ශ්‍රී ලංකා කාන්තා රගර් පිලට ජාත්‍යන්තර කුසලානයක් | දිනමිණ

ශ්‍රී ලංකා කාන්තා රගර් පිලට ජාත්‍යන්තර කුසලානයක්

ෆවුස් මොහොමඩ්

මෙරට කාන්තා රගර් ක්‍රීඩාවේ නව පිටුවක් පෙරලමින් බොර්නියෝ සෙවන්ස් ආරාධිත සත් සාමාජික රගර් තරගාවලියේ කාන්තා තරග අංශයෙන් කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

රන්දිකා කුමුදුමලීගේ නායකත්වයෙන් මේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කාන්තා රගර් කණ්ඩායම ඊයේ පස්වරුවේ තායිලන්තය සමග පැවැති කුසලාන වටයේ අවසන් මහා තරගයේදී ලකුණු 12-5ක ජයක් අත්කර ගනිමින් මේ ඓතිහාසික වාර්තාව තැබුවේය. ශ්‍රී ලංකා කාන්තා රගර් කණ්ඩායමක් ඕනෑම මුහුණුවරක විදෙස් තරගාවලියකදී කුසලානයක් ජයගත් පළමු අවස්ථාව මෙයවේ.

මේ තරගාවලියේ පිරිමි තරග අංශයෙන් තරග වැදුණු ධනුෂ්ක රන්ජන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලට පළඟ අනුශූරතාව හිමිවිය.

මැලේසියාවේ බෝර්නියෝ හීදී පැවැති මේ තරගාවලියේ කාන්තා තරග අංශයේ අවසන් පූර්ව වටයේ දී මැලේසියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර තායිලන්තය අවසන් තරගයට එක්වූයේ දකුණු කොරියාව පරාජය කරමිනි.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කාන්තා රගර් පිලට රන්දිකා කුමුදුමලී (නායිකා), අනූෂා අත්තනායක, අයේෂා පෙරේරා, අයේෂා කළුආරච්චි, චරනි ලියනගේ, දසුනි ද සිල්වා, දිලිනි කාංචනා, දුලානි පල්ලිකොන්ඩගේ, නදීකා මුණසිංහ, සංජීවනී ද සිල්වා, තනූජා වීරක්කොඩි, වාසනා වීරක්කොඩි ඇතුළත් වූහ.

කාන්තා රගර් පිලේ පුහුණුකරු ලෙස සුදත් සම්පත් මහතා කටයුතු කළේය.

 

නව අදහස දක්වන්න