ඉන්ධන හල්වලට ඉන්ධන පැමිණෙන තෙක් ජනතාව දිගු පෝලිම්වල පැය ගණන් රැඳී සිටිය ද ඊයේ (27) බොහෝ ඉන්ධන හල් වෙත ඉන්ධන ලැබී නොතිබිණි.
රට තුළ පවතින ඩොලර් අර්බුදය සමඟ මේ වනවිට ඉන්ධන හල් ආශ්‍රතිව දිගු පෝලීම් නිර්මාණය වී ඇති අතර දින ගණන් වාහන නවතා තබමින් ජනතාව පාරවල්වලට වී සිටිණු දක්නට ලැබිණි.
රුසියාවෙන් ඉන්ධන ගැනීම සඳහා සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රජයේ නියෝජිතයන් දෙදෙනෙක් මෙරටින් පිටත්ව යන බවත් ඒ සඳහා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා සහ හිටපු රුසියානු තානාපති ආචාර්ය සමන් වීරසිංහ මහතා සහභාගී වන බව රජයේ ආරංචි මාර්ග පැවැසීය.
මෙලෙස පෝලිම් දික්වීම හේතුවෙන් ඛනිජ තෙල් හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා දිගු පෝලිම්වල සිටින ජනතාව වෙනුවෙන් ටෝකන් ක්‍රමයක් හඳුන්වාදීමට උපදෙස් දුන් අතර එම ක්‍රමය ඊයේ (27) සිට ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යවරයා පැවැසීය.
එම ටෝකන් පත් දීම සඳහා පොලිසිය සහ හමුදා නිලධාරීන්ගේ සහාය ගන්නා බවද කියා සිටි අමාත්‍ය කාංචන විජේසේකර මහතා ටෝකන් පතට අදාළ දුරකතන ඇමැතුමක් දෙන බවත් එය රැගෙන නිවෙස් වෙත යන ලෙසත් උපදෙස් දුන්නේය.
එහෙත් ඊයේ දිගු පෝලිම්වල රැඳී සිටි ජනතාවට කිසිදු ටෝකන් පතක් නොලැබුණු බවට ජනතාව චෝදනා කළ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ගැනීමට පැමිණි වාහන ද දිගු පෝලිම්වල නවතා තිබුණු අතර ලංගම හරහා ඉන්ධන ගැනීමට පෞද්ගලික බස් රථ දිගු පෝලිම්වල නිරතව සිටිනු දක්නට ලැබිනි.
මේ අතර පවතින ඉන්ධන සංචිත ප්‍රමාණය අනුව තොරාගත් පිරවුම්හල් වෙත පමණක් ඊයේ (27) ඉන්ධන නිකුත් කරනු ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ‘දිනමිණ‘ කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවැසීය.
ඉන්ධන ලැබීමට නියමිත දිනයක් නැති බැවින් නිකරුනේ පෝලිම්වල රැඳී සිටීමේ තේරුමක් නැතැයි එහි සමලේකම්, ඩී.වී ශාන්ත සිල්වා මහතා පැවැසීය. යළි ඉන්ධන ලැබෙන දිනයක් නිශ්චිතව කිව නොහැකි බව බලශක්ති අමාත්‍යවරයා තමන්ට පැවැසූ බව කියා සිටි ඒ මහතා නිකරුනේ පෝලිම්වල රැඳී නොසිටින්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය. එමෙන්ම ඉදිරි සතියේත් ඉන්ධන ලැබෙන දිනයක් ගැන කීම අවිනිශ්චිත බව කියා සිටි ඒ මහතා ඊයේ දිනයේ කිසිදු ඉන්ධන බවුසරයක් ඉන්ධන රැගෙන නොගිය බවත් කියා සිටියේය.
රට තුළ මතුව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉදිරි සතිය තුළ නගරාසන්න පාසල් නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ අතර රාජ්‍ය සේවකයන්ද අවශ්‍යතාව අනුව ගෙන්වීමට අදාළ ගැසට් නිවේදනයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කරනු ලැබීය.
මේ අතර ඉන්ධන නොමැති වීම හේතුවෙන් රෝහල්වල කටයුතු ද අඩපණ වී තිබූ අතර අද (28) සිට කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රිකක්යේ සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතනවල හදිසි සේවා පමණක් පවත්වාගෙන යාමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය ශාඛාව තීරණය කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී තිබු දුර්වල හා අවිධිමත් බව හේතුවෙන් සෞඛ්‍ය සේවකයන්ගෙන් සියයට 20කට හෝ සිකුරාදා දින ඉන්ධන ගැනීමට නොහැකි වී බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව සඳහන් කරයි.
සුභාෂිණී සේනානායක, රක්ෂණ ශ්‍රියන්ත සහ පී.කේ.බණ්ඩාර
නව අදහස දක්වන්න