මහ කළු සිංහලයා සුදු කරයි ! | දිනමිණ

මහ කළු සිංහලයා සුදු කරයි !

රන්ජන් අමරරත්න
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු

මහාකාල කෙටි නවකතා ගණයට වැටේ. කතාවස්තු ගොඩනැගීම, භාෂාව, නිරූපණ පමණක් නොව, පරිච්ඡේද වෙන් කිරීම පවා සිදුවී ඇත්තේ කෙටි නවකතාව සිහියේ තබ‍ාගෙන ය. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා කෙටි නවකතා රචනයට වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙයි. පාඨකයාගේ රුචියට ද එය ගැළපෙයි.

තමන්ගේ උරුමය පිළිබඳ දැනුම හා හැඟීම, ජාතියක් ඉදිරියට තල්ලු කරන උත්තේජකයක් ලෙස සැලකේ. ඒ අනුව ඉතිහාසය, පුරාවිද්‍යාව, ජනශ්‍රැති අධ්‍යයනය පමණක් නොව; මහා පුරුෂයන් පිළිබඳ ප්‍රබන්ධ කථා ද ලෝක මට්ටමෙන් ඇගැයීමට ලක් වේ. අමෙරිකාව ඓතිහාසික නවකතා ව ගැන විශේෂ සංවාදයක් ආරම්භ කර ඇති අතර, ඒ ආශ්‍රිත සම්මාන උත්සව ද පවත්වයි. ගිය වසරේ අමෙරිකාව තුළ වැඩියෙන් ම කතාබහට ලක් වූ ඓතිහාසික නවකතාව ලෙස සැලකෙන්නේ “දි අන්ඩර් ග්‍රවුන්ඩ් රෙයිල් රෝඩ්” නම් නවකතාව ය. මේ ප්‍රබන්ධ කතාවෙන් අතීත වහලුන් පිරිසක වීරයන් බවට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව ද යුද ජයග්‍රහණයෙන් පසු අතීත වීරයන් ගැන සංවාදයක් ආරම්භ කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස වීර චරිත කේන්ද්‍ර කොට රචනා වූ නව ප්‍රබන්ධ වැඩි වශයෙන් මුද්‍රණයෙන් නිකුත් විය. දැනට ද එම ප්‍රවණතාව හොඳින් පවතී. දුටුගැමුණු චරිතය නවකතා කිහිපයකට යොදා ගැනිණි. මේ අතර අතීතයේ වීර චරිත ලෙස සැලකුණු බිසෝවරුන්ගේ කතා ද කරලියට පැමිණියේ ය.

සංවාදයට ලක් වූ ඓතිහාසික නවකතා කිහිපයක් රචනා කර ඇති මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතාගේ අභිනව ප්‍රබන්ධය 'මහාකාල' ලෙසින් නම්කර තිබේ. මේ ප්‍රබන්ධයෙහි ප්‍රධාන චරිතය වන්නේ ඓතිහාසික වීරයකු වූ වලගම්බා රජු ය. ඉතිහාසය හා ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය හදාරන විට දුටුගැමුණු රජුට පමණක් දෙවැනි වන නර විරුවකු ලෙස වලගම්බා රජු හැඳින්විය හැකි ය. එහෙත්, මූලාශ්‍රයන් හි වලගම්බා රජු ගැන වර්ණනා සොයා ගැනීම අපහසු ය. මේ නරපතියා ගැන වැඩිමනත් විස්තර ඇත්තේ ජනශ්‍රැතිය තුළ ය. කුමක් වුව, වලගම්බා නම් නරවිරුවාට යුක්තිය ඉටු කිරීම සඳහා කතුවරයා සැලකිය යුතු ප්‍රයත්නයක නිරත වෙයි.

වට්ටගාමිණී, ගාමිණී අභය, පිතුරාජ, මහාකාල හා වලගම්බා යන නාමයන් රජු සඳහා යොදා තිබේ. පල්ලියගුරු මහතා 'මහාකාල' යනුවෙන් වලගම්බා රජු හඳුන්වා ඇත. මහා කළු සිංහලයා යන අර්ථය ද, යමරජු යන අර්ථය ද එයින් මතුවෙයි. රජුගේ හැසිරීම, නායකත්වය, වීරත්වය යන සාධක දෙස බලන විට 'මහාකාල' යන නාමය ඔහු සඳහා හොඳින් ගැළපෙන්නේ යැයි සිතන්නට පුළුවන.

