සීතාවක රාජසිංහ රජු මිය ගියේ උණ කටුවේ විස නිසාම ද? | දිනමිණ

සීතාවක රාජසිංහ රජු මිය ගියේ උණ කටුවේ විස නිසාම ද?

‘මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණා, ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා’ ලෙසින් ජනප්‍රවාදයේ මෙසේ හඳුන්වන්නේ ලක් පොළොවෙන් බිහිවූ විශිෂ්ටම රණශූරයෙක් ලෙස සැලකෙන පළමුවන රාජසිංහ රජු හෙවත් සීතාවක රාජසිංහ රජු පිළිබඳවය. ලක් දෙරණ මත පරංගි දණගස්සවා, ඔවුන්ට දරුණුතම පරාජයක් අත්කර දීමට සමත් වූ රාජසිංහ රජුගේ වීරත්වය හා යුද ශක්තිය පිළිබඳ ඔහුගේ සතුරන් පවා නොපැකිළිව පිළිගනු ලැබුවේය.

මහාවංශයේ සඳහන් වන අන්දමට රජවරු 182ක් රජකම් කළ ලංකාද්වීපයේ 73 වැනි රජු ලෙස සීතාවක රාජසිංහ රජු හඳුන්වයි. කෝට්ටේ රාජධානියට අයත් සීතාවක ප්‍රදේශයේ රජකම් කළ මායාදුන්නේ රජුට දාව 1530දී බිහිවූ කුඩා රාජසිංහ, මුල් කාලයේ හැඳින්වූයේ ‘ටිකිරි කුමරු’ ලෙසයි. එවකට ඉතා දරුණු ලෙස පැවැති පෘතුගීසි පීඩන කුඩා ටිකිරි කුමරුට ඉතා තදින් බලපෑවේය. ඒවාට මුහුණ දෙමින් කෙසේ හෝ පරංගීන් මෙරටින් අතුගා දැමීමේ අධිෂ්ඨානය ඔහු තුළ වැඩෙන්නට විය. කල්යත්ම තරුණ වියට පත් ටිකිරි කුමරු, එනම් 1581දී රාජසිංහ රජු බවට පත් වීමත් සමඟ, පෘතුගීසීන්ට ඔහු මහත් හිසරදයක් විය. එය සනාථ කරමින් වරින්වර දරුණු පරාජයන් ගණනාවකට මුහුණ දීමට පරංගීන්ට සිදු වූයේ, රාජසිංහ රජු තව තවත් වීරත්වයට හා ජනප්‍රසාදයට පත් කරමින්ය.

මේ නිසාම කඩවර යක්ෂයාගේ උත්පත්තියක් ලෙස සීතාවක රජු හඳුන්වා දුන් බවද ඉතිහාසයේ සඳහන් වේ. අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කරමින් කුණ්ඩලීනි ශක්තිය ද ලබාගත් සිව්සැට කලාවලින් පරිපූර්ණ රජකු ලෙස අදටත් සීතාවක රජු හඳුන්වනු ලැබේ. සීතාවක ආශ්‍රිත ප්‍රදේශවල අදටත් ඔහු ‘අපේ රජ්ජුරුවෝ’ ලෙස ව්‍යවහාර වන්නේ දැඩි ජනප්‍රසාදය නිසාවෙනි. මෙසේ අසාමාන්‍ය වීරත්වයකින් හා යුද ශක්තියෙන් බලවත්ව සිටි රාජසිංහ රජු,

වයස අවුරුදු 59දී අකාලයේ මිය යන්නේ සාමාන්‍ය උණ කටුවක් පාදයේ ඇනීමෙනි. එය සාමාන්‍ය උණ කටුවක් ද? නැත්නම් උග්‍ර විස සහිත උණ කටුවක් ද? මේසා ශක්තිමත් පුද්ගලයෙක් මරු තුරුලට යැවීමට උණ කටුවකට හැකි වූයේ කෙසේ ද? යන්න අදටත් තිබෙන ගැටලුවකි. ඒ ගැටලුවට පිළිතුරු ද බොහෝය. මේ සම්බන්ධයෙන් ඇතැම් පර්යේෂකයන් හා ඉතිහාසඥයන් විවිධ මත පළ කර තිබීමත් මෙහිදී විශේෂය.

