අපේ සිහින පොලීසිය | දිනමිණ

අපේ සිහින පොලීසිය

 පොලීසිය යනු රටකට ඇතුවත් බැරි නැතුවත් බැරි ආයතනයකි.නැතිව බැරි වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ආයතනය පැවතිය යුතු නිසා ය.නීතිය කඩන මිනිසුන් අධිකරණය හමුවට පමුණුවන්නට බලය ලත් ආයතනයක් අවශ්‍ය නිසා ය. එසේ නොවුණහොත් බොහෝ දෙනා නීතිය පසෙකලා තමන්ට රිසි ලෙස ක්‍රියාකිරීමට යෑමෙන් වියවුල් ඇති වන නිසා ය.මොන අඩුපාඩුකම් තිබුණත් පොලීසිය මේ සම්බන්ධයෙන් සැලකිය යුතු, අගය කළ යුතු,කාර්යය භාරයක් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ඉටු කරමින් ඉන්නා නිසා ය.

ඇතුව බැරි එසේ ලබා ගත් බලය ඇතැම් විට අයුතු විදිහට භාවිතා වන නිසා ය. නීතිය රකින්න ඉන්නා අය ම ඒ නීතිය කඩන නිසා ය.නැතිනම් අලුත්ම ක්‍රමයට අනුව නීතිය නවන නිසා ය. ඒසා බලයක් ඉදිරියේ සාමාන්‍ය මිනිහා අන්ත අසරණ තත්වයකට පත් වෙන නිසා ය.

කුඩා එකෙකුගේ වරදට පස්සෙන් පන්නන පොලීසිය ලොකු අය කරන වැරදි නුදුටුවා සේ සිටින්නේ ය. තල්මසුන් ඇතැම් විට පොලීසියට කොචොක් කරමින් යද්දී හාල්මැස්සන් පස්සෙන් පන්නා අල්ලා ගන්නේ ඇතැම්විට පොලීසියේ ඒ ස්වභාවය නිසා ය. ඇතැම් කාලවල මැරයන්ට සැලියුට් ගහන්නට ද පොලීසියට සිදු වූ බව අප අසා ඇත.සැලියුට් ගසා තමන්ගේ ආරක්ෂාව, පැවැත්ම හෝ සංවර්ධනය ඇති කර ගැනීමට ඇතැම් නිලධාරීන් කටයුතු කිරීම එසේ වාර්තා වූවා වන්නට ද පිළිවන.

උස් තැන් දැක හැකිළෙන ,මිටි තැන් දැක පුප්පන, අයගෙන් පොලීසිය සමන්විත වී ඇත්තේ පොලිසියේ නිලධාරීන්ගේ වරදින් ම නොවේ. ක්‍රමය ම සකස් වී ඇත්තේ ඒ අයුරිනි. වරද කාගේ වුව ද අවසාන ප්‍රතිඵලය ලැබ විඳවන්නට සිදු වන්නේ බලය නැති මිනිසුන්ට ය.

පොලීසිය හැංගි මුත්තන් කිරීමට ද දක්ෂ ය.විශේෂයෙන් වාහනවලට දඩ ගැසීම සඳහා මේ හැංගි මුත්තම් සෙල්ලම නිතර භාවිතා වේ. ඒ නීතියෙන් එවැන්නකට අවසර නැතුව තිබිය දී ය.

ගසන ලද දඩය ගෙවීමට පහසු නැත.එය තැපැල් කන්තෝරුවකට ගෙවා ඒ කුවිතාන්සය පොලීසියට ඉදිරිපත් කළ යුතු ය.නිවාඩු දිනයක නම් බඩුම තමා ය. මේ ක්‍රමය නිසා වෙන පළාතකින් පැමිණි රියැදුරකුට ඒ සඳහා අපමණ රස්තියාදුවක් විඳීමට සිදු වේ. ඉතින් පහසුම හා ඇතැම් විට ලාභ ම ක්‍රමය,ටිකක් අඩුවෙන් එ වෙලේ ම,පුද්ගලික මට්ටමින් රාළහාමිට ගෙවා දැමීම ය.

පොලීසියේ මේ ස්වභාවය දන්නා නිසා ම රියැදුරන් සිය සහෝදර රියැදුරන්ට පොලීසිය ළඟ ඉන්නා බවට ලාම්පු එලි දල්වා අනතුරු ඇඟවීමට පවා ඉදිරිපත් වේ. සමහරුන් කියන්නේ ජාති ආගම් භේදයකින් තොරව සාමූහිකව ලංකාවේ මිනිසුන් එකතු වන එකම අවස්ථාව එය විය හැකි බව ය.පොදු සතුරාට එරෙහිව විරුද්ධ වීමේ දී තරම් වෙන කිසිම එකක දී අපේකම මතුවන්නේ නැති නිසා ය.

