ගෘහ සේවයේ යොදවන බව පවසමින් ඩුබායි හරහා නීති විරෝධීව ඕමාන් රටට ගෙන ගොස් කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාව ලක්ෂ තුන බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (21) නියෝග කළේය.
ඇය කිසිදු ඒජන්සියක හිමිකාරීත්වයක් නොදරන අතර පුරා වසර 22ක කාලයක් ඕමාන් රටේ ඉන්ටිග්රේට් රුරර් සමාගමේ භාෂා පරිවර්තක ලෙස සේවය කරන බවත් ඇයට නැඟෙන චෝදනා අසත්‍ය වන අතර ඉහළ නිලධාරීන් සමඟ ඇති අමනාපකම් මත මෙසේ මෙවැනි චෝදනාවන්වලට ඈඳා ගෙන ඇති බවට සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ දැක්වු කරුණු සලකා මහේස්ත්‍රාත්වරයා මෙම ඇප දීම කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් හා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය දැනුම් දුන්නේ වින්දිත කාන්තාවන් 45කගේ ප්‍රකාශ ගත් බවත් එම කාන්තාවන්ට මෙරටදී බොරු පොරොන්දු දී ඕමාන් හි අතරමං කරන බවය.
සැකකාරිය ලිපින හතරක පදිංචි බව පැවසුවත් එකදු ලිපිනයකවත් ඇය පදිංචි නොමැති බව පැවසු රහස් පොලිසිය ඇය සොයන බවට තොරතුරු අනාවරණය වී රහස් පොලිසිය වෙත භාර වූ බවත් එහිදී ඇය අත්අඩංගුවට ගත් බවත් පැවසීය.
මෙම විමර්ශනය තවමත් අවසන් නොමැති බැවින් සැකකාරිය ලබන 1 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකාරිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා පැවසුවේ ඇය කිසිදු රැකියා ඒජන්සියක් පවත්වාගෙන නොයන බවත් ඇයගේ බැංකු ගිණුම්වල මුදල් නොමැති බව සඳහන් කළ නීතිඥවරයා ඇය කළ එකම වරද මෙම ස්ථානයේ භාෂා පරිවර්තක ලෙස සේවය කිරීම බව සඳහන් කළේය.
තවද සැකකාරිය අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ලංකාවට පැමිණි අතර ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව යළි විදේශගත වීමට යාමේදී ඇයට විදේශ ගමන් තහනමක් ඇති බවට දැන ගැනීමට හැකි වූ බවත් පැවසීය.
තොරතුරු දැන ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වූ බව නීතිඥවරයා සඳහන් කෙළේය. වෙනත් එජන්සි මගින් ඕමාන් රටට පැමිණ අතරමං වූ කාන්තාවන්ට මෙරටට පැමිණීමට උපකාර කර ඇති බව සඳහන් කළ නීතිඥවරයා ඇය සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දඹුල්ල ප්‍රදේශයේ පදිංචි, ඒජන්සියක් පවත්වාගෙන යන ඇය ඕමාන් රටේ මස්කට් නගරයේ ද ඇය විසින් මෙසේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යන බවත් ඇය විසින් මෙසේ කතුන් ඩුබායි හරහා නීති විරෝධී ආකාරයට ඕමාන් රටට ගෙන්වා මෙම ජාවාරම කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇය විදේශ ගතවුවහොත් නැත්නම් මෙරටට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට ඉකුත් ඔක්තෝබර් මස 21 වන දින අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙසේ ක්‍රියා කරන ඒජන්සි හතක් හඳුනාගෙන ඇති අතර මෙම ඒජන්සියේ හිමිකාරිය බව කියන දඹුල්ල පදිංචි ඩී.ඩී. ආශා දිසානායක යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කෙරිණ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුල අංශ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.
තැනැත්තන් වෙළෙදාම් කිරීම් හා ජාවාරම් කිරීමේ විමර්ශන සමුද්‍ර අපරාධ කොට්ඨාසය හා රාජ්‍ය බුද්ධි නිලධාරීන් පිරිසක් ඕමාන් වෙත ගොස් ඉකුත් 3 වැනි දින සිට 10 වැනි දින දක්වා වින්දිත කාන්තාවන්ගේ ප්‍රකාශ ගත් බව දන්වමින් වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.
දඹුල්ල ප්‍රදේශයේ කාන්තාවක් ප්‍රකාශයක් දෙමින් පවසා ඇත්තේ තමන් රැගෙන ආ තැරැව්කරු ද විදේශගත වීමට පෙර තමන් මරදාන ලොජ් එකකට බලහත්කාරයෙන් ගෙන ගිය බවත් තමාගේ අවසරයක් නොමැතිව බලෙන් තමන් දූෂණයට ලක් කිරීමෙන් අනතුරුව පසුදා විදේශගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ගිය බවය.
ඩුබායි රටට ගිය තමන් ඇතුළු කාන්තාවන් එහි ඒජන්තවරුන්ගේ සමීක්ෂණයකට පෙනී සිටි බවත් ඔවුන් එක පෙළට කාන්තාවන් පෙළ ගස්වා තමන් කැමැති කාන්තාව තෝරාගෙන යන බවට ද එම පැමිණිල්ලේ සඳහන්ය.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරියට ඇප නියම කරමින් නඩුව යළි දෙසැම්බර් 1 වනදා කැඳවීමට නියම කළේය.
නව අදහස දක්වන්න