මොකක්ද මේ ISBN ? | දිනමිණ

මොකක්ද මේ ISBN ?

පොතක අගය මැනීම සඳහා පැහැදිලි මිණුම් දණ්ඩක් නොමැති වුවත්, පොතක ප්‍රමිතිය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති අංකයක් තිබේ. ඕනෑම හොඳ පොතක් ගෙන නිරීක්ෂණය කළොත් , එහි ග්‍රන්ථ නාම පිටුවේ පසු පිටේ හෝ කවරයේ පසු පිටේ ISBN අකුරු පෙළ සිරස්ව ඇති ඉරි කිහිපයක් සමඟ ඉලක්කම් කිහිපයක් සටහන් වී තිබෙනු දැකිය හැකි ය. මෙය බාර්කෝඩ් අංකය ලෙස බොහෝමයක් නොදන්නා, එහෙත් පොතක් සඳහා ඇති ප්‍රමිති විස්තරය පිළිබඳ සටහනක් බව එයින් ද කියැවේ. එබැවින් ISBN යන්න කුමක්දැයි දැන සිටීම වැදගත් ය.

ISBN යනු

පොත් සඳහා අන්තර්ජාතිකව පිළිගෙන ඇති අංකයකින් හඳුන්වන International Standard Book Number යන්න ISBN වශයෙන් හකුලුවා ඇති අංක 13 කින් සමන්විත මේ සඳහා භාවිතයට ගනුයේ 0 සිට 9 දක්වා ඇති අරාබි ඉලක්කම් පමණක් බැවින්, රෝම ඉලක්කම් භාවිත කරනු නො ලැබේ. එසේ ම මෙය සියලු ම ප්‍රකාශන සඳහා දෙනු නො ලැබේ. එනම් කිසියම් ග්‍රන්ථයක ග්‍රන්ථ නාම පිටුව, පෙරවදන, පටුන, පිදුම ආදිය ඇතුළත්ව අන්තර්ගත පිටු 42 ක් ඇති ප්‍රකාශනයක් අන්තර්ජාතික වශයෙන් පොතක් ලෙස පිළිගෙන ඇත. එවැනි ප්‍රකාශනවලට මේ ISBN අංකය ඉල්ලුම් කළ හැක්කේ කිසියම් ප්‍රකාශනයක් පළ කරන ප්‍රකාශකට පමණි. එය නිකුත් කිරීම සඳහා කිසියම් රටක එක් ජාතික ආයතනයක් පවතින අතර, ශ්‍රී ලංකාවේ එය නිකුත් කරනුයේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මඟිනි. භූගෝලීය වශයෙන් විශාල රටවල සමහර විට ශාඛා කිහිපයකින් සමන්විත නියෝජිත ආයතන තිබුණත්, එම ජාලයේ එක් ආයතනයක් ප්‍රධානත්වය ගනියි.

ISBN අංකයේ සැකසුම

මේ අංකය කොටස් 5කින් යුක්ත වේ. ඒ අනුව,

මූලික කලාපීය ප්‍රකාශන ග්‍රන්ථ පරීක්ෂක

හැඳුනුම් අංකය අංකය නාම අංකය

අංකය අංකය

මෙහිදී මූලික හැඳුනුම් අංකය අංක 13ක් දක්වා දිගු වීමේදී ඉදිරියට ISBN යන අක්ෂර 04 ද එක් කළ යුතු වේ. ඒ අනුව අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ මධ්‍යස්ථානය මඟින් තීරණය කර ඇති පරිදි මේ අක්ෂර හතරට ඉදිරියෙන් 978 යන සංඛ්‍යාව යොදාගෙන ඇත. අන්තර්ජාතික අංකන ක්‍රම පිළිබඳ යුරෝපා මධ්‍යස්ථානයෙන් ලබා දෙන්නා වූ මේ ප්‍රමිතිගත අංක ක්‍රමවේදයට අනුව, සෑම ISBN අංකයකට ම 978 යන අංකය නොවෙනස්ව පැවතේ.

