හැමෝ­ගෙම ප්‍රශ්නය | දිනමිණ

හැමෝ­ගෙම ප්‍රශ්නය

බණ්ඩි රාල

චාරිත්‍ර වාරිත්‍ර මොකක් වුණත් අලුත් අවුරුද්ද කියන්නේ හැමෝටම එක එක මාදිලියෙන් විනෝදය සපයන නිමිත්තක්. මේ සැරේ ඒ ආතල් එක කැඩුණේ ‘මීතොටමුල්ල ඛේදවාචකය‘ හින්දයි. ආතල් කඩන එකත් දේශපාලනයක්. මොකද එහෙව් වුණාම මිනිස්සුන්ට ආයෙම හැරිලා බලන්න ‘මිනිසුන්ගේම ඇතුළාන්තයෙන් හොළවලා උස්සලා පොළොවේ ගහනවා‘ වගේ හැඟීමක් දැනෙනවා. මේක අපට විතරක් නෙවෙයි. අපේ බොහෝ දෙනකුගේ සිහින සතුරා වන අමෙරිකාවේත් මේ විදිහටම බලපවත්වනවා.

 ‘සැප්තැම්බර් ප්‍රහාරය‘ කියලා හඳුන්වන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලවුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ බෞඩ්‍ර්ලාද් කියන චින්තකයා කීවෙත් පාරිභෝගික භාණ්ඩ දේවත්වයෙන් සලකන අධිපරිභෝජනවාදී අමෙරිකානුවාට, දුක-වේදනාව කියන දේ අඳුරගන්න ලැබුණු අවස්ථාවක් ඒක කියලා. මීතොටමුල්ලත් එහෙමම තමයි. අපේ අනුරසිරි ලේඛක උන්නැහේ තමයි සිරාම කතාව කියලා තිබුණේ.

‘‘තමන්ගෙ කුණු ටික කොළඹ තියලා ගමේ ගිය උන් අනේ අපොයි කියනවා“ කියලා උන්නැහේ මුහුණු පොතේ සටහනක් තියලා තිබුණා. මේවට ‘කොළඹ කුණු‘ කියලා පොදුවේ කියල දැම්මත් මේවා අවුරුදු දවස් දෙක තුනට විතරක් කොළඹ තමන්ට හිමිවන ‘කොළඹ මිනිස්සුන්‘ ගේ කුණු විතරක් නෙවෙයි. තමන් කන ටොෆියේ ටොෆි කොලය පාරට වීසි කරලා යන හැමෝටමත් මේකට එක වගේ වගකීමක් තියෙනවා. ඒත් ඒ ගැන කල්පනා කරන්න හැමෝටම උවමනායක් නෑ.

‘‘අපේ ප්‍රශ්න අපේ නෙවෙයි කියලා දේශපාලනඥයන්ට විතරක් බාර කරන රටක් නොවැ බන් මේක“ පෙට්ටි කඩේ ළඟදි අමරෙ කීවේ එහෙමයි.

“ඉතිං බන් උන් අපේ ඡන්දෙන් තෝරලා පත්කරලා යවන්නෙ අපේ ප්‍රශ්නවලට උත්තර හොයන්නනේ?“ සිරා කියනවා.

“උන්ට උත්තර හොයන්න දීලා අපි පැත්තකට වෙලා හිටියට හරියන්නෙ නෑ. මොකෝ උන් උත්තර හොයන්නෙ අපේ ප්‍රශ්නවලට විතරයැ. උන්ටත් කෙළ කෝටියක් ප්‍රශ්න නොවැ“ අමරෙ පෙන්නලා දුන්නා.

කතාබහ ඔය විදිහට ඇදිලා යද්දි අපේ පොඩි එකා අයිපෑඩ් එකත් උලුක් කරගෙන ඇවිත් මුහුණු පොතේ සංවාද ගැන අපූරු කතාවක් කීවා.

“අප්පච්චිලා, අමරෙ අංකල්ලා මොනව කීවත් ෆේස්බුක් යාළුවෝ නම් ප්‍රශ්නෙ සෑහෙන්න දුරට විසඳලා තියෙන්නේ“ පොඩි එකා කියනවා. ඒ කොහොමද? කියන ප්‍රශ්නෙ කවුරුවත් ඇහුවෙ නැතත් අහන බවක් ඇඟෙව්වා. හැමෝම තම තමන්ගෙ සද්දෙ වහලා පොඩි එකාට ඇහුන්කන් දෙන්න ගත්තා.

“හොඳම විසඳුම තමයි හැමදේටම විරුද්ධ වෙන එක. කුණු එකතු කරනවාටත් විරුද්ධයි. කුණු බැහැර කරනවාටත් විරුද්ධයි. කළමනාකරණය කරනවාටත් විරුද්ධයි. ප්‍රතිචක්‍රීකරණය කරනවාටත් විරුද්ධයි. කොටින්ම කීවොත් කුණු කීවම විරුද්ධයි.“ පොඩි එකා කීවා.

