ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෙමෙන් වුව යහපත් තත්ත්වයක් කරා ගමන් කරන බව මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙයි. රජය අනුගමනය කරන නව ආර්ථික උපාය මාර්ග හා හඳුන්වා දී ඇති නව ආර්ථික ප්‍රතිපත්ති මත මේ තත්ත්වය ගොඩනැඟෙන බව ද මහබැංකු අධිපතිවරයා විග්‍රහ කර දක්වයි. ඒ අනුව උද්ධමනය 60%ක තත්ත්වයෙන් පාලනය කිරීමට හැකි වී ඇත. එය පුරෝකථනය වී තිබුණේ 70%කට වඩා ඉහළ යනු ඇත යනුවෙන්ය. විදේශ විනිමය ඉපැයීම හා විදේශ විනිමය කළමනාකරණය සුභවාදී මට්ටමක පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස තෙල්, ගෑස් හා ඖෂධ ආනයනය සඳහා ණය ගැනීමකින් තොරව ක්‍රියා කිරීමට හැකියාව ලැබී ඇත.
රජය ඉන්ධන ආනයනය සඳහා මසකට වැය කළ මුදල ඩොලර් මිලියන හයසියයකට වැඩිය. එය පාලනය කරමින් මාසික තෙල් ආනයන පිරිවැය ඩොලර් මිලියන දෙසිය පනහ දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබී ඇත. එම විදේශ විනිමය ප්‍රමාණය සපයා දිය හැකි බවද මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙයි. ඉන්ධන පරිස්සමෙන් භාවිත කිරීමට ජනතාව හුරු වී ඇති අතර, ඉන්ධන මාෆියාවේ ක්‍රියාකාරකම් නැවතී ඇත. තෙල් පෝලිම් දැකගත නොහැකිය. ඉන්ධන බෙදා හැරීම ද සාධාරණ ආකාරයකින් සිදු වන බව පෙනී යයි. බලශක්ති අමාත්‍යවරයා හඳුන්වා දුන් ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR කේත ක්‍රමය හොඳින් ක්‍රියාත්මක වෙයි.
මූල්‍ය විනය රටක ආර්ථිකය ශක්තිමත් කිරීමට බලපාන ප්‍රධාන සාධකයකි. විදේශ ණය ගැනීම, ඒවා නිසි අයුරින් භාවිත කිරීම, ණය ගෙවීම, රුපියලේ අගය පවත්වා ගැනීම, ආනයන වියදම් සීමා කිරීම හා තවත් දේවල් මූල්‍ය විනය පවත්වා ගැනීමට අදාළ ක්ෂේත්‍රයන් ලෙස පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ පසුගිය දශක දෙක තුළ විදේශ ණය ගැනීමේදී හා ඒවා වියදම් කිරීමේදී මූල්‍ය විනයකින් යුතුව ක්‍රියා කර නැත. තව පැත්තකින් අසීමාන්තික ලෙස ආනයන වියදම් වැඩි කර ගෙන තිබේ. අපනයන ආදායමට වඩා ආනයන වියදම් වැඩි නම්, එතැන බරපතළ තත්ත්වයක් පවතී. එහෙත් දිගටම සිදු වී ඇත්තේ එයමය. පළමුව මේ තත්ත්වය වැළැක්වීමට රජය පියවර ගන්නා බව පෙනෙයි.
ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑමට නම්, ණයට කෑම නැවැත්විය යුතු යැයි බොහෝ දෙනා පෙන්වා දෙති. මෙතෙක් අප විදේශ ණය මුදල් පවා ආහාර සඳහා වැය කර ඇත. ආධාර ලැබෙන්නේ පරිභෝජනයට වුව විදේශ ණය ලැබෙන්නේ ආයෝජන සඳහා යැයි කියනු ලැබේ. විදේශ ණය ගෙන ඒවා පරිභෝජනය සඳහා යොදා ගැනීම දුප්පත් රටවල ක්‍රමය වී ඇත. ලෙබනනය, පාකිස්තානය වැනි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඇත්තේ ද පරිභෝජනය සඳහා ණය ගැනීමටය. මේ තත්ත්වය වෙනස් වන තුරු ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැංවීම අපහසුය.
මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙන තවත් වැදගත් කාරණයක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ආර්ථික සහයෝගය දීම ගැන විශ්වාසය තබා ගත හැකි බවය. තවත් දින කිහිපයකින් එම අරමුදලේ විධායක නිලධාරි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙයි. එම නිලධාරීන් මහබැංකුව හා මුදල් මණ්ඩලය සමඟ සාකච්ඡා කරනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වන කරුණු කිහිපයක් තිබේ. අපේ බදු ප්‍රතිපත්තිය, රාජ්‍ය ආදායම, ණය ගෙවීමේ හැකියාව හා ණය වියදම් කරන පිළිවෙළ ඒ අතර ප්‍රධාන වෙයි. රටක් දිළිඳුකමෙන් ගොඩ යෑම සඳහා භාවිත කරන ආර්ථික උපාය මාර්ග ද අයි. එම්. එෆ්. ආයතනයේ සැලැකිල්ලට ලක් වෙයි. කොටින්ම විදේශ ණය හා ආධාර මූල්‍ය විනයකින් යුතුව භාවිත කළ යුතුය. ඒ පිළිබඳ සැලැසුමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කළ යුතුය. ක්ෂණිකව ණය ගැනීමේ හැකියාවක් නැත.
අද අපට දක්නට ලැබෙන විශේෂ ආර්ථික තත්ත්වයක් වන්නේ මහබැංකුව හා මුදල් මණ්ඩලයට ස්වාධීන ලෙස ක්‍රියා කිරීමට අවස්ථාව දී තිබීමය. දේශපාලකයන්ට අවශ්‍ය ලෙස හිතුවක්කාරී අන්දමින් ආර්ථිකය හැසිරවීමට ඉඩක් නැත. මහබැංකුව හා මුදල් මණ්ඩලය රටේ නායකයන්ගේ සංවර්ධන සැලැසුම්වලට සහයෝගය දැක්විය යුතු වුව එය කළ යුත්තේ ආර්ථික ස්ථාවරත්වයට හානියක් සිදු නොවන අයුරින්ය.
නව අදහස දක්වන්න