වලගම්බා රජු දුටු ගැමුණුට ද වඩා දුෂ්කරතාවලට හා අර්බුදවලට මුහුණ දුන් නායකයෙකි. ඔහු වසර දොළහකට වැඩි කාලයක් වනගත ජීවිතයක් ගත කරමින්, සේනා සංවිධාන කළ බව සඳහන් ය. එකල පැවැති දුර්භික්ෂය, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ, සංඝයාවහන්සේ අතර පැවැති භේදය, අභ්‍යන්තර කැරලි හා විදේශීය ආක්‍රමණවලට ද වලගම්බා නිර්භීත ලෙස මුහුණ දුන්නේ ය. අවසන් ලෙස රාජ්‍යත්වය ලබා ගැනීමට ද බුද්ධ ශාසනය බේරා ගැනීමට ද, රට එක් සේසත් කිරීමට ද ඔහුට හැකි විය. වලගම්බා රජු ඓතිහාසික වීරයකු බවට පත්වන්නේ එම හේතු - සාධක නිසා ය.

වලගම්බා චරිතය නිරූපණයේ දී කතුවරයා විශේෂ සාධක තුනක් කෙරෙහි සැලැකිල්ල දක්වා ඇති බව පෙනෙයි.

(I) රාජ්‍ය තාන්ත්‍රිකභාවය

(II) නායකත්වය

(III) මනුෂ්‍යත්වය

වට්ටගාමිණී හෙවත් මහාකාල සතුරු ආක්‍රමණවලට හා දේශපාලන කුමන්ත්‍රණවලට මුහුණ දෙන්නේ ඉතා බුද්ධිමත් ලෙස ය. ඔහු ක්‍රියාශීලී හා ප්‍රායෝගික නායකයෙකි. අන්‍යයන්ගේ උපදේශන හා චාටු බස් නොසලකා හරින හෙතෙම, තමා කෙරෙහි ම විශ්වාසය තබා ගනී.

“රාජ්‍ය තාන්ත්‍රිකභාවය කියන්නෙ දේශපාලන කපටිකම”

(පිටුව > 42)

“අපට වුවමනාවන්නේ සැලැසුමක්! උපාය මාර්ගයක්!”

(පිටුව > 44)

ඉතාලියේ අධිරාජ්‍යයන්ට උපදේශන සැපයූ මැකියාවෙලී අප සිහියට නැ‍ඟේ. දේශපාලන බලය රැකගැනීමට නම්; සිංහයකු සේ එඩිතර විය යුතු බව ද, නරියකු සේ කපටි විය යුතු බව ද මැකියාවෙලී කියයි. මෙහි පුළුල් අර්ථය වන්නේ, රජ කෙනකු හැම විට ම ප්‍රායෝගික විය යුතු බව ය. මහාකාල සිය ඇමැතියන් හා කරන සාකච්ඡාවක දී කියා සිටින්නේ, “ මට වුවමනා කතාව නොවෙයි ක්‍රියාව පමණයි” යන්න ය. කතුවරයා වලගම්බා චරිතය හොඳින් අධ්‍යයනය කොට රජුට යුක්තිය ඉටු කර ඇති බව පෙනෙයි.

රජුගේ නායකත්වය දෙස බලන විට, ඔහු කිසි විටෙකත් සිය ගෞරවය හා අභිමානය පාවාදී නැති බව පෙනෙයි. ඔහු හැම විටම වීරයකු ලෙස තම පැවැත්ම ඉදිරියට ගෙන ගොස් තිබේ. තණසීව හා කපිසීස රජු අතින් මරණයට පත් වෙති. මේ ඝාතන දෙක ම සිදුවන්නේ අභිමානය පිළිබඳ ප්‍රශ්නය පෙරදැරිව ය. වලගම්බා අනාථයකු ලෙස අනුන්ගෙන් යැපුණු කාලයක් තිබුණේ වුව; තම නායකත්වය, රාජ්‍යත්වය හා අභිමානය රැකගත්තේ ය. ඇතැම්විට ඒ වෙනුවෙන් මිනිස් ඝාතන පවා සිදු කළේ ය. රජකුගේ චරිතය දෙස බලන විට එය අයුක්තියක් ලෙස ගත නො හැකි ය.

