නිසි සංවර්ධනයකට රට ගෙනයා හැකි නායකයා ජනපති මෛත්‍රීයි | දිනමිණ

නිසි සංවර්ධනයකට රට ගෙනයා හැකි නායකයා ජනපති මෛත්‍රීයි

චන්ද්‍රිකා පෙරේරා
ඡායාරූප - කැලුම් ලියනගේ
උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති හා ශ්‍රීලනිප රත්මලාන ආසන ප්‍රධාන සංවිධායක මොහාන් ලාල් ග්‍රේරු මහතා අදහස් දක්වමින්.

ණය බරෙන් නිදහස්ව රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමට ආයෝජකයන්ට ඉඩදීම අත්‍යවශ්‍ය බවත් වාර්ගික ගැටලුව විසඳා රට නිසි සංවර්ධනයක් වෙත ගෙන යා හැකි එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති හා ශ්‍රීලනිප රත්මලාන ආසන ප්‍රධාන සංවිධායක මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවැසීය.

ව්‍යවස්ථා සංශෝධනයේ දී ශ්‍රී ලංකාවේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාව නැති වෙනවා නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප සියලු දෙනා එළියට බසින බවත් එයට විරුද්ධව නැ‍ඟී සිටින බවත් හෙතෙම අවධාරණය කෙළේය.

මාධ්‍ය සාකච්ඡා මගින් ජනතාව අතර හුඹස් බියක් ඇති නොකර රටේ ඉදිරි සංවර්ධනයට අත දීමට හිටපු නායකයන් ක්‍රියාකළ යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

ගල්කිස්ස සිරිපාල පාර අංක 27 ස්ථානයේ ඊයේ(5) පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී ග්‍රේරු මහතා එම අදහස් පළ කෙළේ ය.

එහි දී ඒ මහතා මෙසේ ද කීය.

2017 වසර රටේ පවතින සමාජීය ගැටලු ප්‍රතිපත්තිමය ප්‍රශ්න සුවිශේෂි නායකයන් හා දේශපාලන නායකයන් එක්ව විසඳන ස්වර්ණමය වසරක් බවට පත්වේවි. අත ලකුණ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ඉදිරියට ජයග්‍රාහී ලෙස ගමන් ගැනීමත් මේ අනුව සිදුවෙනවා. පක්ෂයේ අනාගතය වෙනුවෙන් සුවිශේෂී සැලසුම් සකසා ඉදිරියට ගෙන යනවා. මේ වන විට පක්ෂයට විශාල වශයෙන් ජනතා ආකර්ශනය ලැබී තිබෙනවා.

අලුත් ආණ්ඩුවක් පත්වූ පසු නිසි සැලසුම් ක්‍රියාත්මක වීමට කලක් ගත වුවත් මේ නව ආණ්ඩුව සාමූහිකව අලුත් ප්‍රතිපත්ති, ආර්ථික තීන්දු තීරණ ගැනීමට ප්‍රමාද වුනේ නැහැ. සංවර්ධන සැලසුම් ඇති කළා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවක අවශ්‍යතාව රටට තිබුණත් එය ගෙන ඒම හීනයක්ව තිබිය දී මේ ආණ්ඩුව පත් වුනේ.‍ මේ වන විට කෙටුම්පතක් සැකසී නොතිබුණත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා අදහස් විමසීම දක්වා ඇවිත් තිබෙනවා. කමිටු වාර්තා ඉදිරිපත්ව තිබෙනවා. මිනිසුන්ට කතා කිරීමේ නිදහස අයිතිය තහවුරු වීම නිසා අදහස් ඉදිරිපත් වෙන අතර ගැටුම් මතිමතාන්තර ප්‍රකාශ කෙරෙනවා. ප්‍රවෘත්ති සාකච්ඡා මගින් විවිධ මත රටට ඉදිරිපත් කරනවා.

කෙ‍සේ වුවත් රටේ ඒකීය බව බෞද්ධාගමට ඇති ස්ථානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු විය යුතුයි. පළාත් එකතුවීමේ ප්‍රවණතාව නැතිවිය යුතුයි. ජනාධිපතිවරයාත් එම තීරණයෙ සිටිනවා.

මේ ගැන විවිධ මත දක්වමින් ජනතාව තුළ හුඹස් බියක් ඇති කිරීමට සමහරු උත්සාහ කරනවා.

මේ රටේ ආර්ථික ප්‍රශ්නයට මූලිකම හේතුව නි‍යෝජ්‍ය මුදල් ඇමැති ලක්ෂ්මන් යාපා මහතා පැහැදිලි කළා. ඒ අනුව මේ රටේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 1568යි.

