ශෂි වෙල්ගම යළි රිමාන්ඩ් | දිනමිණ

ශෂි වෙල්ගම යළි රිමාන්ඩ්

සිරන්ජනි කුමාරි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දුනු කොළ ගෙන්වන මුවාවෙන් රුපියල් 125, 830, 735.66ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම ඇතුළු සැකකරුවන් තවදුරටත් මේ මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජේ. ටොස්කි මහතා ඊයේ (06) නියම කළේය.

මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබුවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි ‍ඩිලුම් වෙල්ගම හා නන්දන ඔටෝ ප්‍රඩක්ටිස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එල්. නන්දන ප්‍රියන්ත පෙරේරාය.

සිද්ධියට අදාළව බැංකු ගිණුම් හරහා සිදු වී ඇති ගනුදෙනු සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණයට දන්වමින් පැවසුවේ සැකකරුවන් පොදු දේපළ පනතට අදාළව වරදක් සිදු කර ඇති බවය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් ඉන්ද්‍රවංශ සිරිවර්ධන 2016/11/8 රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් ඉකුත් දෙසැම්බර් 17 රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

තෙවන සැකකරු එස්. වෛද්‍යතිලක නැමැත්තා ඕස්ට්‍රේලියාවට පලා ගොස් ඇති බවත් එහි ලිපිනයන් සම්බන්ධව ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් තවදුරටත් මේ මස 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

 

නව අදහස දක්වන්න