ක්‍රීඩකයා | දිනමිණ

ක්‍රීඩකයා

මෙතෙක් කථාව:

මරණීය රෝග තත්ත්වයකින් පෙළෙන කෝටිපති ව්‍යාපාරික කොලින් ඩෙනිස් සමරදිවාකර විසඳිය නොහැකි එක් අසාමාන්‍ය ප්‍රශ්නයක සිර වී සිටියි. එක පසෙක සිටින්නේ ලෝකයේ සියලු ක්‍රිකට් පිතිකරණ වාර්තා නැවත නොකැඩෙන තරම් ඉහළට ගෙනගිය ලෝක පූජිත ක්‍රීඩක විසල් හෙවත් බාල පුතා ය. අනෙක් පස සිටින්නේ රෝද පුටුවට සිරවූ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකු සහ දක්ෂ පර්යේෂකයෙකු වන නිසල් හෙවත් ලොකු පුතා ය. නිසල්ගේ පර්යේෂණ උදෙසා ලෝකයේ හොඳම විද්‍යාගාරයක් සිය වත්ත කෙළවර ඉදි කළ අයුරුත් නිසල් එහි පර්යේෂණ කරන අයුරුත් කොලින් ඩෙනිස්ට සිහි වේ. ඒ ගොඩනැගිල්ලේ අංශ දෙකක් තිබුණි. Photonics Computers හෙවත් ප්‍රකාශ පරිගණක එක අංශයකි. Augmented Reality හෙවත් ආවර්ධිත තත්‍යය එහි අනෙක් අංශයයි.

විසල් මේ ගොඩනැගිල්ල දැක්කේ තම ක්‍රිකට් පිටියේ හරහට ඉදි කළ අනවසර ඉඳි කිරීමක් ලෙසිනි. එකොළහෙන් පහළ, දහතුනෙන් පහළ පහළොවෙන් පහළ, ආදී ලෙස පියාගේ ලේ උරුමයෙන් ලද ක්‍රිකට් මාවතේ සන්ධිස්ථාන පසු කරන පුත්‍රයාට සිය සහෝදරයා කරන දෙයෙහි අරුතක් වැටහුණේ නැත. ඒ වෙද්දී ඔහුගේ ලෝකය ක්‍රිකට් ය. එසේම ඔහු එහි කිරුළ කරා යමින් හුන්නේය.

සහෝදරයා ගේ පර්යේෂණවල අරුත විසල්ට වැටහුණේ අහම්බයකින් එක නිමේෂයක එහා මෙහාවකින් ඒ කිරුළ හා ක්‍රිකට් ලෝකය ඔහු මත කඩා වැටුණු විටයි. පාසල් පුහුණුවකදී පිත්තේ කොනක වැදී පන්දුව දකුණු ඇසේ වැදුණු පසුවයි. රෝහල් කාමරයේ සිහි එද්දී ඇස වෙලා ඇති රෙදිපට කොලින් ඩෙනිස් ගේ බැරෑරුම් මුහුණ සැඟ වූ නමුත් දෙකණට ඇහෙන වචන වැළකිය නොහැකි විය.

'doctor you mean it is permeneant? විසල් ට ක්‍රිකට් ගහන්න බැරි වෙයිද?'

'yes, it is permeneant. මෙහෙමයි මිස්ට සමරදිවාකර, ඔය ඇහැට පෙනීම දෙන්න පුළුවන් ඒත් අඩුපාඩු එක්ක. ක්‍රිකට් නම් ඉතින් අමාරු වෙයි. very low chance. '

'even if we go abroad? ඩොක්ට දැන් කණ්ණාඩියට කොම්පියුටර් හයි කරන කාලයක්. ගූගල් ග්ලාස් කියල ආවේ'

'හ්ම්ම්ම්ම්.... අපි දැනුවත්ව නම් විදිහක් නැහැ. ඉතින් එහෙනං ගූගල් ගිහින් හදාගන්න වෙයි. කණ්ණාඩි කොම්පියුටරයෙන් පෙනුම දෙන එකක්'

'ක්‍රිකට් ගහන්න බැහැ තාත්තා එව්වා දාගෙන. නීති තියෙනවා' ලෝකය කඩා වැටුණු වේදනාවෙන් විසල් කී බව කොලින් ඩෙනිස් ට ඇසුණේ නැත.

'තාත්තා මට ඉක්මනින් ම ගූගල් ග්ලාස් එකක් ගන්න ඕනේ' විසල් ගේ අකරතැබ්බය ගැන දැනගත් පසු නිසල් කීවේ එපමණකි. ඉල්ලු වෙනත් සියල්ලක් මෙන්ම එය ද වහාම ගෙන්වන ලදී. ඉන් පසු ගෙවුණු කාලයේ නිසල් ඒ ඇසේ පළඳින පරිගණකය සම්පුර්ණයෙන්ම අධ්‍යනය කළේය.