වාර්ෂික ණය රුපියල් බිලියන 1560ක් වෙනවා. රටට ඉතිරිවන්නේ රුපියල් බිලියන අටයි. පසුගිය රජය මෙය දැක්කා ‍.

ණය ආපසු අයකර ගැනීමට සහන කාලයක් දෙනවා. එතෙක් පොලිය පමණයි ගෙවිය යුතු වන්නේ. එම කාලය අවසන් වූ පසු විශාල මුදලක් ණය ලෙස ගෙවිය යුතු නිසා විශාල ආර්ථික අපහසුතාකට පත් වෙනවා. ඒ නිසයි පැවැති රජය ඡන්දයක් පැවැත්වුවේ. ඒ අය එය දුෂ්කර කාර්යය වෙනත් තව කාටවත් පැවරුවාද කියා දැන් හිතෙනවා. කෙසේ වුවත් දුෂ්කර කාලයේ මේ ආණ්ඩුවට කටයුතු කරන්න සිදුව තිබෙන්නෙ.

ආණ්ඩුවේ පක්ෂ දෙකක් ක්‍රියාත්මක වෙන්නේ විවිධ මත ගැටුම් ඇති වුවත් ගැටුම් තුළින් උපදින දරුවා ර‍ටේ බලාපො‍රොත්තු ඉ‍ටුකිරීමේ ඵලය බව විශ්වාසයි. අවසානයේ දී ගැටලුව සුබදායක ලෙස සමතයකට පත්වෙනවා.

පසුගිය කාලයේ ඇතැම් ප්‍රශ්නවලට ඍජුව කාර්යක්ෂමව මුහුණ දෙන්න අවස්ථාවක් තිබුනෙ නැහැ. අද මේ ගැටලු නිරාකරණය හොඳින් සිදුවෙනවා. මේ රජය පත් නොවුනා නම් මානව හිමිකම් ගැටලුවේ අප හිරවීමට ඉඩ තිබුණා. ආර්ථික සම්බාධක පැනවීම ගැන කතා තිබුණා.

‍මොන ආණ්ඩුව ආවත් මේ ණය ගෙවිය යුතුයි. ඒ අතර සම්බාධක වැටුනා නම් අප ජාත්‍යන්තරයේ හිරවූවා නම් රටක් ලෙස අපට ඇතිවන තත්ත්වය ගැටලුකාරී වෙනවා. නමුත් මේ නව ආණ්ඩුව නිසා ඒ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකිවී තිබෙනවා.

මේ ආණ්ඩුව පෙරළීමට හැකි ප්‍රජාතන්ත්‍රවාදයෙන්ම පමණයි. වෙනත් කිසිවකුටත් එය කළ නොහැකියි. මේ රටේ සුබ සිද්ධිය හා ආර්ථික සංවර්ධනය ඇති කිරීමට ආණ්ඩුව මේ තත්ත්වයෙන් ම පවත්වාගෙන යා යුතුයි.

ගැලරියට ඉදිරිපත් කිරීම නොවේ රටට අවශ්‍ය වන්නෙ. යථාර්ථයට මුහුණ දී පිළිතුරු ලබාගෙන රටේ අනාගතය සැකසීමයි කළ යුතු වන්නේ . යථාර්ථයට මුහුණ දී පිළිතුරු ලබාගෙන රටේ අනාගතය සැකසීමයි කළ යුතු වන්නේ. දැන් කොතරම් නිදහසක් ජනතාව භුක්ති විඳිනවාද? කවුරුත් අතුරුදන් වෙන්නේ නැහැ.

හොඳ නරක දෙපැත්තක් තිබෙනවා. නිසි යෝජනාවක් නියම තැනට ඒමට පෙර එය කාඩාදමා සංවර්ධනයට එරෙහිව කකුලෙන් ඇද කඩා දමන වරද කරන්න එපා කියා මා ඉල්ලා සිටිනවා.

