මැතිවරණ නිරීක්ෂණයට යුරෝපා‍ සංගමයේ සහාය | දිනමිණ

මැතිවරණ නිරීක්ෂණයට යුරෝපා‍ සංගමයේ සහාය

මහින්ද අලුත්ගෙදර

 ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් සහායදීමට යුරෝපා සංගමය තීරණය කරයි.

මෙම මැතිවරණ නිරීක්ෂණය වෙනුවෙන් පූර්ණ සහාය ලබාදීමට පියවර ගෙන තිබෙන අතර ඒ වෙනුවෙන් නිරීක්ෂණ කණ්ඩායමක් නම් කිරීමට පෙරේදා (14) තීරණය කළ බව යුරෝපා‍ සංගම් තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය එළඹෙණ අගෝස්තු මස 17 දා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජික ක්‍රිස්ටියන් ප්‍රිඩා මහතා ඇතුළු කණ්ඩායමක් නම් කර තිබෙන බවද එහි නිරීක්ෂණ කටයුතු සඳහා තම නියෝජිත කණ්ඩායම ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද එම තානාපති කාර්යාලය කියයි.

ශ්‍රී ලංකාවේ ආරාධනයට යහපත් ප්‍රතිචාර දක්වමින් යුරෝපීය සංගමය නැවත වරක් මැතිවරණ නිරීක්ෂණය සඳහා එක්ව සිටින අතර ඒ වෙනුවෙන් නිරීක්ෂණ කණ්ඩායමක් යෙදවීමට තීරණයකර තිබෙන බවද මෙවර මැතිවරණ ක්‍රියාවලිය විවෘතභාවය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බව යුරෝපා සංගමයේ ආරක්ෂක හා විදේශ කටයුතු පිළිබඳ ඉහළ පෙළේ නියෝජිත ෆෙඩ්රිකා මොගෙරිනි මහත්මිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ නීති හා රෙගුලාසිවලට ගරු කරමින් විනිවිදභාවයකින් යුතුව හා කිසිවෙකුගේ මැදිහත්වීමකින් තොරව මැතිවරණ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහත්මිය පෙන්වා දෙයි.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය වෙනුවෙන් යුරෝපා සංගමය විසින් විශේෂඥයන් අට දෙනෙකු යෙදවීමට තීරණයකර තිබෙන අතර ඊට අමතරව දීර්ඝ කාලීනව විමර්ශන කටයුතු වෙනුවෙන් 18 දෙනෙකු යෙදවීමට තීරණයකර තිබෙන බවද යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිස්ටියන් ප්‍රිඩා මහතා ප්‍රකාශ කරයි.

මේ අතර මැතිවරණයට ආසන්න දින කිහිපයේ දී තවත් නිරීක්ෂණකයන් 28 දෙනෙකු යෙදවීමට තීරණයකර තිබෙන බව ප්‍රකාශ කරන ඒ මහතා ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නිරීක්ෂණ කටයුතු සිදුකරන බවද කියා සිටී.

මෙම විශ්ලේෂණය එවැනි නීතිමය රාමුව, මැතිවරණ පරිපාලන කාර්ය සාධනය, දේශපාලන ප්‍රචාරක කටයුතු, මූලික නිදහස , මාධ්‍යවල හැසිරීම, ඡන්ද ගණන් කිරීමේ හා ප්‍රතිඵල ඉදිරිපත් කිරීමේ අංශ සැලකිල්ලට ගෙන මේ නිරීක්ෂණ කටයුතු සිදුකරන බවද ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සඳහා වන මූලධර්මවලට අනුව මෙය සිදුකරන බවද යුරෝපා සංගම් තානාපති කාර්යාලය කියයි.

නව අදහස දක්වන්න