පොලීසියේ මැජික්

පොලීසිය මැජික් සන්දර්ශනයේ ද දක්ෂ ය.මිනී මැරුමක් රිය අනතුරක් බවට පත් කරන්නට ද එය නැවතත් මිනී මැරුමක් බවට පත් කරන්නට එයට පුළුවන. අවශ්‍ය වන්නේ ඉහළින් ලැබෙන අණක් පමණ ය. එක අතකට මේවා සම්බන්ධයෙන් පොලීසියත් එක්ක අමනාප වී වැඩක් නැත.පොලීසිය තියෙන්නේ නීතිය ආරක්ෂා කරන්න ය.අවාසනාවට මේ රටේ නීතිය කියන්නේ පාලකයන්ගේ වචන ය.

සැකකරුවෙකු අල්ලන්නට වුවමනා නම් අල්ලන්නටත් එසේ නොකොට නාල්ලා ඉන්න ඕන නම් එසේ කරන්නටත් අපේ පොලීසිය දක්ෂ ය. සාක්කි සොයා ගන්නට මෙන්ම හංගන්නටත් ඊට පුළුවන.

පොලීසිය බාරයේ ඉන්නා අය අපූරු ක්‍රමවලින් මරණයට පත් වේ. සමහරු තමන් හැංගූ අවි ආයුධ පෙන්නන්න ගිහිල්ලා ය. කාලයක් එසේ සැකකරුවන් “සිය දිවි නසා ගැනීම මෝස්තරයක් වී තිබුණේ ය. සමහරු නම් කියන්නේ යුක්තිය පසිඳලීම පමා වන නිසා ඊට කෙටි මාවතක් සහිත ප්‍රතිකර්මයක් පොලීසිය යෙදූ බව ය. එයින් උද්දාමයට පත් මිනිසුන් ඒ පිළිබඳව පොලීසියට උපහාර දක්වන්නට ද ඉදිරිපත් වූ යුගයක් තිබුණේ ය.

ඒ යුගය නිමා වුණත් පොලීසියේ සෙසු දස්කම්වල නම් ඉවරයක් වී නැත.

මෑතක දී පොලීසිය අනතුරු වළක්වා ගැනීමට එසේ අනතුරු බහුල ස්ථානවල පිරිත් කීමට ද පොලීසියේ නිලධාරීන්ට මෙත් සිත් වැඩීමට හැකි වන පරිදි භාවනා පන්ති සංවිධානය කිරීමට ද කටයුතු කළේ ය. භාවනා පන්තියට නිසි උනන්දුව නොදැක්විම සම්බන්ධයෙන් භාවනාව සංවිධානය කළ අයගෙන් පහර කෑමට සිදු වූයේ භාවනා පන්තියට අනුග්‍රහය දැක් වූ කෙනෙකුට ය. ඒ ගැන සංවිධාකයන්ට දොස් කියන්න බැරි ය. මිනිසුන් හොඳ වැඩ මග හරින නිසා කළ යුත්තේ ඔවුන් ලවා බලෙන් ඒවා කර ගැනීම ය.ඒ පිළිවෙත දැන් වන විට රට තුළ පහළ වෙමින් තිබෙන ධර්ම ප්‍රවාහයට ද අනුකූල ය.

අත්දැකීම් මෙහෙමයි

කවුරු මොනවා කිව්වත් පොලීසියට ද වැඩ කරන්නට සිදු ව ඇත්තේ දහසකුත් අමාරුකම් මැද්දේ ය.එහෙම බැලුවහම නීතියෙන් පිට පිළිසරණ පැතීම ගැන කම්පා වීමට ද අයිතියක් අපට නැත්තේ ය.

මීට වසර කීපයකට පෙර අධික වේගයෙන් රථයක් ධාවනය කළ දේශපාලනඥයෙකුට දඩුවම් කරන්නට ගොස් ගුටිත් කා ගෙදරටත් වාහනයටත් අලාභ හානි සිදු කර ගනිමින් අවසානයේ රැකියාවෙනුත් අස් කර දමනු ලැබූ පොලිස් නිලධාරියෙකු ගැන පුවත්පත්වල ද සමාජ වෙබ් අඩවිවල ද වාර්තා වුණේ ය. පාඩු සියල්ල තනියම විඳ ගන්නට සිදු වුණා මිසක ඔහුගේ පිහිටට ආ කෙනෙකු නැත.