ඉහළම දෘෂ්ටි විශේෂඥයින්ගෙන් විසල්ට ඉක්මනින් ම උපැස් යුවළක් ලැබුණි. එහි ආධාරයෙන් ඔහු නැවත ක්‍රීඩා කරන්නට උත්සහ කළද එය සාර්ථක නොවීය. සිහිනය බිඳ වැටුණු විසල් මානසිකව අසරණ විය. ඔහු දිගින් දිගටම ඒ ගැන සිතීම නිසා විශාද අවස්ථාවකට මුහුණ දී ඇතිදැයි නිවැසියෝ කතා කළහ.

'මට ඔය කණ්ණාඩියෙ තව කොපියක් ගන්න බැරිද?' පර්යේෂකයා කිසියම් සැලසුමක් මත ක්‍රියාකරන බව කොලින් ඩෙනිස් ට ඒත්තු ගියේ එදාය.

'ඕක හරියන්නේ නැහැ' අයියාගේ වැඩ ගැන තාත්තා කියූ විට විසල් ඒ ගැන විශ්වාස කළේ නැත. 'අනික හරි ගියත් ඕක අහුවෙන්න පුළුවන්'

'do not underestimate him son. මිනිහ හදල තියෙනවා තනිකර light rays වලින් වැඩ කරන කම්පියුටරයක්. ඉලෙක්ට්‍රොනික් මොකවත් නැහැ'

'ඉතින් ...'

'ඒ ටෙක්නොලොජිය තමා මේකට ගන්නේ. ඒ කියන්නේ ඔය කණ්ණාඩිය කිසිම කෙනෙකුට සැක කරන්න පුළුවන් එකක් නෙවෙයි. පිටින් කිසිම වෙනසක් නැහැ'

සහෝදරකමට යා හැකි සීමා නොමැත. තෙවසරක් නිදිවර්ජිතව ලෝකය පෙරළූ නිසල්, විසල්ට දුන්නේ අරුම කණ්ණාඩියකි. තාත්තා කියූ සේම එය ගූගල් ග්ලාස් වැනි පරිගණකයකි. එහෙත් එය ගූගල්ට වඩා ආලෝක වර්ෂ ගණනක් ඉදිරියට ගොස් තිබුණි.

දෘෂ්ටි විශේෂඥයන් තැනු වීදුරු මෙවලම මත සුවිශේෂී ප්‍රකාශ සංවේදී පාරදෘශ්‍ය තට්ටුවක් අතුරා තිබුණි. ඒ මත ඇතිරෙන ආලෝක කිරණ මඟින් ඇසට පරිගණක තිරයක් සපයයි. කණ්ණාඩිය සවි කළ කළු පැහැති රාමුව බාහිර ආලෝකය සීල් තබන ලද ප්‍රකාශ පරිගණකයකි. එහි ඇති ප්‍රකාශ තන්තුමය සංකීර්ණ ව්‍යුහයන් පරිගණක ලොජික් ගේට්ටු සේ ක්‍රියාකරන්නට සමත් ය. එහි සියලු කටයුතු සිදු වූයේ ආලෝක කිරණවලිනි. එහි ඉලෙක්ට්‍රොනික චිපයන් තිබුණේ නැත.

වේගයෙන් එන පන්දුව දකින්නට ආබාධිත ඇසට අවශ්‍ය වෙනස්කම් පමණක් නොව පන්දුව සූම් කරන්නට, එහි දෝලනය ඉරි ගසා පෙන්වන්නට, එහි වේගය ගැන ඉලක්කමක් පසෙක පෙන්වන්නට ආදී ලෙසින් ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය සියලු උපාංග එහි විය. පෙනුමෙන් එය නිකම්ම නිකම් කණ්ණාඩියකි. ක්‍රීඩාවේ නිලමක්කාරයෙක් කවදාවත් සැක නොකරන කණ්ණාඩියකි.

එයට නමක් නොවීය. එවැන්නක් ලොව කොහෙවත් හදා නැත. එවැන්නක් එම ගොඩනැගිල්ලෙන් පිටට කවදාවත් ගොස් නැත.

විසල් තව වසර පහකින් ජාත්‍යන්තර පිටියේ බෝල පලද්දී ඒ ගොඩනැගිල්ල ද තව දුරටත් එතන තිබුණේ නැත. කණ්ණාඩියේ බලයෙන් සහ පියාගේ හයියෙන් දහ නවයෙන් පහළ සිට ටෙස්ට් කණ්ඩායම දක්වා පැමිණි පසු රහස රහසක් සේ වැළලීමට සමරදිවාකර පියාට අවශ්‍ය විය. ඒ සියල්ල සැබෑ කළ පර්යේෂණාගාරය එහි ම ගොදුරක් විය.