ආණ්ඩු පක්ෂයේ සිටින කිසිවකුට වැඩ කරන්න දෙන්නේ නැහැ කියන එක මා පිළිගන්නේ නැහැ. කිසිවෙක් කුමක් කීවත් සත්‍ය කුමක්ද කියා අප සොයා බැලිය යුතුයි. එකට වැඩ කිරීමේ දී සමහර අවස්ථාවල ඇතිවන මානසික මට්ටම් ගැන දැනුමක් තිබිය යුතුයි. හිත රිදෙන තැනක් ආවොත් අපි රටට වැඩ කරන්නෙ කියා හිතට ගත යුතුයි. අපි රට ජනතාව වෙනුවෙන් වැඩකරන්නෙ. පක්ෂ පාට ඉක්මවා පෞද්ගලිකත්වය ගැන නොසිතා රාජතාන්ත්‍රික බව ඇතිකරගෙන නිසි තීන්දු ගත යුතුයි. රටේ ඔඩු දුවපු, ඓතිහාසිකව පීඩා ගෙන දුන් ප්‍රශ්න හඳුනාගෙන ඒවා නිරාකරණය කරගත යුතුයි.

ශ්‍රිලනිපය අත ලකුණෙන් ඉදිරි මැතිවරණය තරග කර ජයගැනීමට මේ වන විටත් සංවිධාන වී අවසන්.

යුරෝපා මත්ස්‍ය තහනම හා බදු පැනවීම් ඉවත්කර ගැනීමේ කටයුතු දැන් සිදුවෙනවා. මේ අනුව රටේ සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාමට පහසු වෙනවා.

එජාපයත් නව වරායන්, ගුවන්තොටුපල හා මහා මාර්ග ආදී සංවර්ධන කටයුතු 1970 ගණන්වල සිට කතා කළා. 'යළි පුබුදමු ශ්‍රී ලංකා' කියා සැලසුම් කළෙත් ඒ සඳහායි. කවුරු මේ දේවල් සැදුවත් ඒවා සංවර්ධන කාර්යයට යොදා ගැනීමේ ඉදිරි සැලසුම් ලාබ ලබා ගැනීම ගැන ඉලක්ක තිබෙනවා.

මෙරට ඓතිහාසික වටිනාකම් හා සංස්කෘතිය ආදී සියලු වටිනාකම් ආරක්ෂාකර ගනිමින් නිහඬ සංවර්ධන කාර්යයට අප යා යුතුයි‍. මේ කිසිවක් නැති වෙන්න අප ඉඩ දෙන්නේ නැහැ.

යුද්ධය අවසන් කළාට වාර්ගික හා ආගම් වශයෙන් මේ රට බෙදී නැතැයි කිසිවකුට කිව නොහැකියි. මෙවැනි පසුබිමක් මත ජනතාව අතර හුඹස්බියක් ඇති කෙරෙන මාධ්‍ය සාකච්ඡා පවත්වනවාද නැතිනම් රට ඉදිරියට ගෙන යාමට නිසි ක්‍රියාකාරීත්වයක් ඇති කරනවාද යන්න සිතා බැලිය යුතු කාලයක් තිබෙන්නෙ. මේ වෙනුවෙන් රටට නියම නායකත්වයක් මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දෙනවා.

අදහස් කෙසේ ප්‍රකාශ වුනත් ඒ තුළ ඇති යථාර්ථය අප හඳුනාගත යුතු වෙනවා. කුමන නමකින් මේ රටට ආයෝජන ගෙනාවත් එයින් අලුත් රටට සුදුසු දෙයක් ඉගෙන ගැනීමට හැකිනම් රැකියා උත්පාදනය වෙනවා නම් එය පිළිගත හැකි අතර සත්‍ය නිවැරදි දේ අප ක්‍රියාත්මක කළ යුතුයි. මහජන මුදල් නාස්ති වෙනවා නම් එයට අප විරුද්ධ වෙනවා.

මම දේශපාලනයට ආවෙ එජාපයෙන් නමුත් අද මම මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිටින්නේ.

හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධ විවාදයක් පැවැත්විය යුතුයි. එක් එක් අය විවිධ අදහස් දක්වනවා. හම්බන්තොටින් ඉඩම් අක්කර 15000 දෙනවා යන්න රාජිත මහතාගේ අදහසක්. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවැරදි තීරණය නිසි වෙලාවට ගන්නාවා.

ආණ්ඩුව ඇතුළෙ වන විවිධ මත ගැටුම් නිසා අවසානයේ දී හොඳ තීරණයකට එළඹිය හැකි වෙනවා. ඒ තත්ත්වය රටට හොඳයි. අපේ බලාපොරොත්තුව ආණ්ඩුව පෙරළීම නොවේ. රට ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යාමයි අවශ්‍යතාව. විවිධ මත පළ නොකර රටේ සංවර්ධනය වෙනුවෙන් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් අප සමඟ එක්වන ‍ලෙස මා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද ඉල්ලීමක් කරනවා.

නව අදහස දක්වන්න