රැකියා ස්ථානය ඔබ ගැන නොසිතයි නම් ඉන් ඉවත් වන්න | දිනමිණ

රැකියා ස්ථානය ඔබ ගැන නොසිතයි නම් ඉන් ඉවත් වන්න

වෘත්තීය සංවර්ධනය හෝ ආර්ථික සංවර්ධනය හෝ උදෙසා රැකියාවක නිරතව සිටිමින්, වෙනත් රැකියාවකට අයදුම් කිරීම, අද වනවිට පුදුමයට කරුණක් නොවේ. ඒ නිසා, ඔබ බලාපොරොත්තු වන ඉලක්ක සහ ප්‍රතිලාභ, දැනට සේවය කරන රැකියාව මඟින් ඉදිරියටත් සාක්ෂාත් කරගත නොහැකි බව හැඟේනම්, ඊට සාධාරණ හේතු සාධක ද පෙනෙන්නට ඇත්නම්, එවන් වූ තීරණයක් ගැනීමේ අයිතිය ඔබ සතු ය. එහෙත්, වර්තමානයේ වැඩි දෙනකු රැකියාවකින් ඉවත් වීමේ අරමුණු බොහොම ප්‍රාථමික මට්ටම්වල පවතින නිසා, එවන් වූ තීරණයකට පැමිණීමට පෙර දැන සිටිය යුතු කාරණා කිහිපයක්, මෙලෙස සඳහන් කරමි.

* රැකියාවෙන් ඉවත්වීමේ තීරණය ඔබේමද?

අවංකවම රැකියාවෙන් ඉවත් වීමට ගත් තීරණය ඔබේ ම තීරණයක් නම්, එම තීරණය ගැනීමේ පූර්ණ අයිතිය, නිදහස ඔබ සතු ය. එහෙත්, වෙනත් බාහිර පුද්ගලයන්ගෙන් ලැබුණු බලපෑමක් නම්, ඔබ ගන්නා තීරණය ගැන පෙරට වඩා සැලකිලිමත් විය යුත්තේ, රැකියාවේ ස්වභාවයේ සැබෑ යථාර්ථය හා අනාගතය ගැන දන්නේ අන් කිසිවකු නොව, ඔබ ම පමණක් නිසා ය. සමහර විට ඔබේ මවුපියන්, සහෝදරයන්, මිතුරන්, සමහර විට පෙම්වතිය හෝ පෙම්වතා වුණත්, ඔබ කරන රැකියාවේ අඩුපාඩු, එසේත් නැතිනම් රැකියාවට අදාළව ඔබ කරන දේ, අඳින - පළඳින විදිහේ අඩුපාඩු, පෙනෙන්නට පුළුවන.

එහෙත්, ඒ සියලූ දේ මෙතෙක් ඔබට නොපෙණුනු, ඔවුන් දැන් දැන් ඔබට දැනෙන්නට සලස්වන දේ වන්නට බැරි නැත. “ඔය රස්සාව කරලා කවදා ගොඩ යන්නද?”, “කෑමටයි ගමන් වියදමටයි හම්බ කර ගන්න දේ ඉවරයි.”, “ගෙදර අයට වුණත් කියන්න පුළුවන් හොඳ රස්සාවක් තිබුණොත්” වැනි බොහෝ දේ පවසමින්, ඔබේ රැකියාව ඔබටම එපා කරවන්නට පුළුවනි. එහෙත් මේ දේ, රැකියාවට සමුදෙන්න සියයට සියයක් සාධාරණ හේතු නොවන නිසා, රැකියාව සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගැනීමේ හැකියාව ඇත්තේ සහ ඒ ගැන දන්නේ ඔබ පමණි. ඒ නිසා, ඒ තීරණය ඔබේ සිතට එකඟව ගතයුත්තක් ද? නැද්ද? යන්න සිතිය යුතු ය.

* ඇයි ඔබ ඉවත්වන්නේ?

දැනුමට සරිලන වැටුපක්, තනතුරක්, තනතුරු උසස් කිරීමක්, දිරි දීමනා, වෘත්තීය ස්ථාවරත්වය, ගෙවී ගිය කාල වකවානුව තුළ සතුටුදායක නොවන්නේ නම්, වෙනත් රැකියාවක් ඔබ අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය යුතු ය.

