පාකිස්තානයේ ගුජරන්වාලා පළාතේ වසීරාබාද් නුවර විරෝධතා රැලියක් අමතමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඝාතනය කිරීමේ තවත් කුමන්ත්‍රණයක් පිළිබඳ එරට බුද්ධි අංශ වාර්තාවකින් හෙළි වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය. ඉම්රාන් ඛාන් ඝාතනය කිරීමේ තවත් උත්සාහයක් ක්‍රියාත්මක වන බැවින් ඔහුගේ ජීවිතය අවදානම් තත්ත්වයක පවතින බව පාකිස්තානයේ ඉහළ මට්ටමේ විනිසුරුවරයකු ප්‍රකාශ කර තිබේ.
ඉස්ලාමාබාද් නුවර මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු ආමීර් ෆාරුක් මේ බව අනාවරණය කර ඇත්තේ එම නගරයේ දේශපාලන විරෝධතා රැලි හේතුවෙන් සිදුවන මාර්ග අවහිර නිසා සිය ව්‍යාපාර කඩා වැටී ඇතැයි අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක් විභාගයට ගනිමිනි. ඉස්ලාමාබාද් නුවර ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මේ පෙත්සම ඉදිරිපත් කර ඇත.
70 හැවිරිදි ඉම්රාන් ඛාන්ට මේ මස මුල් භාගයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ පාදයට තුවාල සිදු වී තිබූ අතර, තත්ත්වය සැලකිල්ලට ගෙන එම විරෝධතා රැලි තාවකාලිකව අවලංගු කිරීමට ද ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය පියවර ගෙන තිබිණි.
හිටපු අගමැතිවරයා ඝාතනය කිරීමේ තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට ලද බුද්ධි අංශ වාර්තාව මහාධිකරණ විනිසුරුවරයා අනාවරණය කළද, එම කුමන්ත්‍රණය පසුපස සිටින පුද්ගලයන් කවුරුන්දැයි හෙළිදරවු කර නැත.
එසේ වුවත් වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පසු රෝහල්ගත වූ ඉම්රාන් ඛාන් තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පසුපස සිටින්නේ පාකිස්තානයේ වත්මන් අගමැති ශෙබාස් ෂරීෆ්, එරට අභ්‍යන්තර කටයුතු ඇමැති රානා සනාවුල්ලා සහ ඉහළ මට්ටමේ හමුදා නිලධාරියකු වන ජෙනරාල් ෆයිසල් නසීර් බව ප්‍රසිද්ධියේ කියා සිටියේය.
පසුගියදා ඉස්ලාමාබාද් නුවර මහාධිකරණයේ කටයුතු ආරම්භ කිරීමට පෙර පොලිසිය විසින් ප්‍රධාන විනිසුරුවරයාට බුද්ධි අංශ වාර්තාවක් බාර දුන් බවත්, එම වාර්තාවට අනුව ඉම්රාන් ඛාන්ට නැවත වරක් ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බවත් අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉස්ලාමාබාද් නුවර ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කරමින් විනිසුරුවරයා ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයට දැනුම් දී ඇත්තේ එම නගරයේ නැවත විරෝධතා රැලි පැවැත්වීමට අවසර ඉල්ලා අධිකරණයට නව අයැදුම්පතක් ඉදිරිපත් කරන ලෙසය.
පාදයට වැදුණු උණ්ඩ ඉවත් කිරීමෙන් පසු ඉම්රාන් ඛාන් ලාහොර් නුවර පිහිටි සිය නිවෙසේ විවේක ගනිමින් සිටින අතර, ඔහුගේ පාදයේ තුවාල ක්‍රමයෙන් සුව අතට හැරෙමින් තිබෙන බව වාර්තා වේ. ඔහු නැවත මේ සති අන්තයේදී රාවල්පිණ්ඩි නුවරදී විරෝධතා රැලියකට සහභාගි වීමට නියමිත බව ද අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
පසුගිය අප්‍රේල් මාසයේදී විශ්වාසභංග යෝජනාවකින් අගමැති ධුරයෙන් නෙරපූ ඉම්රාන් එය අමෙරිකාවේ කුමන්ත්‍රණයක් බවට චෝදනා කළ ද, පසුගියදා කියා සිටියේ පාකිස්තානය යළි ගොඩ ගැනීමට තමාට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවය. එමෙන්ම විශේෂයෙන් අමෙරිකාවේ සහාය අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.
සදෙව් රත්නායක
නව අදහස දක්වන්න