අලුත් අවුරුද්දට පෙර පුංචි ඡන්දය පවත්වනවා | දිනමිණ

අලුත් අවුරුද්දට පෙර පුංචි ඡන්දය පවත්වනවා

ස්වර්ණා විජේකෝන්, සුභාෂිණී සේනානායක සහ සන්ධ්‍යා කරුණාරත්න

2016 වසරේ සිංහල අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) පැවසීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවසීය. මෙහිදි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතාද ලබන මාර්තු 31 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන්නේදැයි අගමැතිවරයාගෙන් විමසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා:-

ඡන්ද ක්‍රමය පිළිබඳව තීරණයක් ගන්න සාකච්ඡා කරනවා. අපි පාර්ලිමේන්තුවේ දී තීරණයක් ගනිමු. පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට විසිපහක් කාන්තාවන්. මේ ක්‍රමය යටතේ වුවමනා නම් සියයට සියයක් කාන්තා නියෝජනය වෙන්න පුළුවන්. එහෙත් සියයට හැත්තපහයි උපරිම පිරිමි නියෝජනය.ඡන්ද ක්‍රමය ගැන සාකච්ඡා කෙරෙනවා.ජාතික ලැයිස්තු ක්‍රමයත් තිබෙනවා.මේ පිළිබඳව සාකච්ඡා කරමු. මැතිවරණය සිංහල අවුරුද්දට කලින් පැවැත්වීමට අවශ්‍යයි.ඒ වගේම කාන්තා නියෝජනය සියයට විසිපහකින් වැඩිකිරීමට අදාළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.මෙය ලබන ජනවාරි මාසයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට පුළුවන්.එමෙන්ම මෙය දැනටමත් කෙටුම්පත් කර තිබෙනවා.මීට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරනවා.

මේ පිළිබඳ පළමු කියැවීම සිදුකරන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් දෙසැම්බර් 19 වැනිදාට පෙර ප්‍රකාශ කරන්නට පුළුවන්.පළාත් පාලන ආයතන නියෝජිතයින් සමඟ අද සාකච්ඡාවක් සිදු කෙරෙනවා.ඒ පිළිබඳව හා පළාත් පාලන මැතිවරණය පිළිබඳ ‍තොරතුරු මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 

නව අදහස දක්වන්න