සරසවි අනධ්‍යයන සේවකයෝ වැඩවරති | දිනමිණ

සරසවි අනධ්‍යයන සේවකයෝ වැඩවරති

සමන්මලී ප්‍රියශාන්ති

සියලුම විශ්වවිද්‍යාලවල සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක සියලු ආයතනවල අනධ්‍යයන සේවකයෝ අද (27) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

අනධ්‍යයන සේවකයන් වෙනුවෙන් ලබා දෙන හිලව් දීමනාව ලබා ගැනීම, වැටුප් විසමතාව ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ මෙහෙයවීමෙන් මෙම වැඩවර්ජනය සංවිධාන කෙරේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගම් 24 ක් මෙම කමිටුවට එක්ව සිටින අතර මෙම වැඩවර්ජනය හේතුවෙන් කිසිදු විශ්වවිද්‍යාලයක හෝ අදාළ ආයතනයක කිසිදු රාජකාරී කටයුත්තක් සිදු නොවන බව කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා 'දිනමිණ' ට පැවැසීය.

අනධ්‍යයන සේවක ගැටලු සම්බන්ධයෙන් මාස අටක කාලයක් ලක්ෂ්මන් කිරිඇල්ල හා මොහාන් ලාල් ග්‍රේරු මහත්වරු හා වෙනත් නිලධාරීන් සමඟ විවිධ සාකච්ඡා පැවැත් වු නමුත් කිසිදු විසඳුමක් නොලැබුණු බව පැවසූ ඒ මහතා, මේ සියලු දෙනා අනධ්‍යයන සේවකයන්ගේ ගැටලු විසඳිය යුතු බවට පිළි ගෙන තිබෙන බව ද කීවේය.

මේ ගැටලු විසඳීමට රජයට අවශ්‍ය තරම් කාලය තිබු නමුත් මෙතෙක් ඒ සඳහා අවධානය යොමු කර නැති බව ද පැවැසීය.

අද සිට වැඩවර්ජනය පැවැත්වෙන කාලය පුරාම කිසිඳු විශ්වවිද්‍යාලයක හෝ ආයතනයක දේශන, පර්යේෂණ කටයුතු, විභාග කටයුතු ආදී කිසිවක් සිදු නොවන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය ද සිය ඉටු නොවු ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

නව අදහස දක්වන්න