ප්‍රභූ ඇඳුමේ විලාසිතාවක් වූ ආයුධ | දිනමිණ

ප්‍රභූ ඇඳුමේ විලාසිතාවක් වූ ආයුධ

වසර දෙදහස් පන්සියකට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ලක් ඉතිහාසයේ අතීත රජවරුන්, ප්‍රභූන් ආදි ඉහළ පැලැන්තිය විවිධ, විසිතුරු වූ ඇඳුම් ආයිත්තමින් හැඩ වූයේ සාමාන්‍ය වැසියන්ගෙන් වෙන්ව ස්වකීය තත්ත්වය සහ පෞරුෂය ඉස්මතු කරවා ගැනීමටය. එසේම සාමාන්‍ය වැසියන්ට එම ඇඳුම් ආයිත්තම් භාවිත කිරීම සපුරා තහනම් විය. ඇඳුම් ආයිත්තම් ඇඳීමේදීත් පැලඳීමේදීත් ප්‍රභූන් අතර පැවැති උස් පහත් භේදය අනුව ඒවා ඇඳීම පැලඳීම එකිනෙකට වෙනස් මුහුණුවරක් ගත්තේය. ප්‍රභූවරු මේ ඇඳුම් පැලඳුම් ඇඳීමේදී, පැලඳීමේදී සිය ඇඳුමට විවිධ ආයුධ එක්කර ගැනීමටද කටයුතු කළහ. ඒවාද සිය තත්ත්වයේ උස් පහත් මට්ටම අනුව එකිනෙකට වෙනස් විය.

රජවරු පැලඳි මඟුල් කඩුව

රටේ ප්‍රධාන රජතුමාගේ රාජකීය ඇඳුමට එක් කෙරුණු ප්‍රධානම අංගයක් වන්නේ මංගල කඩුවයි. සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා රජතුමා සිය රාජකීය ඇඳුමේ අනිවාර්ය අංගයක් ලෙස එය භාවිත කර තිබේ. මෙය බොහෝවිට රන් ලෝහයෙන් සෑදවීම සාමාන්‍ය සිරිත විය. රනින් සෑදු කඩුවේ මිට සහ එය බහාලන ලද කොපුව ද රනින්ම නිමවා තිබුණි. රාජකීය ඇඳුමට උඩින් උරහිසේ සිට පපුව හරහා පැලඳ ගත් රන් පටියක වම් පැත්තට වන්නට ඉණ ආසන්නයෙන් මේ මංගල කඩුව පැලඳීම සාමාන්‍ය සම්ප්‍රදාය විය.

උඩරට යුගයේ ප්‍රභූන් පැලඳි කොපුවක් සහිත පිහිය

මහනුවර යුගය, ආයුධ භාවිතය ඉතාම දියුණු මට්ටමක පැවැති යුගයක් විය. විදේශීය ආක්‍රමණ සහ ඔවුන්ගෙන් නිරන්තරයෙන් එල්ලවුණ සතුරු කරදර, විපත් නිසා එකල ස්වාධීනව පැවැති මහනුවර රාජධානියේ ආරක්ෂාව වෙනුවෙන් එකල ප්‍රභූවරු කස්තාන, කඩු, පිහි ආදිය සිය ඇඳුමේම අංගයක් බවට පත් කරගෙන සිටියහ. ඒ අනුව උඩරට රාජ සභාවේ උසස් නිලධාරිහු සිය රාජකාරි සංකේතයක් ලෙස කොපුව සහිත පිහියක් හෝ කඩුවක් පැලඳීම හෝ සිදු කළහ. කොපුවක බහාලන ලද මේ කඩුව හෝ පිහිය ප්‍රභූ ඇඳුමේ ඉණ වටා බඳින ලද පටියට හිර වෙන්න පැලඳීම සාමාන්‍ය සම්ප්‍රදාය විය. ඇතැම් නිලධාරීන් සිය ඇඳුමට ඉහළින් දකුණු උරහිසේ සිට පපුව හරහා දැමූ පටියක කඩුව එල්ලාගෙන සිය ගමන්බිමන් සිදු කළ බව අතීත පතපොතේ සඳහන් වෙයි. මහනුවර යුගයේ භාවිත කළ මේ කඩු, කස්තාන බොහෝමයක් මැණික්, රන්, රිදී, පිත්තල, ඇත් දළ වැනි අධික මිලකින් යුතු වටිනා දේ යොදා හැඩවැඩ කර තිබූ බව ද ඉතිහාසයේ සඳහන් වී තිබේ. එසේම එක් එක් නිලධාරීන්ගේ තනතුරු තානාන්තරවල උස් පහත්කම අනුව ඔවුන් භාවිත කළ ආයුධ සරසන ලද ද්‍රව්‍යවල වටිනාකමද වෙනස් විය.

වේවැල

මහනුවර යුගයේ රාජකීයත්වය සංකේතවත් කරන්නට වේවැල ද භාවිත කර තිබේ. ඒ අනුව රජතුමාගේ සිට රාජ සභාවේ ඉහළ තනතුරු දැරූ ප්‍රභූවරු රාශියක්ම එකිනෙකට වෙනස් වූ වේවැල් සිය ඇඳුමේ අංගයක් ලෙස භාවිත කර ඇත. රටේ මහ රජතුමා විසින් රන් ලෝහාලේපයෙන් මෝස්තර කරන ලද වේවැලක් භාවිත කර තිබේ. අදිකාරම්වරු භාවිත කර ඇත්තේ රිදී ලෝහාලේපයෙන් මෝස්තර දමා හැඩ වැඩ කෙරූ වේවැලකි. අදිකාරම්වරුන්ගේ පණිවිඩ, නියෝග ආදිය, දිසාව බාර දිසාවේවරුන්ට රැගෙන ගිය කටුපුරුල්ලේ නම් නිලධාරීන් සිය රාජකාරි කටයුතු සඳහා ගමන් කිරීමේදී රිදී මිටක් සහිත කොපුවක බහාලිය හැකි පරිදි ඉහළ නැවුමක් සහිත වේවැලක් සිය ඇඳුමේ පැලඳි බව ඉතිහාසයෙහි සඳහන් වෙයි.

සුළු නිලධාරින්ගේ ඇඳුම් සැරසූ සරල ආයුධ

මහනුවර යුගයේ රජයේ ලේකම්වරු හැඳින්වූයේ මොහොට්ටාල නාමයෙනි. ඔවුන්ගේ ඇඳුමේ කුඩා කඩුවක් මෙන්ම අතේ කැටයම් සහ සැරසිලි සහිත සැරයටියක් ද දැක ගත හැකි විය. එපමණක් නොව, අව්වෙන් ආරක්ෂා වීම සඳහා නිතරම අව් අත්තක් ද ඔවුන්ගේ අතේ රැඳුණි. ඊට අමතරව ලක්දිව බ්‍රිතාන්‍යයට යටත්ව පැවැති එම යුගයේ යටත් විජිත පාලනයට පක්ෂපාතීත්වය දැක්වූ පහතරට ප්‍රදේශවල විසූ අයට හිමි වූ මුදලි, මුහන්දිරම්, කෝරාල, ආරච්චි, මුලාදෑනි වැනි තනතුරු දැරූ නිලධාරින්ගේ ඇඳුමේ කඩු, කස්තාන, පිහි ආදිය ප්‍රධාන අංග විය.

සේයාරූ අන්තර්ජාලයෙනි..

පසිඳු මිහිරාන් රැටියල

නව අදහස දක්වන්න