ශෂී වෙල්ගම යළි රිමාන්ඩ් | දිනමිණ

ශෂී වෙල්ගම යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රුපියල් 125,830,735.66ක මුදලක් වංචා කර සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂී දිලුම් වෙල්ගම මහතා තවදුරටත් මේ මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජේ. ටොස්කි මහතා ඊයේ (5) නියම ක‍ෙළ්ය. සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් පවත්වන බවත් ඊට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති බවට රහස් පොලිසිය ඊයේ (5) අධිකරණයට වැඩිදුර වාර්තාවක් මඟින් දැනුම් දුන්නේය. සැකකරුවන්ට එරෙහිව 1982 පොදු දේපළ පනත හා දණ්ඩනීති සංග්‍රහයේ 113 (ආ) 102, 386, 389, 400 වගන්ති අනුව රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු දක්වා තිබිණ.

2010 වසරේ සිට 2015 දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දුනු කොළ සැපයීම මගින් මෙම රුපියල් 125,830,735.66 මුදල වංචා කර ඇති බවට රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණ.

ව්‍යාජ ලිපි පදනම් කරගෙන නන්දන ඔටෝ ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම වෙත මෙම මුදල් සාවද්‍ය ලෙස ගෙවීම් කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

සැකකරුවන් වෙනුවෙන් සුවිශේෂි කරුණු ඉදිරිපත් කරමින් මීට පෙර ඇප ඉල්ලා තිබුණ ද පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් ඇප දීම ප්‍රතික්ෂේප කර තිබිණ. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර ශෂී දිලුම් වෙල්ගම හා ලියනගේ නන්දන ප්‍රියන්ත යන අය තවදුරටත් මේ මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය. 

නව අදහස දක්වන්න