වර්ජනය කිරීමේ නිදහස මෙන්ම වෘත්තීය සමිති විරෝධතා දැක්වීමට අවස්ථාව තිබෙනවා | දිනමිණ

වර්ජනය කිරීමේ නිදහස මෙන්ම වෘත්තීය සමිති විරෝධතා දැක්වීමට අවස්ථාව තිබෙනවා

මහින්ද අලුත්ගෙදර

සිසුන්ට වර්ජනය කිරීමේ නිදහස මෙන්ම වෘත්තීය සමිති සඳහා විරෝධතා දැක්වීමට අවස්ථාව තිබෙනවා සේම රටේ මිලියන 22 ක් වන ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩකිරීමේ වගකීම රජයට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ප්‍රකාශ කරයි.

තීන්දු තීරණ කල්යාමේ අවුලක් රජයට තිබෙන නමුත් එහි වගකීම ආණ්ඩුව පිට පැටවෙන්නට පෙර හරි තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක වියයුතු බව පෙන්වාදෙන ඒ මහතා ප්‍රශ්න යල්පැන යනතෙක් නොසිට රජය විසින් තීන්දු තීරණ ගතයුතු බවද ප්‍රජාතන්ත්‍රවාදය අයුතු ලෙස පාවිච්චි කිරීම හරහා රටේ සංවර්ධනයට බාධා සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගතයුතු බවද කියාසිටී.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කෙළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ,

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතැම්විට විහිළු සපයනවා. මීතොටමුල්ල කුණු කන්ද, උමා ඔය, සයිටම් ආයතනය තමන්ගේ නොවන බවට ඒ මහතා ප්‍රකාශ කරනවා. අධිවේගී මාර්ග ම‍ඟේ, යුද්ධය මම විතරයි කළේ කියනවා. උමා ඔය ව්‍යාපෘතිය ඉරානය සමඟ ගිවිසුමට අත්සන් කොට පසුගිය රජය විසින් ආරම්භ කළා. ඒ ගිවිසුමට අත්සන් කළ නොහැකි බව පැවසූ ලේකම්වරයා මාරු කළා. පසුව වෙනත් අයෙකු පත්කළා. මීතොටමුල්ල කුණු කන්ද 2008 ගෙනත් දානවිට අධිකරණ තීන්දුව දෙනවිට අක්කර දෙකකට ගෙනත් දැම්මා. පසුව එය අක්කර 21ක් දක්වා වැඩි කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මතයි. කුණු කන්දට විරුද්ධව උද්ඝෝෂණ කළ අය සුදුවෑන් වලින් ඉස්සුවා. කුණු කන්ද සම්බන්ධයෙන් කතා කිරීමේ දී ඒ අයට බොලේ පාස් කොට ගැලවෙන්න බැහැ. මේ ආණ්ඩුවත් ඒ සඳහා විසඳුම් දුන්නේ නැහැ.

එස්.බී දිසානායක ඇමැතිවරයාගේ සමයේ උසස් පෙළ සමත් 10 දෙනෙකුට සයිටම් හි ශිෂ්‍යත්ව ලබාදුන්නා. මෙහෙම මහින්ද රාජපක්ෂ මහතාට විහිළු සපයන්න හැකිවෙලා තිබෙන්නේ අපේ ආණ්ඩුවේ වරදින්. අනුන්ගේ කුණු කඳු අපි විසින් කරගහගෙන යනවා. පළාත් පාලන මැතිවරණය කල් දැමීම නිසා නිලධාරීන් වගකීම බාරගන්නේ නැහැ, ඒ නිසා මෙවැනි චෝදනාවක් එල්ල වෙනවා. එහි යම්කිසි සත්‍යතාවක් තිබෙනවා. මොන පක්ෂයකින් හෝ මන්ත්‍රීවරයෙකු සිටින්නේ නම් ඔවුන් ජනතාවට වගකිව යුතු වෙනවා. ඇතැම් ලේකම්වරු බලන්නේ තමන්ගේ සාක්කුවට කීයක් හරි දා ගන්නයි. වගකීමක් ඇති මහජන නියෝජිතයන් පත්කිරීම අවශ්‍ය වෙනවා. සිංගප්පූරුව සහ මැලේසියාව ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ලබාදුන්නේ රටේ නිදහසට බාධාවන අයුරින් නොවේ.