එහෙත් කලාපීය හැඳුනුම් අංකය මඟින් කිසියම් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් වූ රට සංකේතවත් වේ. එසේ ම මෙය ද තීරණය කිරීමේ දී ජාතික, භාෂාමය, භූගෝලීය හා වෙනත් කරුණු ද සැලකිල්ලට ගෙන ඇති බව පෙනේ. ඒ ආකාරයෙන් මේ කලාපීය අංකය ලෝකයේ අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංක මධ්‍යස්ථානයෙන් ලබාදෙනු ඇත. ඒ අනුව සිංගප්පූරුව සඳහා 9971 ද , ඉන්දියාව 81 හා ශ්‍රී ලංකාව වෙනුවෙන් දී ඇති අංකය 955 වේ. මේ අනුව ‍අනෙකුත් රටවල් සඳහා ද අංකයක් ලබා දී තිබේ. ප්‍රකාශක හැඳුනුම් අංකයෙන් ප්‍රකාශකයා සංකේතවත් වන අතර, එය දීර්ඝ හෝ කෙටි වනුයේ ප්‍රකාශකයා විසින් ප්‍රකාශයට පත්කරන ග්‍රන්ථ නාම සංඛ්‍යාව අනුව ය. ඒ අනුව පොත් විශාල සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කරන ප්‍රකාශකයකුට, දීර්ඝ ප්‍රකාශන අංකයක් තිබිය හැකි ය. එබැවින් නව ප්‍රකාශක ආයතනයක් ආරම්භ කිරීමේ දී, එම ප්‍රකාශකට දිගු අංකයක් ලැබිය හැකි ය.

ග්‍රන්ථ නාම හැඳුනුම් අංකයෙන් කිසියම් ප්‍රකාශකයකු විසින් පළ කරන ලද ග්‍රන්ථ සංඛ්‍යාව පෙන්වන අතර, අවසානයට ඇති පරීක්ෂක අංකය හෙවත් දහතුන්වැනි අංකය තීරණය වන්නේ මුලින් සඳහන් සෙසු අංක 12 පිළිබඳ සංකීර්ණ ගණනය කිරීමකින් පසුව ය. ග්‍රන්ථයකට දෙන අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංකයේ නිවැරැදි බව පරීක්ෂා කරන්නේ ද මේ පරීක්ෂක අංකය මඟිනි. මෙය සෑම විටම යෙදෙනුයේ තනි ඉලක්කමකිනි. එහෙත් මේ ISBN අංකය සම්බන්ධයෙන් අන්තර්ජාතික වටිනාකමක් ඇතත්, ශ්‍රී ලාංකේය ප්‍රජාව තුළ එතරම් දැනුවත් බවක් නො මැති බව පෙනෙන්නේ ප්‍රකාශයට පත් කර ඇති සමහර ප්‍රකාශනවල මේ අංකය තවමත් සඳහන් නො වීම හේතුවෙනි.

ISBN ප්‍රමිතිකරණයේ ඉතිහාසය

මේ ප්‍රමිතිකරණයේ අතීතය වර්ෂ 1966 දක්වා ඈතට දිව යති. ලෝකයේ අනෙකුත් නිෂ්පාදන වෙනුවෙන් ප්‍රමිතිකරණයට ලක් වනුයේ ඒ ඒ නිෂ්පාදනවල සුලබතාව හේතුවෙන් නිසා, ග්‍රන්ථ නිෂ්පාදනය ද ඒ අයුරින් ප්‍රමිතිකරණයට ලක්ව තිබේ. මෙහි දී ග්‍රන්ථ පිළිබඳ ප්‍රමිති සම්බන්ධයෙන් පළමුවෙන් ම කතාබහට ලක්ව ඇත්තේ ජර්මනියේ බර්ලින් නුවර පැවැති පොත් වෙළෙඳාම ගැන තෙවැනි ජාත්‍යන්තර සම්මේලනයේ දී ය. ඒ 1966 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ය.

