‘අසනි’ සක්‍රීය වෙයි - මුහුදු යන්න එපා | දිනමිණ

‘අසනි’ සක්‍රීය වෙයි - මුහුදු යන්න එපා

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින 'අසනි' සුළි කුණාටුව හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවන්ට කුණාටුව පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

මෙමගින් මෙරට ගොඩබිමේ කාලගුණයට සෘජු බලපෑමක් ඇති නොවන බවත් මෙම කුණාටු තත්ත්වය 12 දින දක්වා පමණ පවතිනු ඇති බවත් පසුව ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ වෙරළට ගමන් කරණු ඇතැයි බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. එමෙන්ම මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවලදී මෙරට වර්ෂාපතනයේ සහ සුළගේ තරමක වැඩි වීමක් ඇති විය හැකි යයිද එම ප්‍රකාශකයා සඳහන් කළේය. 'අසනි' නාමය ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යෝජනා කළ නාමයකි.

උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැඟෙනහිර දේශාංශ 83ත් 95ත් අතර මායිම්වන මුහුදු ප්‍රදේශය සහ සමකයත් උතුරු අක්ෂාංශ 04ත් සහ නැඟෙනහිර දේශාංශ 80 සහ 95ත් අතර මුහුදු ප්‍රදේශ යාත්‍රා නොකෙරිය යුතු මුහුදු ප්‍රදේශ ලෙස දක්වා ඇති අතර ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා සිටී. එමෙන්ම ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසද එහි සඳහන් වේ.

ඊයේ(08) පෙ.ව 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයේ සිට කි.මි 900ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගත වී මෙය පැවැතිණ. එය ඉදිරියේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

අද (09) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව, නැඟෙනහිර, උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය වටින් විට පැ.කි.මි 40 දක්වා වැඩිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දිනය සඳහා නිකුත් කර ඇති කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න