ඉතා පැහැදිලිව ප්‍රශ්න යල්පනින තෙක් නොසිට රජය විසින් තීන්දු තීරණ ගතයුතු වෙනවා. සිසුන්ට වර්ජනය කිරීමේ නිදහස මෙන්ම වෘත්තීය සමිති සඳහා විරෝධතා දැක්වීමට අවස්ථාව තිබෙනවා සේම රටේ මිලියන 22ක් වන ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩකිරීමේ වගකීම රජයට තිබෙනවා. තීන්දු තීරණ කල්යාමේ අවුලක් රජයට තිබෙනවා. එහි වගකීම ආණ්ඩුව පිට පැටවෙන්නට පෙර හරි තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක වියයුතු වෙනවා. පසුගිය 2015 වසරේ ජනවාරි මස 8 දාට පෙර රටේ පැවැති තත්ත්වය දන්නවා. ජීවත්වීමට නිදහස මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් විනාශ වුණා. මේ රටේ මධ්‍යම පාන්තිකයන් ඊට එක්වුණා. සංවර්ධනය, රැකියා ඒ අවස්ථාවේ ඉල්ලුවේ නැහැ.

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ලබාදුන් පසුව මීට පෙර පැවැති තත්ත්වය අමතක වෙනවා. ඊට පසුව අනෙකුත් අවශ්‍යතා පැමිණෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අයුතු ලෙස පාවිච්චි කිරීම හරහා රටේ සංවර්ධනයට බාධා වෙනවා නම් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගතයුතු වෙනවා. පසුගිය මැතිවරණයේ දී ඡන්දය දුන් දෙපිරිසක් ඉන්නවා. එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම දූෂණ, වංචා, හොරකම් වලට විරුද්ධ අය ඉන්නවා. දැන් අවුරුදු දෙකක් පමණ පසුගිය කාලයේ වංචා, දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේවා ලෙහෙසියෙන් කරන්න බැහැ. යම් අපහසුතා තිබෙනවා. දඩුවම් ලබාදීම සිදුවිය යුතු වෙනවා. නමුත් ඒ දඩුවම් ලබාදීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් කණගාටු වෙනවා. මේවාට දඩුවම් දියයුතු වෙනවා. එය ආණ්ඩුවේ වගකීමක්. ජනතාව මේ දෙස බලා සිටිනවා. දූෂණ මර්දන කාර්යාලය කුමන රජයක් යටතේ වුවද තිබිය යුතු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අධිකාරී බලයක් නැහැ. විමධ්‍යගත අයවැයෙන් අපිට වෙන්කරන රුපියල් ලක්ෂ 150 න් මේ සියල්ල කරනවා. එයින් සීමිත වැඩ කොටසක් කරන්න පුළුවන්. රටේ සංවර්ධනය සම්බන්ධයෙන් වැඩ කටයුතු කළහැකි අමාත්‍යාංශ අධිකාරී බලයක් නොමැති වුවත් අපිට අමාත්‍යාංශ වෙත ගොස් අවශ්‍ය නම් සහාය ගන්න පුළුවන්. අපි කරලා පෙන්වා තිබෙනවා. ඇමැතිවරයෙක් වුණා නම් මීට වඩා යමක් කරන්න පුළුවන්. නමුත් අධිකාරී බලයක් ඇති පුද්ගලයින් තමන්ගේ වපසරිය තුළ පවතින ප්‍රශ්න විසඳන්න මැදිහත් වන්නේ නැහැ. කසළ කළමනාකරණය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. මහජන බදු මුදලින් ඉගෙන ගත් වෛද්‍යවරුන්ගේ මාෆියාවට යටවෙන්න බැහැ. ඒ සම්බන්ධයෙන් දේශපාලන තීන්දුවක් ගතයුතු වෙනවා. හැමදේටම නිසි වෙලාවට තීන්දු තීරණ ගතයුතු වෙනවා. නැළවිය යුතු නැහැ.

මේ ආණ්ඩුව නිර්මාණය කළේ එක්සත් ජාතික පක්ෂයයි. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැමිණ එල්ලුනා. 2015 දී ජනාධිපතිවරයා සමඟ සිවිල් සංවිධාන හා විවිධ කණ්ඩායම් සිටියා. නමුත් ගම් මට්ටමට ගොස් ප්‍රචාරක කටයුතු සිදුකළේ එක්සත් ජාතික පක්ෂයයි. අගමැතිවරයා ජාතික ආණ්ඩුවක් හදන බව පැවසුවද එක්සත් ජාතික පක්ෂටයි ජනතාව වැඩි වශයෙන් ඡන්දය දුන්නේ. 107ක් මන්ත්‍රීවරුන් හිටියේ එක්සත් ජාතික පක්ෂයටයි. තවත් 6 දෙනෙකු අරගෙන ආණ්ඩුවක් කරන්න අපිට හැකියාව තිබුණා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුව එල්ලුනා යැයි පැවසීය. අපි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ ඉන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ද මේ අවස්ථාවට එක්විය. 

 

නව අදහස දක්වන්න