මේ කාලය වන විට යුරෝපයේ සිටි පොත් ප්‍රකාශකයන් - පොත් බෙදාහරින්නන් - පරිගණක භාවිතය පිළිබඳ අවධානය යොමු කර තිබේ. මෙහි දී ප්‍රකාශන ක්ෂේත්‍රයේ පරිගණක යන්ත්‍ර භාවිතයට බඳුන්වීමත් සමඟ, දත්ත ගවේෂණය කිරීම සඳහා මේ යුගයේ ප්‍රමිතිගත අංක ක්‍රමයක් කෙරෙහි අවධානය යොමුකොට පළමුවෙන් බ්‍රිතාන්‍ය පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ලන්ඩනයේ ප්‍රකට ප්‍රකාශිත ආයතනයක් වන J.Whitaker and Sons සමාගමෙන් කරන ලද ඉල්ලීමකට අනුව 1967 වසරේ දී ග්‍රන්ථ අංක ක්‍රමයක් මහා බ්‍රිතාන්‍යට හඳුන්වා දී තිබේ. අනතුරුව අමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට ප්‍රකාශන සමාගමක් වන R.R.Bowker විසින් ද ප්‍රමිති ග්‍රන්ථ අංක ක්‍රමයක් අමෙරිකාවට හඳුන්වා දෙනු ලැබූයේ, 1968 වසරේ දී ය. මෙලෙස හඳුන්වාදෙනු ලැබූ අංකන ක්‍රමවේදවල ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ ලෝකයේ භාවිත වන International Standard Book Number හෙවත් ISBN අංකයේ උපත සිදු වී ඇත. ඒ අනුව මෙය අන්තර්ජාතික ප්‍රමිති සංවිධානයේ 1972 අංක 2108 දරන නිර්දේශයන්ට අනුව ආරම්භ කොට ඇති අතර, ඒවා පවත්වාගෙන යාම සඳහා ලෝකයේ සියලු ම රටවල නියෝජිත ආයතන ආරම්භ කර තිබේ. මෙහි ප්‍රධාන ආයතනය ජර්මනියේ බර්ලින් නුවර අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ මධ්‍යස්ථානය වේ. ඒත් මෙය 2006 වසරේ සිට එහි කාර්යභාරය මහා බ්‍රිතාන්‍යයේ DITEUR නම් ආයතනයට පවරා තිබේ. මුල දී අංක 10 කින් සමන්විත වූවත් 2007 ජනවාරි 01 සිට ඉලක්කම් 13කින් යුත් දිගු අංකයක් මේ සඳහා ලබා දීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවට මේ අංකය පළමු වරට හඳුන්වාදෙනු ලැබූයේ 1986 වසරේ ය. ඒ සඳහා නියෝජිත ආයතනය වශයෙන් එදා සිට ම කටයුතු කරන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයයි.

