ලෝක ශූර නිශාන්තගේ නායකත්වයෙන් කැරම් ලෝක ශුරතාවලියට ශ්‍රී ලංකාවෙන් 8ක් | දිනමිණ

ලෝක ශූර නිශාන්තගේ නායකත්වයෙන් කැරම් ලෝක ශුරතාවලියට ශ්‍රී ලංකාවෙන් 8ක්

මැලේසියාවේදී ආරම්භ වන අටවැනි ලෝක කැරම් ශූරතාවලිය සඳහා ලෝක කැරම් ශූර ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් සිව්දෙනකු බැගින් ඇතුළත් මෙවර කණ්ඩායමට ජාත්‍යන්තර අත්දැකීම් බහුල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ නුගේගොඩ මහමායා බාලිකාවේ 19 හැවිරිදි තශ්මිලා කාවින්දි පළමුවරට ඇතුළත් වීම කැපී පෙනේ. ඊට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සුරාජ් මධුවන්ත, ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් උදේශ් චන්දිම පෙරේරා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ෂහීඩ් හිල්මි පිරිමි කණ්ඩායමට ඇතුළත් වන අතර, කාන්තා කණ්ඩායමට ප්‍රවීණ ක්‍රීඩිකා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝෂප් රොසිටා සමඟ ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙබෙකා ඩැල්රින් සහ මධුවන්ති ගුණදාස ඇතුළත් වෙති. කණ්ඩායමේ කළමනාකරු ලෙස ලැන්ග්ලි මතායස් මහතා කටයුතු කරයි

ලබන ඔක්තෝබර් මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර කැරම් ලෝක ශූරතාවලියට රටවල් 17කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250කට ආසන්න සංඛ්‍යාවක් එක්වීමට නියමිතය. ලෝක කැරම් ක්‍රීඩාවේ ප්‍රබලතම රටවල් වන ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, දකුණු කොරියාව, ජපානය, ඉන්දියාව, පාකිස්තානය ඇතුළු රටවල් ගණනාවක් ඊට ඇතුළත්ය.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට පසුගියදා කොළඹ 7, ජාතික ක්‍රීඩා සභා පරිශ්‍රයේදී දින තුනක තරගාවලියක් පැවති අතර, ඒ සඳහා මාවනැල්ල කැරම් සමාජයේ සභාපති එම්. ඒ. එම්. අමුනුල්ලා මහතාගේ අනුග්‍රාහකත්වය ලැබී තිබිණි. වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක කැරම් ශූරතාවලියේ 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවති 6 වැනි තරගාවලියේදී ඒකල ශූරතාව දිනා ගැනීමට නිශාන්ත ප්‍රනාන්දු සමත් වූ අතර, 2016දී කණ්ඩායම් ශුරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් විය.

පසුගිය කාලය තුළ පැවති කැරම් සම්මේලනය පරිපාලනය සම්මේලනයට අයත් උපකරණ කිසිවක් මෙතෙක් බාර දී නැති බැවින් ලෝක කැරම් ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීමට වත්මන් පරිපාලනය සමත් වී ඇත්තේ දුෂ්කරතා රැසක් මැදය.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න