අධිකරණය භාර විනිෂ්චයකරුවෙකුහට තනි ඉර කැපීමේ වරදට දඩුවම් ලබා දීමේ මහා බරපතළ වරදට තවත් පොලීසියේ නිලධාරියෙකුට සිදු වුණේ නිල ඇඳුම පිටින් දණින් වැටී සමාව ගන්නට ය.

තවත් අවස්ථාවක අධික වේගයෙන් බීමත් ව රිය පැද වූ හාමුදුරු නමක් නවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නට ගොස් පොලිස් නිලධාරී පිරිසකට වූයේ තිත්ත කුණුහරුප වරුසාවකට තෙමීමට ය. මේ අප කී සියල්ල එක යුගයකට අයත් ය. ඒ යුගය වෙනස් වූවා කියා සියල්ල යහපත් වී නැත.තවමත් රාජකාරී කිරීමට සිදු ව ඇත්තේ බය සැක ඇතිව ය.කවුරු කුමන කඳවුරේ ඉන්නේ දැයි ඇතැම් විටක ගණන් හදා බලමින් ය.

ඒ තත්වය යටතේ මෙහෙමවත් රාජකාරී කර ගෙන සිටීම ගැන අප පොලිස් නිලධාරීන්ට එක් අතකින් ගෞරවය පුද කළ යුතු ය.

ප්‍රශ්නය ඇත්තේ අනුන්ගේ ගෑස් බැලීමට සිදුව ඇති පොලීසියේ ඇතැම් නිලධාරීන් පොඩි මිනිහාට ගෑස් දැමීමට යෑම ය. වධයට ලක් කිරීම ය.ලොකු මිනිසුන් ළග වකුටු වුණු නීතිය පොඩි මිනිසුන් ළග පිම්බී දිග හැරීම ය.

ඇතැම් නිලධාරීන් නිල කබාය භාවිතා කරන්නේ කප්පම් ගැනීමට ය. ඒ නිසා එකමත් එක කාලෙක කප්පම් කල්ලි ද පොලිස් වෙස් ගත්ත බව අපට මතක ය.

මස් කඩේකට ගියොත් කටු නැති මස් ලැබීම ට ද බාර් එකකට ගියොත් නොමිලේ සූර් වීමට ද අවස්ථාව ලැබෙන්නේ ය. සමාවන්න. ඇතැම් නිලධාරීහු ඒ අවස්ථාව ලබා ගන්නෝ ය.එහෙම බැලුවහම කාකි සූට් එක ඇතැම් අයට සිතු පැතූ සම්පත් පහළ වෙන කප් රුකක් ලෙස ද අවශ්‍ය නම් අර්ථ ගැන්විය හැකි ය.බලය තියෙන ඕනෑම තැනක දූෂණයට ද ඉඩ තිබේ.පොලීසියට පමණක් එය වෙනස් වන්නට හේතුවක් නැත.

මේ නිසා බොහෝ විට යම් නීති විරෝධී ක්‍රියාකාරිත්වයක් කිසියම් පෙදෙසක සිදු වන්නේ නම් බොහෝ දෙනෙකු කියන්නේ එක්කෝ පොලීසියේ කවරෙකු හෝ ඊට සම්බන්ධ බව ය.නැතිනම් අඩු වශයෙන් අනුග්‍රහ දක්වන බව ය.එසේත් නැතිනම් පොලීසියට බලපෑම් කළ හැකි දේශපාලනඥයෙකු හෝ වෙනයම් බලවතෙක් මේ පිටුපස සිටින බව ය.

සහතිකයක් සහ පැල්ලමක්

එයින් අදහස් කරන්නේ අවශ්‍ය නම් අකටයුතුකම් මැඩලීමේ බලයක් හා හැකියාවක් පොලීසියට ඇතැයි මිනිසුන් විශ්වාස කරන බව ය.අනෙත් අතට නැත්තේ අවශ්‍ය ඕනෑකම බව මිනිසුන් සිතන බව ය. පළමුව පොලීසිය ගැන සහතිකයක් ලබා දෙන අතර දෙවැන්න පොලීසිය ගැන කළු පැල්ලමක් පෙන්වා දෙන්නේ ය.