ඕනෑම සේවකයකු උපරිම දැනුම, කාලය කැප කරමින් ආයතනයේ උන්නතිය වෙනුවෙන් ලබාදෙන දායකත්වයට සාධාරණ යුතුකම් කොටසක් ඉටු කිරීම, ආයතන කළමනාකාරීත්වයට හැකි විය යුතු ය. වසර දෙකක්, තුනක් හෝ ඊට වැඩි සේවය ලබා දෙන සේවා දායකයකුට එවන් වූ යුතුකම් ඉටු නොවන්නේ නම්, එම ආයතනයේ පැවැත්මට මෙන් ම, ඔබේ අනාගතයට ද එය අනතුරු ඇඟවීමකි. ඒ නිසා, ඔබේ වෘත්තීය ස්ථාවරත්වය පිළිබඳ කළමනාකාරීත්වය හා කතා කර, එකඟතාවකට පත්විය නොහැකි නම්, කතා කිරීමෙන් පසු ද යහපත් ප්‍රතිචාරයක් අත් නොවූයේ නම්, එම රැකියාවෙන් ඉවත් වීම සාධාරණ තීරණයකි.

* වෙනත් රැකියාවකට අයදුම් කිරීමේ වඩා සුදුසු පිළිවෙළ

සමහරුන් තමන් දැනට නියුතු රැකියාවේ සිටම වෙනත් රැකියා සඳහා අයදුම් කරයි. ඒ අතරම, තවත් පිරිසක් රැකියාවෙන් ඉවත් වීමෙන් පසුව රැකියා සඳහා අයදුම් කරයි. එහෙත්, ඔබේ වයස සහ සේවා කාලය දීර්ඝ වකවානු නොවන්නේ නම්, රැකියාවෙන් ඉවත් වී, ඒ අතරතුර වෙනත් රැකියා සඳහා අයදුම් කළ හැකි ය. එහෙත්, වයස අවුරුදු විසිපහ ඉක්මවා ඇත්නම්, වෙනත් රැකියාවක් සඳහා අයදුම් කිරීමේ සුදුසු ක්‍රමවේදය වන්නේ, දැනට සේවය යෙදෙන රැකියාවෙන් ඉවත් නොවී, වෙනත් රැකියාවක් වෙත උනන්දු වීම ය.

එය වඩා නිවැරැදි ක්‍රමය බව සඳහන් කරන්නේ, හේතු කීපයක් මූලික වන නිසාය. ඉන් පළමු කාරණය වන්නේ, ඔබේ වයසත් සමඟ තවත් රැකියාවකට අයදුම් කිරීමේදී, ඒ ඒ කාලවකවානුවල උසස් විභාග සඳහා පෙනී සිටි තරුණයන් සමඟ යම් අභියෝගයකට මුහුණ දීමට සිදුවන නිසා ය. පෞද්ගලික ආයතන පවා දැනුමෙන් පරිපූර්ණ නව තරුණ පරපුර සඳහා වැඩි අවධානය යොමු කරන නිසා, තරමක රැකියා තරගයකට මුහුණ දීමට සිදුවෙයි. එහෙත්, ඔබේ සේවා පළපුරුද්ද වැඩි වාසියක් ලබා දුන්න ද, ඇතැම් අවස්ථාවල රැකියා ක්ෂේත්‍ර අනූව යම්කිසි ගැටලූවක් ඇතිවීමේ අවදානමක් තිබේ.

එසේ ම, රැකියාවෙන් ඉවත්වීම යනු මෙතෙක් කල් ඔබ ලැබූ මාසික වේතනය ඔබට අහිමි වීමකි. දීර්ඝ කාලයක් රැකියාවක් කළ අයෙකුට, ඒ මානසික දරාගැනීමේ හැකියාව අවශ්‍යයි. ඔබෙන් යම් පිරිසක් පෝෂණය වූයේ නම්, එසේත් නැත්නම් එදිනෙදා වියදම්, අධ්‍යාපනික කටයුතු සඳහා වැය කළ මූල්‍යමය ප්‍රතිපාදන, එකවර අහිමි වීමේදී, ඒ සඳහා සුදුසු සැලැස්මක් ද තිබිය යුතු ය. එසේ නොමැති වීම තුළ අනිවාර්යයෙන්ම ඔබේ සිත ඔබට පීඩාවක් වේ.

