එල්.එස්.ආර්.ටී කප් පාපැදි සවාරිය ජාත්‍යන්තර කැලැන්ඩරයට | දිනමිණ

එල්.එස්.ආර්.ටී කප් පාපැදි සවාරිය ජාත්‍යන්තර කැලැන්ඩරයට

අනුර ප්‍රේමලාල්

එල්.එස්.ආර්.ටී කප් අන්තර්ජාතික පාපැදි සවාරිය වාර්ෂිකව පැවැත්වීම සඳහා ජාත්‍යාන්තර පාපැදි සම්මේලන‍යේ තරග කාල සටහනට ඇතුළත් කරන බව ජාත්‍යන්තර පාපැදි විනිසුරු හා ටී.කප් තරගයේ තාක්ෂණ අධ්‍යක්ෂ එන්. කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා කොළඹ පැවැති එල්.එස්.ආර්.ටි කප් පාපැදි සවාරියේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමිනි.

'මෙවැනි තරගයක් පැවැත්වීම සඳහා සෑහෙන උත්සාහයක් ගනිමින් සිටින අවස්ථාවක ලංකා ස්පෝර්ට් රයිසන් හී සභාපති තිලක් වීරසිංහ මහතා මේ පාපැදි සවාරිය සංවිධාන කොට පැවැත්වීමට දැවැන්ත සහයෝගයක් ලබාදුන්නා. මෙරටදී ප්‍රථම වතාවට සංවිධාන කෙරුණු මේ තරගයට පිලිපීනය, මැලේසියාව, සිංගප්පූරුව, බංගලාදේශය, නෙදර්ලන්තය යන රටවල ක්‍රීඩකයන් හා ක්‍රීඩා සමාජ ක්‍රීඩා කණ්ඩායම් හයක් එක්වුණා. මීට අමතරව ජර්මනිය, ඕස්ට්‍රේලියාව හා ලාඕසයේ ක්‍රීඩකයන්ද ඉදිරිපත් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ගුවන් හමුදා, නාවික හමුදා, පොලිසිය, දෙහිවල ගල්කිස්ස නගර සභාව, ටෙලිකොම් හා බි.එම්.සි. ක්‍රීඩා කණ්ඩායම් එක් වුණා. ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම් පුහුණුවීම්වලදී ඇතිවු අනතුරක් නිසා සහභාගි වූනේ නැහැ. එල්.එස්.ආර්.ටී කප් පාපැදි සවාරියේ ක්‍රීඩකයන් හැට පස් දෙනකු තරගය ආරම්භ කළ අතර හතළිස් අට දෙනකු තරගය අවසන් කළා. එය ඉතාම සාර්ථක තත්ත්වයක්. ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගේ පූර්ණ ආශිර්වාදය මේ තරගය පැවැත්වීමට ලැබුණා.' එන්. කරුණාරත්න මහතා කීවේය.

'සෑම ක්ෂේත්‍රයකම දස්කම් පෙන්වන අය ඇගයීමක් කළ යුතුයි. ඒ නිසාම ටී කප් පාපැදි සවාරියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට අපි ආරාධනා කළේ මෙරට සිටින ප්‍රවීණ පාපැදි ක්‍රීඩකයන්ට. දකුණු ආසියාවේ සිටින එකම ජාත්‍යාන්තර පාපැදි තරග විනිසුරු එන්.කරුණාරත්න මහතා සිය උපරිම දායකත්වය මේ තරගය පැවැත්වීමට ලබාදුන් අතර මේ තරගය පැවැත්වීමට අවසර ලබාදී මාස තුනෙන් අපි සංවිධාන කිරීම විශේෂත්වයක්. මේ තරගය පැවැත්වීමෙන් අපේ රටේ ක්‍රීඩකයන් තිස්පස් දෙනකුට තම රටේ සිට අන්තර්ජාතික තරගයකට සහභාගිවීමේ අවස්ථාව ලැබුණා. මේ මගින් ලෝක පාපැදි සිතියමට ලංකාවටත් එක්වීමේ අවස්ථාව ලැබෙනවා.' ලංකා ස්පෝරට් රයිසන් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේය.

නව අදහස දක්වන්න