දේශපාලනඥයින් හැරුණු කොට නීතිඥවරුන්, අධිකරණ නිලධාරීන් හා වෛද්‍යවරුන් විශේෂයෙන් අධිකරණ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පොලීසියේ නිලධාරී මහත්තුරු විශේෂයක් කිරීමට කැමති ය. ඒ ඔවුන් තමන්ගේ පැවැත්මට හා ආරක්ෂාවට අවශ්‍ය නිසා ය. ඔවුන් අමනාප කර ගත හොත් කරන සෙල්ලම් වැරදිය හැකි නිසා ය. එයින් තවත් එකක් ඇඟවෙයි.මේ අය හා එකතු වුණොත් පොලීසියට බොහෝ අකටයුතුකම්වලින් ගොඩ ආ හැකි බව ය.

අනෙත් පැත්තෙන් පොලීසියේ බොහෝ අය අකමැති කට්ටියක් ද වෙයි.ඒ මාධ්‍යවේදීන්ය. විශේෂයෙන් මාධ්‍ය ඡයාරූප ශිල්පීන් ය. ඒ සැඟවිය නොහැකි සාක්කි මතු කර ගත හැකි නිසා ය. අඩු වශයෙන් එවැන්නක සැකයක් ඇති කළ හැකි නිසා ය. අකටයුත්තක් කර බේරී යෑමට ඇති ඉඩ එයින් වළකන නිසා ය. එයින් එහා ඔවුන් නුරුස්සන කවුරුන් හෝ සිටී නම් ඒ පොලීසිය තුළම සිටින ඔවුන්ගේ ම අවංක සගයින් ය.රාජකාරිය නිසි ලෙස ඉටු කරන පොලිස් නිලධාරීන් ය.පොලීසියේ නිලධාරියෙකුගේ අකටයුතුකම් වලට එරෙහිව යා හැකි බලයක් තිබේ නම් ඒ ඔවුන්ගේ ම අවංක සගයින්ට පමණක් නිසා ය.

අප සිහින දකින පොලීසිය වෙනස් ය.ඒ තුළ නීතිය අකුරට ක්‍රියාත්මක වේ.එසේ ක්‍රියාත්මක කරන නිලධාරීන්ට නොබිය ව සැකයෙන් තොරව සිය කටයුතු ගෙන යෑමට අවශ්‍ය පරිසරය පොලීසියේ ඉහළ කළමනාකාරිත්වය විසින් ඇති කර දී තිබේ.

උසස් වීම් ලබා දීමේ දී ද වෙනත් වරප්‍රසාද ලබා දීමේ දී ද නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්, විශේෂයෙන් බලවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ අවස්ථා සම්බන්ධයෙන්,විශේෂ සැලකිල්ලක් දැක්වේ.ඒ නිසා ම අධික වේගයෙන් රිය පැදවූ දේශපාලකයෙකු දඩ ගෙවන ඡයාරූපයක් ද බීමත්ව රිය පැදවූ මහේස්ත්‍රාත්වරයෙකුගේ රියැදුරු බලපත්‍රය උසාවියක දී තහනමට ලක් වූ ප්‍රවෘත්තියක් ද වැනි පුවත් පත්තරවල පල වේ.

උසස් වීම් ලබා දීමේ දී ඒ බල ප්‍රදේශය තුළ වාර්තා වෙන අපරාධ හෝ නීතිවිරෝධී ක්‍රියා අතීතයට සාපේක්ෂව කෙතරම් අඩුව තිබේ ද යන්න විශේෂයෙන් සැලකිල්ලට ගනු ලැබේ. ඒ නිසා ම අපරාධ අල්ලා ගැනීම වෙනුවට අපරාධ සිදු වීම නැවැත්වීම කෙරේ පොලීසියේ අවධානය යොමුව තිබේ.

නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අගතියක් දක්වා ඇති නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂයෙන් බලවතුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීම මග හැර කටයුතු කළා වූ ද අහිංසක මිනිසුන්ට එරෙහිව නීතිය අයුතු ලෙස යොදා ගත්තා වූ ද නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලන හා එවැනි සොයා බැලීමක දී එවැන්නක් තහවුරු වුවහොත් නොපමාව දඩුවම් දෙන ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

නව තාක්ෂණය

මේ ක්‍රියාකාරිත්වය විමසීම සඳහා CCTV කැමරා වැනි නව තාක්ෂණය යොදා ගැනෙන අතර ඉතා අවංක නිලධාරීන්ගේ සමන්විත විශේෂ ඒකකයක් පොලීසියට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්ථාපිත කර තිබේ.ඒ සඳහා පැමිණිලි කිරීමට අවශ්‍ය අයට පොලීසියට නොයා නව සන්නිවේදන තාක්ෂණය භාවිතා කරමින් එසේ කිරීමේ ඉඩකඩ ද සපයා තිබේ. කිසියම් පොලීසියක් විසින් පැමිණිල්ලක් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ විට ද මේ තාක්ෂණ ක්‍රමවේදය හරහා එවැනි පැමිණිල්ලක් කිරීමේ ඉඩ ද සකසා තිබේ. ඒ හරහා නිසි පැමිණිල්ලක් කිරිමේ ඉඩ ද අවශ්‍ය වුවහොත් පසුව විවර කර දෙනු ලැබේ.

