කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ සුදු කැස්බෑවකු අතුරුදන්වීම | දිනමිණ

කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ සුදු කැස්බෑවකු අතුරුදන්වීම

විදෙස්ගතව සිටි සැකකරු ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට

කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ සිටි සුදු කැස්බෑවකු සොරකම් කර වෑන්රථයකින් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට පොලිසිය මඟහැර විදේශගතව සිටි රියැදුරකු පසුගිය 11දා දිවයිනට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ කොට්ඨාස අපරාධ ඒකකයට භාරදීමෙන් පසුව එහි ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා සැකකරු බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඉසෙඩ් ඊ. ලියාකාන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ බණ්ඩාරගම බොල්ගොඩ පදිංචි රියැදුරෙකි.

පසුගිය 2013 වසරේ කොස්ගොඩ පොලිසිය පිටුපස කැස්බෑ මධ්‍යස්ථානයේ සිටි කෝටි තුනක් පමණ වටිනා සුදු කැස්බෑවකු සොරාගෙන ගොස් ඇති බව එහි හිමිකරු විසින් කොස්ගොඩ පොලිසියට පැමිණිලිකර තිබුණි.

මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී සුදු කැස්බෑවා ටැංකියෙන් සොරකම්කර වෑන් රථයකින් පැහැරගෙන යාමේ සිද්ධියෙන් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළත් මොහු විදේශගතව සිටි නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකිවිය.

මෙම සැකකරු සුදු කැස්බෑවා වෑන්රථයකින් දික්වැල්ල ප්‍රදේශයට රැගෙන ගොස් වළක දමා විදේශගත වී තිබේ. විදේශගතව සිට පැමිණි බවට ලැබුණු තොරතුරු මත අත්අඩංගුවට ගත්බව අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියා සිටියේය. ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

අම්බන්ගොඩ පොලිසිය පැමිණිල්ල සඳහා සහාය විය.

බලපිටිය සමුහ දිලිප් නිශ්ශංක

 

නව අදහස දක්වන්න