අනේ මගේ පුතේ ! | දිනමිණ

අනේ මගේ පුතේ !

මංජුලා විජයරත්න

පිළිසරණක් සොයාගෙන ගිය සිරියා සරණාගතයින් පිරිසකගේ රැකවරණයෙන් ගිලිහී සාගරය දිය සුළි මැද කැරකෙමින් මාධ්‍යධරණී මුහුදු වෙරළට ගසාගෙන ආ අයිලන් කුර්දි පුංචි පුතාගේ සිරුර ඔබට තවමත් මතක ඇතිවාට සැකයක් නැත.

වෙරළෙහි වැලිවලටද ගැඹුරු මුහුදෙන් නැඟෙන බියකරු රැළි බිඳීමෙන් ශේෂ වන දිය සරැළිවලටද මුහුවුණු තෙහැවිරිදි පොඩ්ඩාගේ සිරුර දකින්නට තරම් අප පවුකාරයන් වී දැයි කියා එදා ඔබට නොසිතුණා නම් එය පුදුමයකි. යුද්ධය, සැහැසිකම්, සහ නිමාවක් නොදකින තවත් බොහෝ දේ ගැන ඒ 2015 වසරේ සැප්තැම්බරයේ දෙවැනි දින සහ ඉන් පසු ගෙවී ගිය දින කිහිපය තුළ අපි බොහෝ දේ කතා කළෙමු. එයින් පසු අයිලන් කුර්දි චූටි පුතා අපේ මතකයෙන් කෙමෙන් කෙමෙන් ඈත් වී යන්නටම ගියත් වේදනාබරිත අයිලන් කුර්දි සිද්ධිය ආයෙත් මේ මිහිමත යථාර්තයක් වී අපේ නෙත් කෙවෙනිවලට අනින බව ඔබ දන්නවාද?. කිසිදා මේ මහා පොළොව මත යථාර්ථයක් නොවිය යුතු ඒ කාලකණ්ණිකම මෙවර සිදු වන්නේ අපට යාබද මියැන්මාරහිය. අවාසනාව වැලඳගෙන තිබෙන්නේ අවුරුදු එකහමාරක් වයසැති මොහොමඩ් ශොහායෙට් පුංචි පුතාය. මොහොමඩ් පුංචි පුතාට මේ රුදුරු ඉරණම අත් වූයේ ද සරණාගතයන් ලෙස ඔහුගේ වැඩිහිටියන් පිළිසරණක් සොයා ගෙන යන ගමන අතර තුරය. දරු දෙදෙනාත් අත ළඟින් අල්ලාගෙන මොහොමඩ් පුතාගේ අම්මා මියැන්මාරයේ සිට බංග්ලාදේශය බලා පිටත් වුණේ දිවි ගලවා ගන්නටය.

මොහොමඩ් පුංචි පුතා අයත් වුණේ මියැන්මාරයේ රඛිනේ ප්‍රාන්තයේ රෝහින්ග්‍යා ජන කොටසටය. රඛිනේ ප්‍රාන්තයේ ජීවත් වන මේ සුළු ජාතික පිරිසට නිජබිම් අරභයා නොවිසඳුණු ගැටලුවක් එදා සිටම පැවැතියේය. ඔවුන් බෙංගාලයේ සිට සිය රටට සංක්‍රමණය වී යැයි මියැන්මාර රජය දිගින් දිගටම කියා සිටී. නමුත් සත්‍යය වශයෙන්ම මොහොමඩ් පුංචි පුතාලාගේ අම්මලා අප්පලා පමණක් නොව එයට එහා පරම්පරා ගණනාවක පිරිසත් ජීවත් වී තිබෙන්නේ මියැන්මාරයේ රඛිනේහිය. මියැන්මාර බලධාරීන් කරන මේ චෝදනාවේ බරපතළකම මොහොමඩ් පුංචි පුතාලාගේ පවුලේ අයට තදින් දැනෙන්නට පටන් ගත්තේ ඉහට උඩින් ප්‍රහාරක යානා ඉගිලෙන විටය. ප්‍රහාරක යානය ඔවුන්ගේ වතුපිටි ගේ දොර විනාශ කරන විට රෝහින්ග්‍යා ප්‍රජාවේ පිරිස් හිස් ලූ ලූ අත දිව ගියහ. සමහරු දරු පවුල් රැගෙන රැකවරණ සොයා මහා කැලෑවලට ගියහ. තවත් සමහරු නොරටකට අනවසරයෙන් යන්නට පිටත් වූහ. කිසිවක් කර කියා ගන්නට අතේ පයේ හයි හත්තිය නැති පිරිස් මියැන්මාර සෙබළුන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරවලට හසුව මියෑදුනහ.

පුංචි මොහොමඩ් පුතාගේ අම්මාත් තාත්තාත් මියැන්මාරයෙන් පිටව යන්නට කල්පනා කරන්නේ මොහමඩ් පුතාගේ අත්තම්මත් සීයාත් මියැන්මාර හමුදාව විසින් පණපිටින්ම ගින්නේ ලා පුළුස්සා දැමීම නිසාය. මේ කෘරත්වයට හසුවුණේ ඔවුන් දෙදෙනා පමණක් නොවන වග පුංචි පුතාගේ තාත්තා - සෆෝර් අලාම් පවසයි.