මහා කාලගේ චරිත ස්වභාවය අනුව ගතහොත්, ඔහු නායකයකු ලෙස ප්‍රචණ්ඩ පුද්ගලයකු හැටියට ද, අත්තනෝමතික පුද්ගලයකු හැටියට‍ ද, දයා විරහිත පුද්ගලයකු හැටියට ද හැඳින්විය හැකි ය. මේ මානසික තත්ත්ව ගොඩනැඟීමට අදාළ භෞතික පරිසරයක් ද ඔහුට තිබේ. ප්‍රභූවරයකු ලෙස අතිශය කටුක ජීවිතයක් ගෙවා දැමීම, භයෙන් හා සැකයෙන් ජීවත් වීමට සිදුවීම එම සාධක අතර පවතී. එහෙත්, ඔහුගේ මනුෂ්‍යත්වය මතුවන අවස්ථා කතුවරයා විසින් තෝරාගනු ලැබේ.

කපිසීස මහ සෙනෙවි මරා දැමීම නිසා වලගම්බා රජු බලවත් අසීරුවකට පත් වෙයි. එහෙත්, ඔහු තම අභිමානය අත් හරින්නේ නැත. කුප්පික්කල හිමියන්ගේ ද, තිස්ස හිමියන්ගේ ද කරුණු දැක්වීමෙන් පසු රජු තම අදහස් වෙනස් කර ගනී. ඔහු සමාව අයදිනවා පමණක් නොව; කපිසීස සෙනෙවි වෙනුවෙන් පින්කම් කරන්නට ද පෙලඹෙයි. රජු අවංක ලෙස ම තමා අතින් සිදු වූ වැරැද්ද ගැන කම්පා වෙයි. ඒ, රජුගේ මනුෂ්‍යත්වය ප්‍රකට වන එක් අවස්ථාවකි.

සෝමා දේවිය වලගම්බා රජු වෙනුවෙන් ජීවිත කැපවීමක් කළ තැනැත්තියකි. ඇය වෙනුවෙන් රජු බොහෝ ශෝක වෙයි. රට එක් සේසත් කිරීමෙන් පසු සෝමා දේවිය දඹදිව සිට ශ්‍රී ලංකාවට පැමිණෙයි. මේ මොහොතේ රජු සෝමාදේවිය පිළිගනු ලබන්නේ නියම ආදරවන්තයකු පරිද්දෙන් ය. ඔහු සෝමා දේවියගේ අතගෙන සිරියහන් ගබඩාව දෙසට යයි.

“ඔබ වහන්සේගේ අත ඒ කාලෙ වගේම සීතලයි!”

(පිටුව > 127)

දීර්ඝ කාලයකට පසු රජු හා සෝමා දේවිය එකිනෙකා මුණගැසීම හැඟුම්බර ලෙස නිරූපණය වී තිබේ. නවකතාවක ආකර්ෂණය සඳහා එබඳු අවස්ථා නිරූපණ අවශ්‍ය වේ. රජු අනුලා දේවිය අගබිසව් තනතුරෙහි තබා ඇත්තේ වුව ඔහු සැබැවින් ‍ආලය කරන්නේ සෝමා දේවියට ය. දෙදෙනාගේ සම්මුඛය පාඨකයාට හොඳින් දැනෙයි.

නවකතාවේ ප්‍රධාන චරිත තුන හැටියට ගත හැක්කේ මහාකාල, අනුලා හා සෝමා දේවියයි. කතාකරු මේ තිදෙනා අතර පවත්නා මානුෂික සබඳතා නිරූපණය කිරීම සඳහා සැලැකිය යුතු ඉඩක් ලබාගෙන ඇත. ත්‍රිකෝණ ආදර සම්බන්ධයක් ලෙස ද එය හැඳින්විය හැකිය. අනුලා දේවිය වළගම්බා රජුගේ සොහොයුරාගේ අගබිසව වුව සම්ප්‍රදායට අනුව අනුලා අග මෙහෙසිය තනතුරෙහි තබන්නට වළගම්බාට සිදුවෙයි. ඒ සොහොයුරාගේ මරණය හේතුවෙන් ය.

මහාකාල අනුලා කෙරෙහි දක්වන්නේ අනුකම්පා‍වක් හා ගෞරවයක් යැයි සිතන්නට පුළුවන. ඇයගේ තරුණකම, රූසපුව හා හැසිරීම් හේතුකොට රජුගේ ආකර්ෂණය ද ඇය දිනා ගනී. කුමක් වුව මෙහි ඇත්තේ සංකීර්ණ මානුෂික සබඳතා පිළිබඳ නිරූපණයන් ය. අනුලා වසර ගණනාවක් ජීවත් වන්නේ තනිවූ ප්‍රභූ ගැහැනියක ලෙස ය. ඇගේ තනිකම, පාළුව නවකතාවෙන් මනාව නිරූපණය කෙරේ. මහාකාලම වරක් කල්පනා කරන්නේ මං අනුලා ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බව ය. අනුලා දේවියගේ විඳවීම එයින් පැහැදිලි වෙයි. අනුලා දේවිය රජු වෙනුවෙන් ද, රට හා ශාසනය වෙනුවෙන් ද විශාල කැප කිරීමක් කළ තැනැත්තියකි. එහෙත් ඇයට පිළිගැනීමක් නැත. ආදරයක් නැත. අනුලා දේවියගේ කතාව එක අතෙකින් ශෝකාන්තයකි. එහෙත් ශෝකාන්තයට හේතු වන්නේ ද මනුෂ්‍යත්වය මැයි.