බලන සටනින් පසුබැසීම

උඩරට රාජධානියේ පළමුවැනි විමලධර්මසූරිය හෙවත් කොනප්පු බණ්ඩාර සමඟ බලන ප්‍රදේශයේදී ඇතිවන දැවැන්ත සටන අවසානයේ රාජසිංහ රජතුමගේ හමුදාවට අත්වන්නේ ද දැවන්ත පරාජයකි. මේ පරාජයෙන් ශෝකයට පත් රජු සිය පිරිසත් සමඟ ආපසු ඒමේදී කැලණි ගඟ හා ගුරුගොඩ ඇළ සමීපයේ පිහිටා ඇති පෙතන්ගොඩ උයනට ඇතුළු වූයේ මඳක් විවේක ගැනීමේ අදහසින් විය හැකිය. මේ උයනේ අසු පිටින් ගමන් කරද්දී, මඩ වගුරක් මඟහැරීමකට ගොස් අසු පිටින් ඇදවැටෙන රජුගේ මිරිවැඩිසඟල ද පසාරු කරමින් පාදයේ ඇනුණු උණ කටුව නිසා ඇතිවූ තුවාලයෙන් රජු ඉතා දුර්වල වූ බව සඳහන් වේ. නොබෝ දිනකින් ඔහු මිය ගිය බවත්, ‘මන්දරාම් පුවත’ ඉතිහාස කාව්‍ය ග්‍රන්ථයේ සඳහන් වේ. රාජසිංහ රජුගේ මරණය පිළිබඳ ප්‍රකට හා අප්‍රකට කතා අතර මේ සිදුවීම ඉතාම ප්‍රචලිත කතාව ලෙස සැලකිය හැකිය.

උණ කටුවේ උග්‍ර විස

වර්තමාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින පෙතංගොඩ උයනේ උණ පඳුරුවල ශේෂ අදටත් පවතී. මෙය ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන උණ පඳුරුවලට වඩා වෙනස් කටු සහිත පෙනුමක් තිබෙන උණ විශේෂයක් ලෙස සැලකේ. දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද මේ උණ විශේෂය පෙතන්ගොඩ උයන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට තැනූ දිය අගලට පිටතින් සිටුවා තිබේ. ඒත් මෙහි ඇති විශේෂත්වය නම්, මේ උණ පඳුරුවල කටු මිනිසෙක් මරණයට පත් කළ හැකි මාරාන්තික විසක් සහිත බවට මෙතෙක් කළ පර්යේෂණවලින් සනාථ වී නොමැති වීමය. එසේ නම්, රජුගේ මරණය සිදු වූයේ කෙසේ ද?

නාග දෂ්ටනය

රාජසිංහ රජු වැනි බලවත් රජකු උණ කටුවක් ඇනීමෙන් මිය යෑම ඔහුට කෙරෙන අපහාසයක් විය හැකි යැයි සිතූ ජනයා, උණ පඳුරු අස්සේ ළැඟුම් ගත් නාගයෙක් දෂ්ට කිරීමෙන් රජු මිය ගියේ යැයි කතාවක් ප්‍රකට කරවන්න ඇති බව තවත් මතයකි. කෙසේ වෙතත් එම කතාවට අනුව නාග දෂ්ටනයෙන් පසු ඒ සඳහා ප්‍රතිකාර කිරීමට සර්ප වෙදකු කැඳවුවත්, ඔහු මහනුවර සිට පැමිණීමට පෙර රජු මරණයට පත් වූ බව එම කතාවල සඳහන් වී තිබේ.

අසම්මත පෙම

සීතාවක රජු උණ කටුව ඇනීමෙන් මරණයට පත් වූවා නොව, ඔහුට උපක්‍රමශීලීව මරණයට පත් කළාය කියන කතාවට හේතු සපයන්නේ එක්තරා පෙම් කතාවකි.

රාජසිංහ රජතුමාගේ මුනුබුරකු වූ රාජසූරිය කුමරු හා රාජසිංහ රජතුමාට සේවය කළ දොඩම්පේ ගණිතයා නම් යකැදුරුගේ දියණියක වන මල්වතී සමඟ ඇතිවන පෙම් සබඳතාව එයට පාදක වූ මුල් කතාවය.

අතිශය රූමත් මේ තරුණිය දිය නාමින් සිටියදී රාජසිංහ රජුගේ දර්ශනයට ලක් විය. ඇය කෙරේ සිත් බැඳුණු රජු ඇය අන්තඃපුරය වෙත ගෙන ගියේය. මෙහිදී රජු සමඟ වෛර බැඳගත් රජුගේ මුනුබුරු රාජසූරිය කුමරු දොඩම්පේ ගණිතයා සමඟ එක්වී රජු ඝාතනය කිරීමට සැලසුම් කළ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන්ය. මලපහ එකතු කර, තල තෙලෙන් කකාරවා තුවාලයට විස බැඳීමෙන් අනතුරුව දක්ෂ මන්ත්‍රකරුවකු දොඩම්පේ ගණිතයාගේ විස ඉවත් කරන මුවාවෙන් වෙනත් හූනියම් බන්ධනයක් කළ බවටත් ජනප්‍රවාදයේ සඳහන් වේ. රජුගේ තුවාලයට විස බැඳීමට හවුල් වූ පේදුරු සිංඤෝ නමැති ක්‍රිස්තියානි වෛද්‍ය සහායකයා පසු කලෙක මේ පිළිබඳ පාපොච්චාරණය කළ බවටත් කරුණු සඳහන් වේ.

මරණය සිදු වූයේ පිටගැස්මෙන් ද?