ඒ නිසා, ඒ වෙනුවෙන් ශක්තිමත් ලෙස මුහුණ දීමට හැකිනම්, ඔබ කල්තියා ගන්නා තීරණය අභියෝගයක් නොවන්නට පුළුවන. සමහර විට, දැනට යෙදෙන රැකියාව තුළ වෙනත් රැකියා සම්මුඛ පරීක්‍ෂණ සඳහා සහභාගී වීම, නිවාඩු ලබා ගැනීම තව දුරටත් ගැටලූකාරී නම්, අනිවාර්යයෙන්ම සේවයෙන් ඉවත් වන්නට සිදුවේ. එක් දෙයක් ලබා ගැනීමට ජීවිතයේ තවත් දෙයක් කැප කළයුතු බව පොදු ධර්මතාවක් නිසා, ඒ තීරණය සඳහා සූදානම් වන්නට ඔබට සිදුවේ. එහෙත් වැදගත් වන්නේ, ඔබේ සිත වැටෙන්නට ඉඩ නොදීම ය.

“රස්සාවෙන් අයින් වෙලා කොහොමද ගෙදර වියදම් බලන්නේ?”, “ණය ටික ගෙවාගන්නේ කොහොමද?” සියලූ දේ ගැන සිතනවාට වඩා, රැකියාවෙන් ඉවත් වී, ඊට සුදුසු විකල්පයක් ගැනීමට ඔබට පුළුවන. සියලූ දේ සියයට සියයකින්ම සාර්ථක වනතෙක් බලා සිටීම ද ප්‍රමාදයට හේතු වන නිසා වැදගත් වන්නේ සුදුසු අවස්ථාවේ සුදුසු තීරණය ගැනීමට හිත ශක්තිමත් කර ගැනීම ය. බොහෝ විටි ඔබ ගන්නා තීරණය තුළ කෙටි කාලයකදී ඇතිවිය හැකි අතපසුවීම් ගැන, මවුපියන් මෙන් ම පවුලේ අනෙකුත් සාමාජිකයන් දැනුවත් කර තිබීම ඔබේ සිතට සහනයක් වන්නට පුළුවන.

* බලාපොරොත්තු වූ පමණින් රැකියාවක් නොලැබීම

තමන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, පළපුරුද්ද අනූව, ඉක්මනින්ම වෙනත් රැකියාවක් ලැබෙතැයි සිතුව ද, ඇතැම්විට එය එසේ නොවන්ට පුළුවන. රැකියා සඳහා ඇති තරගකාරීත්වය මත, සමහර විට ඔබට සම්මුඛ පරීක්‍ෂණ සඳහා පමණක් වැඩි වශයෙන් සහභාගී වන්නට සිදුවිය හැකි ය. එවන් අවස්ථාවලදී සිතේ තිබූ විශ්වාසය සහ අනෙකුත් ගැටලූ නිසා, සිත ව්‍යාකූල වීම ස්වභාවික තත්ත්වයකි. සමහර විට සමස්ත රැකියා ක්‍රියාවලිය ගැනම කලකිරී, ඔබට ඔබේම ව්‍යාපාරයක්, විදෙස් ගතවීමක්, වෙනත් විෂයධාරාවක පාඨමාලාවක් වෙත යොමු වන්නටත් සිතේවි. එහෙත්, මේ කුමන තීරණය වූවත්, නිවැරැදි ලෙස හොඳින් සිතා බලා ක්‍රියා කිරීම වැදගත් ය. එයට හේතුව, එය නිවැරැදි තීරණයක් නොවුණහොත් සිදුවන එක ම විපත වන්නේ, මුදල් සහ ඔබගේ කාලය නිකරුණේ නාස්ති වීමකි.

රැකියාවක සිට වෙනත් රැකියාවකට යළි අයදුම් කිරීමේදී, වැඩි දෙනෙකුගෙන් විවිධ මතිමතාන්තර එල්ල වීම සාමාන්‍ය කරුණක් වූවත්, අමෙරිකා එක්සත් ජනපදය වැනි දියුණු ආර්ථිකයක් පවතින රටක එය අතිශය සරල සිදුවීමකි. 

නව අදහස දක්වන්න