නිසල් කාමරයට තල්ලු විය. ඔහුගේ පර්යේෂණවල ප්‍රධාන සැපයුම්කරු සියලු සැපයුම් අකාරුණික ලෙස කපා දැමීය. නිසල් ගේ ආශාවේ අන්තය සමරදිවාකර දැක්කේ නැත. සල්ලි ඕනෙ නම් නිසල්ට බූදලයක් තිබේ. බිල් ගේට්ස් කෙනෙකු සර්ජි බ්රින් කෙනෙකු හා තමන් අතර ඇති ඉලක්කම් වෙනස අර්ථ විරහිතය. ඔවුන් ලොව යමක් ගන්නේ නම් තමාටද එය ගන්නට පිළිවන. ඉතින් මේ පර්යේෂකයා නිදි වර්ජිතව කරනුයේ සිය මනසේ අනවශ්‍ය ලෙස වර්ධිත ෆැන්ටසි සැපිරීමක් ලෙස පියා සිතීය. එහෙත් ඔහු අතින් බිහි වූ නිර්මාණය පළඳින බාල පුතු ලෝකය ආක්‍රමණය කර ජුලියස් සීසරයෙකු මහා ඇලෙක්සන්දරයෙකු සේ එහි තම නම සනිටුහන් කරයි. පළමු වරට පියා එක පුතෙකු හඬවා අනිකා සතුටු කළේය.

කාලයක් තිස්සේ සිය නිර්මාණය ලෝකයට හෙළි කොට එහි වටිනාකම් ගන්නට නිසල් ඉල්ලීය. එහෙත් එය සහෝදර ප්‍රේමයෙන් නහවා යටපත් කරන්නට ශූර ව්‍යාපාරිකයා සමත් විය. කාලය ඉදිරියට ගොස් විසල් විසල් ලෙස ලොව මත එසවෙද්දී නිසල්ගේ සිත තුළ ඇති ආදරය යටින් ඊර්ෂ්‍යාව මතු විය. තම සහෝදරයා තම නිර්මාණයෙන් ලෝකය දිනද්දී තමා තම සිහිනය අහිමිව නිවාස අඩස්සියේය. එය සාධාරණ ඊර්ෂ්‍යාවකි.

නිසල් පියාට වෛර කළේය. කතා බහ නතර කළේය. තම සහෝදරයා සමග සහයෝගයෙන් ඉන්නට නොහැකි බව දුටු විසල් ඔහු මඟ හැර අතහැර දැම්මේය. නිසල්ගේ අස්ථාවර මනස බිඳ වැටුණි. ඔහුගේ තත්ත්වය සමාන වූයේ මානසික වියවුලකින් පෙලෙන්නකුටය. නිතර මනෝ වෛද්‍යවරු ඔහු බැලීමට ආහ. ඔහු නිතර කියවන සමරදිවාකර ලැබ්ස්, ෆොටෝනික්ස්, ඔග්මන්ටඩ් රියලිටි මේවා කිසියම් උමතුවක විකාරරූපී දර්ශන ලෙස ඔවුන්ගේ වාර්තාවල සටහන් විය.

දැන් මේ අවසාන මොහොතයි. යම් හෙයකින් තමා ලෝකයාට ඇත්ත කිවහොත් නිසල්ගේ තත්ත්වය සාමාන්‍ය වී ඔහු ලෝකයේ ඉදිරිගාමීම මිනිසකු ලෙස සනිටුහන් වීමට ඉඩ ඇති බව කොලින් ඩෙනිස් සිතයි. ඔහු දිනෙක එවැන්නක් කිරීමට සිතා උන් නමුත් ක්‍රිකට් වාර්තා පොත්වලින් විසල් ගොඩ නැගු ලෝකය ඒ අදහස යටපත් කළේය. නිසල් ට ඒ ගෞරවය දුන්නොත් එදාට විසල් නම් කූට දුෂ්ටයා ක්‍රිකට් ලෝකයේ අවමන් මැද වනසා දැමෙනු ඇත. නැවත ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සචින් තෙන්ඩුල්කාර් ගාෆිල්ඩ් සෝබර්ස් කුමාර් සංගක්කාර තමන් හිටි තැනට එනු ඇත.

කළ යුත්තේ කුමක්ද? ඇලපතින් එන වේදනාව දරාගනිමින් කොලින් ඩෙනිස් සමරදිවාකර මේසය මත හිස තබා ගත්තේය.

සුජීව කොකාවල 

නව අදහස දක්වන්න