රථවාහන නීති උල්ලංඝනය උදෙසා පැනවෙන දඩ මුදල් ගෙවීම පහසු කරනු සඳහා ද නව තාක්ෂණය යොදා ගැනෙන නිසා පොලිස් රථවාහන අංශයේ නිලධාරීන්ට අල්ලස් දීමට තිබෙන පෙළඹවීම අවම වී තිබේ.

පොලීසිය ආගමික බැඳීම් නොපෙන්විය යුතු බවට නියෝග පනවා තිබේ. නිල ඇඳුමෙන් සැරසී ආගමික වතාවත් කිරීම වරදක් බවට පත් කර තිබේ. තම ප්‍රදේශයේ පැවැත්වෙන යම් උත්සවයකට රාජකාරීය සඳහා හැර වෙනත් මට්ටමකින් පොලිස් නිලධාරීන්ට සහභාගි විය හැක්කේ ඒ මගින් එම ප්‍රදේශයේ අපරාධ අඩු කිරීමට යම් මෙහෙයක් වෙනවා නම් පමණ ය.

පොලීසිය භාරයේ සිටින අය සම්බන්ධයෙන් වග කීමට පොලීසිය බැඳී සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔවුන් රඳවා තබන ස්ථානයන්ගේ CCTV කැමරා රඳවා තැබිය යුතු වෙයි.

අපරාධ සම්බන්ධයෙන් නිර්නාමික ඔත්තු සැපයීම සඳහා වෙබ් තාක්ෂණය පදනම් කර ගත් වේදිකාවක් ද නිර්මාණය කර දී තිබේ. එවැනි ඔත්තු සම්බන්ධයෙන් ඇති වූ ප්‍රගතිය ද ඒ ඔත්තුව සැපයූ පුද්ගලයාට බලා ගත හැකි වන පරිදි එම වේදිකාව සකස් කර තිබේ. එවැනි ඔත්තු සම්බන්ධයෙන් පොදු ප්‍රගතිය සාමාන්‍ය ජනයාට ද බලා ගත හැකිවන පරිදි දෛනිකව යථාවත් කරනු ලැබේ. ලැබී ඇති ඔත්තු සංඛ්‍යාව,විමසනු ලැබ ඇති ඔත්තු සංඛ්‍යාව,විමසා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනු ලැබූ අවස්ථා ගණන,දඬුවම් ලබා දුන් ගණන වැනි දත්ත ඒ අතර තිබේ. මේ තුළින් පොලීසිය පිළිබඳ මහජනයා තුළ විශ්වාසයක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

පිළිතුරු නොපමාව

පොලීසියේ නිලධාරීන් සම්බන්ධයෙන් වත්කම් ප්‍රකාශනයන් ලබා ගන්නා බැවින් හා කිසියම් නිලධාරියෙකු අසාමාන්‍ය ලෙස වත්කම් වැඩි කර ගෙන ඇත් ද ඒ කිනම් මාර්ග හරහා ද යන්න විමසුමට ලක් කෙරෙන බැවින් පොලීසියේ නිලධාරීන් අල්ලස හා දූෂණයෙන් වැළකී ඇත.

පොලීසියේ නිලධාරීන්ගේ මාරුවීම් නිශ්චිත ක්‍රමවේදයකට අනුව සිදු වේ. ඒ සම්බන්ධයෙන් දේශපාලන මැදිහත් වීම් අවම වී තිබේ. ඒ නිසා නිදහස් ව සිය රාජකාරිය කර ගෙන යෑමට පොලීසියේ නිලධාරීන්ට හැකියාව ලැබී තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පොලීසියේ ගවේෂණවල ප්‍රතිඵල පිළිබඳ විමසන ජනතා ප්‍රශ්නවලට නොපමාව පිළිතුරු ලැබේ. මාධ්‍යවේදීන්ට එරෙහි අඩම්තේට්ටම් කරන පොලීසියේ නිලධාරීන්ට විරුද්ධව නොපමාව විනයානුකූල කටයුතු කරනු ලැබේ.අප සිහින දකින පොලිසිය එවැන්නකි.

නිශාන්ත කමලදාස

නව අදහස දක්වන්න