2017 රණවිරු සැමරුම අභිමානවත්ව | දිනමිණ

2017 රණවිරු සැමරුම අභිමානවත්ව

විජයානි එදිරිසිංහ

ගිල ගනිමින් තිබු ත්‍රස්තවාදි යුද්ධය නිමා කරමින් ‍මේ මවු බිමටත් එහි ජනතාවටත් නිදහස උරුම කැර දුන් ත්‍රිවිධ හමුදා රණවිරුවන් සැමරීමේ 2017 රණවිරු සැමරුම් උත්සවය මහත් අභිමාණයෙන් යුක්තව ඊයේ දියවන්නා රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී පැවැත් විණි

එදා ත්‍රස්තවාදය නිමා කළ අද වැනි දිනක රණවිරුවන් වෙනුවෙන් මේ රටේ ජනතාව ඔවුන් සිහිපත් කැර ඔවුන්ට මුළු මහත් ජාතියේම උපහාර ගෞරවය දැක්විම වසරක් පාසා මේ ආකාරයෙන් සිදු කෙරිණි. වැස්ස අවුව නොබලා මහා ඝණ අඳුරේ ත්‍රස්තවාදි අඩෙවි තුළ‍ට රිංගා ඔවුන් හා සටන් වැදී තම මවුපිය දූ දරුවන් ඥාතින් ගැන පමණක් නොව තම ජීවිතය ගැන නොතකා සටන් වැදුණු අපේ රණවිරුවන් ගැන මේ රටේ ජනතාව තුළ පමණක් නොව ජාත්‍යන්තරය පුරා ඇත්තේ මහත් වු ගෞරවයකි.

තම ඇස් ඉස් මස් ලේ ඇට නහර මේ රට වෙනු වෙන් පූජා කළ රණවිරුවන් සමරා ඊයේ මේ ආකරයෙන් ගෞරව උපහාර දැක්වීම ජනාධිපති ‍මෛත්‍රිපාල සිරිසේන මහතා‍ගේ ප්‍රධාණත්වයෙන් ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඇතුළු ප්‍රභූවරු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණ අතර අද ජිවත්ව නැතත් ඒ අභීත රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දූ දරුවන් බිරින්දැවරුන් මවුවරු පියවරු මේ අවස්ථාවට සහභාගි වි සිටි අවස්ථාව මෙන්ම ඔවුන් සිහිපත් කළ අවස්ථාව එහි සිටි සෑම කෙනකුගේම නෙතට කඳුලක් ඉනූ ඉතා සංවේදී අවස්ථාවක් විය.

එදා යුද බිමේ සිටි රණවිරු සොයුරු සොයුරියන් කිසිදු අවස්ථාවක තනිකරන්නේ නැති බව පැවසූ මේ ‍රටේ ජනතාව ඊයේ මෙම රණවිරු ස්මාරකය අභියස සිට ප්‍රාර්ථනා කෙළේ රණවිරුවනි අද ඔබ අප අතර නැතත් කිසි දිනෙක අපට ඔබලා අමතක නොවන බවයි. ඒ වගේම මෙරට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කැර ඔබ සැම ලබා දුන් නිදහස අප සැමදා ආරක්ෂා කරන අතර ඔබ වෙනුවෙන් දක්වන මේ ගෞරවය සැමදා අප සිත්වල පවතින බවයි.

මෙම ‍රණවිර සැමරුම් උත්සවට ආරම්භ වූයේ ජාතික රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි ‍අනෝමා පොන්සේකා මහත්මියගේ පිළිගැනීමේ අවස්ථාවත් සමඟය. තිස් වසරක් පුරා මේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යග කළ රණවිරු සොහොයුරියන්ගේ ගුණ කතන සිදු විමෙන් අනතුරුව රණවිරු ස්මාරකය අභියසට රැස්වූ පිරිස යුද්ධයේදී දිවිදුන් ඒ අපේ රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්විම සිදු විය. ඒ අවස්ථාව ඉතාමත් සංවේගාත්මක අවස්ථාවක් විය. එනම් ඒ සංවේගාත්මක අවස්ථාවේ එහි සිටි සෑම කෙනකුගේම නෙතින් කඳුලක් වැටුනේ එදා යුද බිමේ සිටි ඒ රණවිරුවන් කළ අභීත කැපවීම සිහිපත් වීම අදටත් ඒ අකාරයෙන්ම සිහිපත්වීම නිසා විය හැකිය.

පෙරේදා දින පස්වරුවේ කොළඹ යටවන තෙක් අධික වර්ෂාව ඇඳ හැලුනත් ඊයේ මෙම රණවිරු සැමරුමි අවස්ථාව අවසන් වන තෙක් යහපත් කාලගුණයක් පැවතුනි. 

නව අදහස දක්වන්න