පුතා වෙනුවෙන් උතුම් තෑග්ගක් | දිනමිණ

පුතා වෙනුවෙන් උතුම් තෑග්ගක්

සන්ධ්‍යා කරුණාරත්න

පිළිකා රෝගීන්ගේ අපේක්ෂා දැල් වූ අපේක්ෂා රෝහලේ ස්කෑන් යන්ත්‍රය

එම්. එස්. එම්. මොහොමඩ් මහතාගේ මුහුණෙහි සිනාවක් ඇති වුණේ කාලයකට පසුවය. එය ව්‍යාජ සිනහවක් නොවීය. හදවත පතුලෙන්ම ඇති වූ ඒ සතුට මුහුණෙන් පෙනුණේ PET ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට අවශ්‍ය රුපියල් කෝටි 20ක මුදල එක් වූ දා ය. මහරගම අපේක්ෂා රෝහල වෙත PET ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට ඔහු කදීජා පදනමෙහි සභාපති ලෙස ඉදිරිපත් වූයේ පිරිසිදු සිතුවිල්ලකින් යුක්තවය. ඒ සිතුවිල්ලෙහි පාරිශුද්ධභාවය නිසාම ඔහුගේ සිහිනය සැබෑවීමට ගත වූයේ මාස තුනක් වැනි කෙටි කාලයකි.

වර්තමානය වනවිට පිළිකා රෝගය වසංගතයක් බවට පත්වෙමින් තිබේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ තිසාගෝතමියට දේශනා කළේ නොමැරුණු ගෙයකින් අබ ඇටයක් රැගෙන එන ලෙසය. නමුත් උන්වහන්සේ අද වැඩ සිටියා නම් දේශනා කරන්නට වනුයේ පිළිකා රෝගයට ගොදුරු නොවූ ගෙයකින් අබ ඇටයක් ගෙනෙන ලෙසය. ඒ තරමටම වර්තමානයේදී පිළිකා රෝගය ව්‍යාප්තවෙමින් පවතියි. පුද්ගලයන්ගේ ජීවන රටාවෙහි සහ ආහාර ‍රටාවෙහි පවතින විකෘතිභාවය ඊට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ. ඒ කෙසේ වෙතත් රෝගය ව්‍යාප්තවීම වළක්වා ගැනීමට පියවර ගත යුතු අතරම රෝගයට ගොදුරු වූවන්ට ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය වේ. මරණයත් සමඟ ජීවත්වන රෝගයක් ලෙස පිළිකාව හැඳින්විය හැකිය. තමන්ගේ එකම දරුවා මෙවැනි රෝගයකට ගොදුරු වුවහොත් දෙමාපියන්ට කුමක් සිතෙන්නේද? ඒ දුක කෙසේ වාවා ගන්නද? මොහොමඩ් මහතාගේ එකම පුතා මේ රෝගයට ගොදුරුව සිටියි. කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් මහතාගේ ජීවිතය ඔහුගේ දෙපා මුල කඩා වැටෙන්නට ගත වූයේ එක් නිමේෂයකි. ඒ තම පුතා පිළිකා රෝගයට ගොදුරුව සිටින බව වෛද්‍ය වාර්තාවලින් පෙන්වා දුන් මොහොතය. සැබැවින්ම එදා ඔහුගේ නිවස මළ ගෙදරක් බවට පත්විය. හඬන්නට දෑසෙහි කඳුළු මදි විය. මුදල් කියන්නේ ජීවිතය හෝ සතුට නොවන බව ප්‍රත්‍යක්ෂ විය. කෝටි ගණන් මුදල් වියදම් කරමින් රට රටවලට ගොස් පුතාට ප්‍රතිකාර කරන්නට පටන් ගත්තේය. ලංකාවට පැමිණ රුපියල් කෝටි හයක් පමණ වියදම් කරමින් පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර කරන්නට විය. අවසානයේ මහරගම පිළිකා රෝහලට යාමට සිදුවූයේද ප්‍රතිකාර ලබාගැනීම සඳහාය. මහරගම අපේක්ෂා ‍රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් ඔහු දුටුවේය. ඔවුන්ගේ දුක වේදනාව දුටුවේය. මේ රෝගයට ගොදුරු වූ දුප්පත් අහිංසක රෝගීන් පෞද්ගලික අංශයට ගොස් පරීක්ෂණ කරගැනීමට මුදල් නොමැතිව විඳින වේදනාව ඔහු දුටුවේය. විශේෂයෙන්ම PET ස්කෑන් පරීක්ෂණ කර ගැනීමට නොහැකිව මරණය කරපින්නාගෙන නිවෙස්වලට යන රෝගීන් ඔහු දුටුවේය. මේ සියලු දුක් වේදනාවන් මත ඔහුට කදිම සිතුවිල්ලක් පහළ විය. රෝහලට අවශ්‍ය PET ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම ඔහුගේ සිතුවිල්ල විය. ඒ අනුව රෝහල, සෞඛ්‍ය අමාත්‍යංශය සහ කදීජා පදනම එක්ව රුපියල් කෝටි 20ක් වටිනා මේ යන්ත්‍රය මිලදී ගැනීමට ගිණුමක් ආරම්භ කළේය. මේ යන්ත්‍රය මිලදී ගැනීමට අවශ්‍ය මුදල මහජනතාවගෙන් එක් කිරීමට ලංකා බැංකුවෙහි ගිණුමක් ආරම්භ කිරීමට මුල්ම සංකල්පය ඉදිරිපත් කළේ කදීජා පදනමෙහි සභාපති ලෙස මොහොමඩ් මහතාය. රුපියල් කෝටි 20 මාස නවයක් තුළදී සොයාගැනීම ඔවුන්ගේ සැලසුම විය. නමුත් එම මුදල මාස තුනක් ගත වනවිට ලැබී අවසානය. මෙම සද්ක්‍රියාවෙහි ප්‍රතිඵලය මාධ්‍ය වෙත දැනුම් දෙමින් ඔහු සතුටු කඳුළු වැගුරුවේ රැස්ව සිටි සෙසු පිරිසගේ දෑස්වලටද කඳුළක් දෙමිනි. පියෙකු වශයෙන් තමා විඳි දුක් වේදනාවන් තවත් පියෙකුට උරුම කර ‍ෙනාදීමේ තිර අදිටනින් ආරම්භ කළ මේ සද්ක්‍රියාව මල්ඵල ගැන්වී හමාරය. අපේක්ෂා රෝහලට විශාල අඩුපාඩුවක්ව පැවැති PET ස්කෑන් යන්ත්‍රය තවත් මාස කිහිපයකින් මිලදී ගැනීමට නියමිතය. මේ කාර්ය සඳහා මාධ්‍යය ද අපමණ වෙහෙසක් දැරීය. ජනතාව අතරට මේ පණිවුඩය ගෙනයමින් කළ මෙහෙය මොහොමඩ් මහතා ඉතා නිහතමානීව මතක් කරන්නේ, මාධ්‍ය නොමැති නම් මේ ක්‍රියාව කළ නොහැකි බව පවසමිනි.

