පොක්කරවන්නි බිමේ මැකී නොගිය නටබුන් | දිනමිණ

පොක්කරවන්නි බිමේ මැකී නොගිය නටබුන්

මන්නාරම් දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක කැණීම් නැවත ආරම්භ කළේ මීට වසර දහයකට පමණ පෙරාතුව, තිස් වසරක යුද ගැටුම්වල නිමාවත් සමඟින්ය. ඒ අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල සිදු කළ කැණීම් ඔස්සේ විවිධ ඓතිහාසික නෂ්ටාවශේෂ රාශියක් සොයා ගත හැකි විය. ඉපැරැණි නටබුන් සහිත පොක්කරවන්නි බිම්කඩ, එසේ කැණීම් මඟින් නටබුන් මතු කර ගත් ඓතිහාසික භූමි භාගයකි.

මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු ප්‍රදේශයේ මුල්ලිකුලම් ගම්මානයේ මේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත බිම්කඩ පිහිටා තිබේ. කැලෑබද ප්‍රදේශයක පිහිටා ඇති මේ පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියේ සුවිසල් ගල් තලාවක් මත ඉතිරිවී ගිය ගොඩනැඟිලි, නෂ්ටාවශේෂ කිහිපයක් දැක ගත හැකිය. දාගැබ් ගොඩැල්ලක්, පොකුණු කිහිපයක්, ප්‍රතිමා ගෘහයක් යැයි නිගමනය කළ ගොඩනැඟිල්ලක නටබුන් සහ තවත් අවශේෂ ගොඩනැඟිලි නටබුන් කිහිපයක් සහිත මේ ස්ථානය, අතීතයේ සංඝාරාමයක් ලෙස භාවිත කළේ යැයි පුරාවිද්‍යාඥයෝ මත පළ කරති. පුරාවිද්‍යාඥ මතය අනුව මේ සුවිශාල සංඝාරාම සංකීර්ණය අනුරාධපුර යුගයට අයත්ය.

මෙහි විසිරී පැතිරී ඇති නටබුන් අතර දාගැබක කොටස් යැයි සැලකෙන නටබුන් ගොඩැල්ලට ප්‍රධාන තැනක් හිමි වෙයි. එම ගොඩැල්ලේ උස මීටර් තුනක් පමණ වෙයි. එහි විශ්කම්භය මීටර් 15ක් පමණ වේ යැයි ගණන් බලා ඇත. මේ වන විට සම්පූර්ණයෙන් කටු ලැහැබින් වැසී ඇති මේ දාගැබ් ගොඩැල්ලේ මැද කොටස, සොරුන්ගේ ග්‍රහණයෙන් විනාශ වී තිබේ. අතීතයේ මේ දාගැබ ගඩොලුවලින් තනවා ඇති බව පුරාවිද්‍යාත්මක මතයයි. දාගැබ තැනීමේ දී භාවිත කළේ යැයි සැක කරන ගඩොලු කිහිපයක් මෙහි දී සොයා ගෙන ඇත. එම ගඩොලක සාමාන්‍ය දිග, පළල සහ උස පිළිවෙළින් සෙන්ටිමීටර් 28, 18, 4 යැයි ගණන් බලා තිබේ.

දාගැබ් ගොඩැල්ලට ආසන්නයෙන් වෘත්තාකාර පොකුණක් දැක ගත හැකිය. එම පොකුණේ ගැඹුර මීටර් බාගයක් පමණ වේ යැයි ගණන් බලා ඇත. පොක්කරවන්නි ඉපැරැණි සංඝාරාම භූමියෙන් හමු වූ සෙන්ටිමීටර් 100ක් පමණ උසින් යුතු, අතීතයේ ගොඩනැඟිල්ලක් ලෙස භාවිත කළේ යැයි සැක කරන නටබුන් ගොඩැල්ලක් වෙයි. එය ගඩොලු සහ සකස් කරන ලද වෙනත් ගල් වර්ග යොදා නිර්මාණය කර තිබේ. එය එක් පැත්තක් මීටර් 11ක් වූ සමචතුරස්‍රාකාර ගොඩනැඟිල්ලක් බව පුරාවිද්‍යාත්මක කැණීම් ඇසුරෙන් සොයා ගෙන ඇත.

මේ ගොඩැල්ලට මඳ දුරකින් කේතුවක හැඩය ගත් කුඩා පොකුණු ද්විත්වයක් දැක ගත හැකිය. ඉන් එක් පොකුණක් සෙන්ටිමීටර් 16ක් පමණ ගැඹුරකින් යුතුය. අනෙක් පොකුණ සෙන්ටිමීටර් 11ක් පමණ ගැඹුරු වෙයි. මේ පොකුණු ද්විත්වය පසු කර යත්ම නැවතත් වෘත්තාකාර හැඩයක් ගත් පොකුණක නටබුන් හමු වෙයි. එහි ගැඹුර මීටරයක් පමණ වෙයි.