උණ කටුව ඇනීමෙන් දවස් හතරක් ඉක්ම ගිය පසු රජුගේ මරණය සිදු විය. රාජකීය වෛද්‍යවරයෙක් වූ ශෙලේන්ද්‍රසිංහ නම් පුද්ගලයෙක් විසින් ලියන ලද පුස්කොළ සටහනකට අනුව උණ කටුව ඇනීමෙන් පසු රජතුමා පහළ කළ රෝග ලක්ෂණ පිටගැස්ම රෝගයට සමාන බවට ඔහු සටහන් කර තිබේ.

• පැය 32ක් ගතවූ පසු රජතුමා සෙම් රෝගී තත්ත්වයකින් සහ ගැහෙන උණකින් යුක්තව වකුටු වී වැතිර සිටීම.

• පැය 48 ක් අප්‍රාණික ස්වභාවයක් පෙන්නුම් කිරීම.

• පැය 61 දී සම කිරිමැඩි මෙන් සුදුමැලි වී ගැලවී යාම ආරම්භ වීම.

• පැය 78 දී හිස්කබලට අධික ලෙස දහඩිය දැමීම.

• පැය 88 දී සන්නියෙන් මරණයට පත් වීම. මේ රෝග ලක්ෂණ පිටගැස්ම රෝගයට සමාන බවට පසුකාලීනව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් ද අනාවරණය වී තිබේ.

මරණය සිදු වූයේ වෙනත් ආකාරයකින් ද?

රාජසිංහ රජුගේ මරණය සිදු වූ තවත් ආකාර පිළිබඳ මතවාද පවතී. ඉන් එකකට අනුව රජතුමා සමඟ වෛරයෙන් සිටි රාජසූරිය විසින් යෙදෙවූ පිරිසක් රජුගේ පාදයට පහර දී සිදු කළ තුවාල අසාධ්‍ය වීමෙන් මරණයට පත් වීමත්, අනෙක වන්නේ ඕලන්ද ජාතික බාල්දියෙන් සටහනට අනුව විමලධර්මසූරිය අතින් ලැබූ පරාජයෙන් සිත් තැවුලට පත්වූ රජු තමන්ට උණ කටුවකින් ඇනගෙන ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීමෙන් මිය යෑමය.

මරණින් පසු

සීතාවක රාජසිංහ රජතුමාගේ මරණයෙන් පසු රජු බවට පත් වන්නේ රාජසූරිය කුමරුය. ඒත් ඔහුට ද රජකම දැරීමට හැකි වන්නේ වසරක් වැනි ඉතා කෙටි කාලයකි. මනම්පිටිය මොහොට්ටි රාජසිංහ රජතුමාගේ සොහොයුරිය වන මත්තෙමගොඩ බිසව සමඟ එක්වී කළ කුමන්ත්‍රණයක් අවසානයේ රාජසූරියට අත්වන්නේ ද මරණයයි. මෙයින් බියට පත් දොඩම්පේ ගණිතයා බියෙන් පලා ගියේය. ඔහුගේ දියණිය වන මල්වතී බිසව ද හදිසියේ මරණයට පත් වූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ. එයින් පසු රජකමට පත් වූයේ මත්තෙමගොඩ බිසවගේ මුනුබුරෙක් වූ පස්හැවිරිදි නිකපිටියේ බණ්ඩාරය. බල අරගල, පාවාදීම් ජය පරාජයන් හමුවේ වරින්වර වෙනස්වෙමින් පැවත ආ හෙළ රජ පරම්පරාව සෙමෙන් සෙමෙන් වියැකී ගිය ද, ඒ ඉතිහාසයේ ඇතැම් කතා පුවත් හා චරිත අදටත් අමරණීයය.

එවැනි ලෙසට අමරණීය චරිතයක් වූ සීතාවක රාජසිංහ රජු ද සීගිරි කාශ්‍යප, වලගම්බා රජු මෙන්ම තවත් අසාධාරණයට ලක්වූ රජ කෙනෙක් ලෙස හඳුන්වනු ලැබීම කොතෙක් දුරට උචිත දැයි සොයා බැලීම ඔබට භාරය. අදටත් තමාට සිදුවූ අසාධාරණය නිසාවෙන් රාජසිංහ රජුගේ ආත්මය සීතාවක ප්‍රදේශයේ සැරිසරන බවට විශ්වාස කරන ජනයා, රජුගේ ස්මාරකයට පහන් දල්වා ඔහුට දේවත්වයක් ආරෝපණය කර හමාරය. කෙසේ නමුත් ලක්දෙරණේ අඳුරු යුගයන් අවසන් කිරීමට අසීමිත ශක්තියෙන් යුද කළ බලවතකු සේ සැලකෙන සීතාවක රාජසිංහ රජුගේ මරණය පිළිබඳ අදට ද ඇත්තේ නිශ්චිත පිළිතුරක් නොමැති කුතුහලයෙන් පිරි ගැටලු සමුදායක් පමණි.

සමදරා ජයසිංහ

නව අදහස දක්වන්න