“අපොයි මං හිතුවා දැන උගත් පොඩි එකා විහිළු කතාවක් නොකියා ඇත්ත විසඳුම් ගැන කියයි කියලා? අමරේ ඥුරු ඥුරු ගෑවා.

පොඩි එකා කියන්නෙ ඇත්ත. ප්‍රශ්නයක් ආවම විරෝධතා පැවැත්වීම කියන්නෙ දැන් විලාසිතාවක්. ඒකට විරෝධාකල්පනික මතවාදයක් නෑ. විරෝධයේ මතවාදය විරෝධය විතරමයි. මේ විරෝධතා පවත්වන හැමෝගෙන්ම ‘ඔයාලා යෝජනා කරන විසඳුම මොකක්ද? කියලා ඇහුවොත් එහෙම එකක් නෑ. උඩබිම බලනවා. උදාහරණයක් විදිහට දොම්පෙ තියෙන්නෙ කසළ කන්දක් නෙවෙයි. කසළ කළමනාකරණ මධ්‍යස්ථානයක්. ඒක හැදුවේ දොම්පෙ මිනිසුන්ගෙ සල්ලිවලින් විතරක් නෙවෙයි.

 කොරියානු ආධාර මිලියන 145කුත්, අපි හැමෝගෙම සල්ලිවලින් මිලියන 150කුත් දාලා තමයි ඒක හැදුවෙ. ඒ කියන්නෙ ඒක අපි හැමෝටම අයිතියි. තැන් තැන්වල කසළ දාලා නැති ප්‍රශ්න ඇති කරන එකයි, අපි හැමෝගෙම සල්ලිවලින් හැදුව කසළ කළමනාකරණ මධ්‍යස්ථානයක නිසි ලෙස කසළ කළමනාකරණය කරනවා කියන්නෙයි එකක් නෙවෙයි දෙකක්. ඒත් විරෝධතා පවත්වන අය දොම්පෙ කසළ කළමනාකරණය කරනවාටත් විරුද්ධයි.

“තමන්ගෙ කුණු තමන්ම කළමනාකරණය කරගත්තානම් ඔය ප්‍රශ්නෙ ජාතික ප්‍රශ්නයක් වෙන්නෙ නෑ“ සිරා කීවා.

“ඒක ඇත්ත. තමන්ගෙ ගෙදර කුණු තමන්ගෙ වත්තෙ කළමනාකරණය කර ගන්නවා. තමන්ගෙ ගමේ කුණු ගමේ කළමනාකරණය කරගන්නවා. ඔය විදිහට ගියොත් රටේම කුණු ප්‍රශ්නය විසඳෙනවා.“ අමරෙත් කීවා.

“ඕක ඉතිං ලස්සන කාරණයක් තමයි. මුලින්ම පවුල. ‘පවුල හදා රට හදමු“ කියලත් කතාවක් තිබ්බනෙ. ඒත් ඉතිං ඕක අපේ ගමටයි, අල්ලපු ගමටයි ඇත්තක් වුණත් රටේ පොදු කාරණයක් හැටියට නම් ගන්න බෑ.“ මං කීවා. එහෙම කීවට මදි කියලා වගේ හැමෝගෙම මූණුවල හැඟිමක් තිබ්බා.

“අපට වගේ හිස් ඉඩම වැඩියෙන් තියෙන ගම්වලට ඕක ප්‍රශ්නයක් නොවුණට නගරෙ එහෙම නෙවෙයි නොවැ. ඉඩකඩ අඩුයි. ගමේ කුණුත් එක්ක ගම්වල එවුන් නගරෙට යන්නෙ. උන් නවාතැන් ගෙන ඉන්නෙ පර්චස් හත අටේ දහයේ පුංචි කෑලිවල. සමහරුන් ඒ කෑලිවලත් ඇනෙක්සි කෑලිවල, බෝඩිං කාමරවල. උන්ට තමන්ගෙ කුණු බැහැර කරන්න තැනක් නෑ. ඉතිං ඒ නගර හැදිල තියෙන්නෙත් අපි වගේ ගම්වලින් ගියපු උන්ගෙන්. නැත්නම් ඒවා නගර වෙන්නෙ නෑ.

එතකොට නගරවල පාලකයන්ටත් ඒ සම්බන්ධයෙන් වගකීමක් තියෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. අනික රටේ පුරවැසියො හැටියට ඉදිකට්ටේ, දෙහිගෙඩියේ ඉඳන් අපි හැමෝම බදු ගෙවනවා. එතකොට රටේ ඉහළම තැන්වලටත් මේක ප්‍රශ්නයක් හැටියට බාර අරන් මැදිහත්විමේ වගකීමක් තියෙනවා.“ මං කීවා.

“තේරෙන සිංහලෙන් කීව නම් මේක අපි හැමෝගෙම වගකීමක්. අපි හැමෝගෙම ප්‍රශ්නයක්.“ පොඩි එකා කීවා.

නව අදහස දක්වන්න