එම පොකුණට යාබදව ගොඩනැඟිල්ලක් යැයි සැක කරන තවත් නටබුන් ගොඩැල්ලකි. එම ගොඩනැඟිල්ල තනා ඇත්තේද ගඩොලු භාවිත කරමිනි. එම ගොඩනැඟිල්ලට නුදුරින් තවත් සමචතුරස්‍රාකාර හැඩයේ ගොඩැල්ලක නටබුන් හමු වී තිබේ. එහි එක් පැත්තක දිග මීටර් නවයක් ලෙස ගණන් බලා ඇත. මේ ගොඩැල්ල ආසන්නයේ පැරැණි ගඩොලු කැබැලි මෙන්ම, සෙවිලි උළු කැබැලිද විසිරී පැතිරී පවතියි. මේ නටබුන් ගොඩැල්ලට යාබදව තවත් ගොඩනැඟිල්ලක නටබුන් යැයි සැලකෙන ගොඩැල්ලක්ද දැක ගත හැකිය. මේ ගොඩැල්ල අවටින්ද ඉපැරැණි ගඩොලු කොටස් සහ සෙවිලි උළු කැබැලි හමුවේ. ඊට අමතරව බැම්මක කොටසක් සහ පාදමක් සඳහා යොදා ගත් ශිලාමය කොටසක්ද හමු වී තිබේ. එම පාදම් කොටස දිගින් මීටර් 80ක් පමණ වේ. පළලින් මීටර් 40ක් පමණ වෙයි. එම පාදම් ගලේ මැද සිදුරක් දැක ගත හැකිය. එම සිදුර සෙන්ටිමීටර් දහයක පමණ ගැඹුරකින් යුතු වෙයි.

මේ ගොඩැල්ල පසු කර යද්දී තවත් පොකුණක නටබුන් හමු වෙයි. එයද වෘත්තාකාර හැඩයක් ගනී. එය මීටරයක පමණ ගැඹුරකින් යුතුය. මෙය, විශ්කම්භය මීටර් 22ක් පමණ වන විශාල ප්‍රමාණයේ පොකුණකි. අතීතයේ මේ පොකුණ වටා බැම්මක් පැවැති බවට සාධක පුරාවිද්‍යාත්මක කැණීම් මඟින් හෙළි කර ගෙන තිබේ. මේ පොකුණට යාබදව තවත් වෘත්තාකාර හැඩැති පොකුණක් දැක ගත හැකිය. එයද මීටර් 20ක පමණ විශ්කම්භයක් සහිත විශාල පොකුණකි. එහි ගැඹුර මීටරයක් ලෙස ගණන් බලා ඇත.

මේ පොකුණ ආසන්නයෙන් තවත් සුවිශේෂ ගොඩනැඟිල්ලක නටබුන් සොයා ගෙන තිබේ. පිළිම ගෙයක් යැයි පුරාවිද්‍යාත්මක මත පළ වී ඇති මේ ගොඩනැඟිල්ල, මීටර් දෙකක පමණ උසකින් යුක්ත වෙයි. එහි දිග සහ පළල මීටර් 15ක් පමණ වන බව පුරාවිද්‍යාත්මක මතය වේ. මේ ගොඩනැඟිල්ල ආසන්නයෙන් පිළිම කිහිපයක කොටස් හමු වී තිබේ. ඉන් එක් හිටි පිළිමයක කොටසක් අනුරාධපුර යුගයට අයත් වන බව පුරාවිද්‍යාත්මක පර්යේෂණ මඟින් සොයා ගෙන ඇත. මේ හිටි පිළිමයේ ශේෂ ලෙස සොයා ගෙන ඇත්තේ, එහි පාදම සහ බඳ කොටස පමණකි. මේ ප්‍රතිමා ගෘහ නටබුන් ගොඩැල්ලෙන් ඉපැරැණි ගඩොලු කොටස් හමු වී තිබේ. ඒ අතර සම්පූර්ණ ගඩොලු කිහිපයක්ද හමු වී ඇත. සාමාන්‍යයෙන් මේ ගඩොලක දිග, පළල සහ උස පිළිවෙළින් සෙන්ටිමීටර් 38, 15, 5ක් ලෙස ගණන් බලා තිබේ.

මේ ප්‍රතිමා ගෘහ නටබුන් කොටස පසු කර යද්දී, අත්තිවාරමක් ලෙස භාවිත කළ කණු ද්විත්වයක් දැක ගත හැකිය. ඉන් එක් කණුවක් වර්ග මීටර් 240ක පමණ විශාලත්වයකින් යුක්තය. අනෙක් කණුව වර්ග මීටර් 100ක් පමණ වෙයි. ප්‍රතිමා ගෘහය ආසන්නයේම තවත් ගොඩනැඟිල්ලක නෂ්ටාවශේෂ හමු වෙයි. එය මේ බිම්කඩෙන් හමු වූ අනෙකුත් ගොඩනැඟිලිවලට වඩා විශාල ප්‍රමාණයේ නටබුන් ගොඩනැඟිල්ලකි. එහි දිග මීටර් 13ක් සහ පළල මීටර් නවයක් පමණ වේ යැයි ගණන් බලා ඇත. එම විශාල නටබුන් ගොඩනැඟිල්ලට යාබදව තවත් පොකුණක නටබුන් හමු වෙයි. එයද වෘත්තාකර හැඩයක් ගනී. එහි ගැඹුර මීටර් භාගයක් පමණ වෙයි.

මීට අමතරව මේ බිම්කඩ පුරාවට ගලින් තැබූ බැමි කොටස්වල නෂ්ටාවශේෂ, ගඩොලු, සෙවිලි උළු, සකසන ලද ගල් වර්ග ආදී ලෙස ඉපැරැණි පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත නටබුන් අවශේෂ රැසක්ම වෙයි.

 

පසිඳු මිහිරාන් රැටියල

නව අදහස දක්වන්න