PET ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් එකතු වී හමාරය. යන්ත්‍රය මිලදී ගැනීමේ ඉතිරි වැඩ කොටස සෞඛ්‍ය අමාත්‍යංශයට භාර වී තිබේ. අහිංසක දුප්පත් ජනතාව ඉතා අමාරුවෙන් ලංකා බැංකුවට ගොස් ගිණුමට තැන්පත් කළ රුපියල් 50,100 මුදල වියදම් කළ යුත්තේ ඉතාම විනිවිද භාවයකිනි. ඒ වගකීම හරිහැටි ඉටුකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් සිතට ගත යුතුයි. හැකි ඉක්මනින් මේ යන්ත්‍රය මිලදී ගෙන රෝහලේ ස්ථාපිත කළ යුතුය.

අපේක්ෂා රෝහලට අවශ්‍ය මානව සම්පත් නො අඩුව පවතියි. ඊට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම යුගයේ අවශ්‍යතාවය බවට පත්ව තිබේ. වසර 2020 වනවිට ආසියාවේ හොඳම පිළිකා රෝහල බවට අපේක්ෂා රෝහල පත් කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය වනුයේ සියලු ජාතීන්ගේ එකමුතුව පමණක් බව මොහොමඩ් මහතාගේ අදහස වේ. ඒ අදහස සනාථ වී තිබේ. මොහොමඩ් මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ PET ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල රුපියල් කෝටි 20 ලබාදීමට දායක වූ 70,000 ක් පමණ වන මෙරට මහජනතාව මොහොමඩ් මහතාගේ ජාතිය, ආගම සොයා නොබැලුවේය. PET ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට අමතරව මෙරට ජනතාවගේ සහජීවනය අප නොදැනුවත්වම මෙහිදී ස්ථාපිත වී තිබේ. ජාති, ආගම්, කුල භේද නොතකා සියලු ජනතාව එකමුතු වන්නේ නම් කිසි කෙනෙකුට සෙලවිය නොහැකි රටක් බවට ශ්‍රී ලංකාව පත්කළ හැකි බව මොහොමඩ් මහතාගේ අදහස වේ. කදීජා පදනම මඟින් මේ PET ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමේ සංකල්පය සමාජගත කර එහි ප්‍රතිඵල ලැබුවා සේ වෙනත් පදනම්වලටද මෙවැනි සමාජ සත්කාරයන් සිදුකළ හැකි බව මොහොමඩ් මහතා පවසයි. කරාපිටිය, රාගම, මහනුවර වැනි රෝහල් තෝරාගනිමින් එම රෝහල්වල අඩුපාඩු මොනවාද යන්න සොයා බලා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානවලට හැකි නම් එම අඩුපාඩු බෙදාගනිමින් ලබාදීමට මෙරට රෝහල් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කළ හැකිය. රෝහල්වල අඩුපාඩු රාජ්‍ය මට්ටමින් සපයන තුරු බලා නොසිට එක් එක් පදනම් හෝ සංවිධාන හරහා ලබාදීමට කටයුතු කරන්නේ නම් මෙරට දුප්පත් අහිංසක ‍රෝගීන්ට විශාල සහනයක් වනු ඇත.

මෙම සද්කාර්ය ඉටුකරගැනීමට උදව් උපකාර කරමින් මහජනතාව අතරට පණිවුඩය ගෙනයෑමට කටයුතු කළ ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න මහතා සහ සියලු මාධ්‍ය වෙත විශේෂ ස්තුතිය. ආයතනයේ පුවත්පත් කතුවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට කදීජා පදනම සිය විශේෂ ස්තුතිය පළ කරයි.

නව අදහස දක්වන්න