා. ඒක මට මහ විශාල උත්තේජනයක් වුණා. එතුමාට තිබුණා මට වැඩ අධිකයි කියලා මඟ හරින්න. ඒත් එතුමා එහෙම කළේ නෑ. මේ හමුවෙන් පසු මමත් ගාල්ලේ නිසා, නිතර නිතර එතුමාගේ නිවෙසට යන්න පටන් ගත්තා. මං එතුමාගේ ගෝලයෙක් නෙමෙයි. හැබැයි එතුමා මගේ ගුරුවරයෙක්. එතුමා මට ලබා දුන් පිළිගැනීම හරියට මා උඩරට පෙරහරට ගත්තා වගේ එකක්.

නව අදහස දක්වන්න