තම ඥාතීන්ට සිදුවුණු මහා අපරාධය දැක බියට පත් සෆෝර් තම දරු පවුලත් රැගෙන ගමින් ගමට යමින් සැඟවෙමින් සිටියේ අපා දුක් විඳිමිනි. ඔහුට තම පවුලේ අයට දෙන්නට බත් ඩිංගක් සොයා ගන්නට බැරි විය. හතර දවසක් හාමතින් සිටි බව ඔහු කියයි. හය දවසක් නිදා ගන්නට තැනක් නැතිව රස්තියාදු වන්නට ඔහුට සිදු විණ. මේ කරදර මැද අකමැත්තෙන් වුව සෆෝර් සිය පවුලේ අයගෙන් වෙන් වුණේ පවුලේ අයට නාෆ් ගඟ තරණය කර බංගලිදේශයට ඇතුළුවන්නට පාරක් කපා තබමිනි.

එහෙත් ඒ පාර කැපුණේ අන්තිම භයානක විධියටය. සෆෝර්, නාෆ් ගඟට බැස පළමුව පීනා බැලුවේය. බංගලිදේශයට අයත් සීමාවෙන් ඔහු ගොඩගත්තේ බංගලිදේශ ධීවරයෙකි. ඒ මාර්ගය ආරක්ෂා සහගත බව සෆෝර්ට පැහැදිලි වින. අනවසර සංක්‍රමණිකයන් රැගෙන යන බෝට්ටුවකට මියැන්මාරයේ සිටින සිය බිරියත් දරු දෙදෙනාත් නංවන්නට ඔහු එහි සිට කටයුතු සංවිධානය කළේය.

“මම අන්තිමට ඔවුන්ට කතා කළේ දෙසැම්බර් හතර වැනිදා. ඒ වනවිට ඔවුන් ගමන යන්නට සූදානමින් හිටියේ. මගේ බිරිඳ දුරකතනයෙන් කතා කරද්දී මට ඇහුණා පුංචි පුතා තාත්තා තාත්තා කියලා කෑගහනවා.” තාත්තා අතීතය සිහි කරන්නේ දෑස්වල කඳුළු පුරවාගනිමිනි.

මොහොමඩ් පුංචි පුතාට ඒ විපත සිදු වුණේ බෝට්ටුකරු ඉතා ඉක්මනින් සරණාගතයන්ව රැගෙන යන්නට ගත් උත්සාහයේදී බෝට්ටුව ගඟේ ගිලීම නිසාය. උහුලන්නට බැරි තරමේ සෙනඟක් බෝට්ටුවට නැඟ සිටියහ. ඒ අතර වාරයේදී මියැන්මාර පොලීසිය බෝට්ටුවට වෙඩි තබන්නට පටන් ගත්තේය. වෙඩිවලින් බේරෙන්නට බෝට්ටුකරු ගමන් ඉක්මන් කළේය. ඒ අවසරයෙන් බෝට්ටුව පෙරලී ගැඹුරු ගං පතුලට ගිලී ගියේය.

මොහොමඩ් පුංචි පුතාත්, ඔහුට වැඩිමල් තෙහැවිරිදි පුතාත්, බිරියත් සෆෝර්ට අහිමි වන්නේ ඒ විධියටය. සෆෝර් මේ වන විට සිටින්නේ බංගලිදේශයේ ටෙක්නාෆ්හි ලීඩා සරණාගත කඳවුරේය.

“... පුතා මියැදිලා ඉන්න පින්තූරේ දැක්කම මටත් මැරෙන්න හිතුණා. මේ ලෝකේ තවත් මම ජීවත්වෙලා ඉඳීමෙන් පලක් නැහැ. ...” යැයි සෆෝර් මාධ්‍යයට පවසා තිබිණ. සරණාගතයන් ලෙස කැනඩාවට යන ගමනේදී අයිලන් කුර්දි පුංචි පුතා බෝට්ටුව පෙරලීමෙන් ජීවිතක්ෂයට පත්විය. එපරිද්දෙන්ම බංගලිදේශයට සරණාගතයන් ලෙස යන්නට ගිය ගමනේදී මොහමඩ් පුංචි පුතා බෝට්ටුව පෙරළීමෙන් ජීවිතක්ෂයට පත් විය. කුර්දිගේ දේහය මාධ්‍යයධරණී මුහුදු වෙරළේ තැනකට ගොඩ ගසා තිබුණාක් මෙන්ම මොහොමඩ්ගේ දේහය නාෆ් ගං ඉවුරට ගොඩ ගසා තිබිණ. එකම වෙනස කුර්දිගේ සිද්ධියෙන් වසරයි මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ ලෝකයේ තවත් කෙළවරක මොහොමඩ් මිය යෑම පමණි. එහි අරුත අයිලන් කුර්දිගේ මරණයෙන් සංවේගයට පත්ව කැළඹුණු සිටි මිනිසුන් කෙටි කලකින්ම ඒ සිද්ධිය අමතක කර දැමීමද?. නැත්නම් ගුණ ධර්ම මනුෂ්‍යය සමාජයෙන් සදහටම නැසී යාමද ?

CNN ඇසුරෙනි.

නව අදහස දක්වන්න