“මහාකාල” නවකතාව ආරම්භ වන්නේ අතිශය ප්‍රබල හා සිත්ගන්නාසුලු අවස්ථා නිරූපණයකින් ය. පාඨකයාගේ මුළු මහත් ආකර්ෂණය හා කුතුහලය ප්‍රබන්ධය කෙරෙහි යොමු වෙයි.

“ඔහු නිවී සැනලසිල්ලේ ඇයට සවන් දුන්නේ නම් මෙවැන්නක් සිදු නොවන්නට ඉඩ තිබිණි. සියල්ල සිදුවී ඇත්තේ නොසොයා, නොබලා කටයුතු කළ නිසා ය. දැන් එය සිදුවී හමාරය. සිදුව ඇත්තේ තුන් සිතකින්වත් නොසිතූ දෙයකි.”

(පිටුව >9)

ඉක්බිති අනුලා හා සිරිමා ‍අතර මතුවන ගැටුමක් මහාකාල අතින් තණසීව මරණයට පත්වීමත් සජීවී ලෙස නිරූපණය කෙරේ. සාම්ප්‍රදායික නවකතාවල ඇති චරිත හඳුන්වාදීම, ගැටුම ඉස්මතු කිරීම යන සියලු කාර්යය පළමු - කෙටි පරිච්ඡේදයෙන් කතුවරයා නිමා කර ඇත්තේ ශූර ලෙස ය.

නවකතාව ආරම්භය අතිශයින් ම වැදගත් ය. ඇනී ඩිලාර්ඩ්, ස්ටැන්ලි ‍ෆිෂ්, හෙන්රි ජේම්ස්, ෆ්‍රෑන්ක් ලෙන්ටික්‍රියා වැනි අය ශාස්ත්‍රීය මට්ටමින් මේ පිළිබඳ කරුණු දක්වා ඇත.

මහාකාල කෙටි නවකතා ගණයට වැටේ. කතාවස්තු ගොඩනැගීම, භාෂාව, නිරූපණ පමණක් නොව, පරිච්ඡේද වෙන් කිරීම පවා සිදුවී ඇත්තේ කෙටි නවකතාව සිහියේ තබ‍ාගෙනය. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා කෙටි නවකතා රචනයට වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙයි. පාඨකයාගේ රුචියට ද එය ගැළපෙයි.

මහාචාර්යවරයා භාෂා භාවිතයේ දී පොදුජන විඥානය දෙසට වැඩි නැඹුරුවක් දක්වන අතර ඒ ඔස්සේ අලුත් ප්‍රකාශ හා යෙදුම් නිර්මාණය කරයි.

“ග්‍රහ බලය ජන බලයට වඩා බලවත් බව සමාජයේ මුල් බැස තිබූ අදහසක් වූයේ ය.”

(පිටුව > 42)

“සඳ පහනෙහි සිහිල යටපත්කොටගෙන වළගම්බාවන් තුළ දැල්වෙමින් පැවතියේ වෛරයේ ගින්නකි.”

(පිටුව > 37)

පුරාතන ගද්‍ය සාහිත්‍ය හා ධර්මසේන හිමියන් අප සිහියට නැ‍ඟේ. පොදු ජනයා හා‍ පොදු ජනයාගේ රීතිය පිළිබඳ දැනුම ලේඛකයකුට අතිශයින්ම වැදගත්ය.

නවකතාවක් යනු සාර්ථක වැඩමුළුවක් බවත්; ප්‍රබන්ධයක් ‍පරෙස්සමෙන් කියැවීම පැවරුමකට (assaignment) සමාන බවත් කියති. පාඨකයාගේ පාර්ශ්වයෙන් ගතහොත් මේ කතාව කියවන ඔහු ඉතිහාසය නැවත කියැවීමටත්; වළගම්බා ගැන විමසන්නටත් පටන් ගනු ඇත. මහාකාල ප්‍රතිඵල ගොඩක් සහිත නව ප්‍රබන්ධයකි.

නව අදහස දක්වන්න