ප්‍රමිති අංක ලබාදෙන ප්‍රකාශන වර්ග

අන්තර්ජාතික වශයෙන් වැදගත් වන මේ අංකය මුද්‍රිත සහ විද්‍යුත් යන සෑම ප්‍රකාශනයක් සඳහා ම තිබීම වැදගත් වන බැවින්, මේ සඳහා ජාත්‍යන්තර වශයෙන් වටිනාකමක් ලැබේ. එහෙත් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රකාශනවල මේ අංකය තව ම දක්නට නො මැත්තේ ඒ සම්බන්ධයෙන් පවත්නා දැනුම්වත් භාවය ප්‍රමාණවත් නැති නිසා යැයි සිතේ. ලෝකයේ බොහෝ රටවල මේ ප්‍රමිති අංකය නො මැති ප්‍රකාශනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වුව ද ගත හැකි වූවත්, දැනට ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රියාමාර්ගයකට ඉඩකඩ නොමැත. එහෙත් අනාගතයේ දී එවැනි තත්ත්වයක් උදාවිය හැකි ය. මේ අනුව ISBN අංක යෙදිය යුතු ප්‍රකාශන හෙවත් අංක ලබාදෙන ඒවා යටතේ මුද්‍රිත පොත් හා පුස්තිකා, බහු මාධ්‍ය ප්‍රකාශන, මිශ්‍ර මාධ්‍ය ප්‍රකාශන, වාර්ෂික ග්‍රන්ථ, වාර්ෂික සංග්‍රහ, ග්‍රන්ථ මාලා සහ නාමාවලි,අධ්‍යාපනික චිත්‍රපට, වීඩියෝ සහ පාරදෘශ්‍ය ප්‍රකාශන, බ්රේල් ප්‍රකාශන, සිතියම් , සූක්ෂ්ම රූපණ ප්‍රකාශන, විද්‍යුත් මාධ්‍ය ප්‍රකාශන මේවා මුද්‍රිත පිටපත් ලබාගත හැකි පරිදි සකස් කරන ලද සහ (යාන්ත්‍රයක් මඟින් කියැවිය හැකි පටි, ඩිස්කට්,සංයුක්ත තැටි ආදිය) සහ අධ්‍යාපනික හෝ උපදේශාත්මක මෘදුකාංග වර්ග සඳහා මේ අංකය ඉල්ලීමට අවකාශ තිබේ.

එමෙන් ම ISBN අංකය යෙදිය නො හැකි තොරතුරු මූලාශ්‍ර ද පවතින බව අප දැන සිටිය යුතු අනෙක් කරුණ ය. ඒ අනුව සියලු ප්‍රකාශන සඳහා මේ අංකය යෙදිය නො හැකි ය. එවැනි ද්‍රව්‍ය සියලු රටවල් සදහා පොදු වශයෙන් හඳුනාගෙන තිබේ. ඒ අතරට දිනපොත්, දින දර්ශන, සුබ පැතුම්පත්, පෞද්ගලික ලියැවිලි, වෙළෙඳ දැන්වීම් වැනි තාවකාලිකව භාවිතයට ගන්නා ප්‍රකාශනවලට මේ අංකය ලබාදෙන්නේ නැත. එසේ ම වාරිකව පළ කරනු ලබන වාර සඟරා වැනි ප්‍රකාශන සඳහා ISBN අංකය වෙනුවට International Standard Serial Number (ISSN) අංකය යොදන බැවින් එම අංකය ද අදාළ වාරික ප්‍රකාශනයේ සඳහන් කළ යුතු හෙයින් පිට කවරය, කර්තෘ මණ්ඩලය, වෙළුම, කලාප අංකය , ප්‍රකාශිත වසර සහ ලිපි එකතුවේ නාමය හෙවත් මාතෘකාව ද අංකය ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු ය.

එසේ ම සංගීත ප්‍රකාශන සී ඩී පටි, සංගීත තනු නිර්මාණ ආදී ප්‍රකාශන සඳහා ද ISBN අංකය වෙනුවට International Standard Music Number (ISMN) අංකය ලබාගත හැකි ය. මේ සියලු ම ප්‍රකාශන සඳහා ලබාදෙන ප්‍රමිති අංක ශ්‍රී ලංකාවේ දී ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් පමණක් ලබාගත හැකි වන අතර, එහි ක්‍රියාවලිය පවත්වාගෙන යාමට එක් අංකයක් වෙනුවෙන් දැනට රු.100 ක් වැනි සහන මුදලක් අය කරයි. මේ සමඟ විශේෂයෙන් ග්‍රන්ථයකට අවශ්‍ය කරන පුස්තකාල විද්‍යානුකූල දත්ත විස්තර Catalogue in Publication(CIP) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් නොමිලේ ලබාගත හැකි ය.

ISBN අංකය යෙදීමෙන් ඇති වාසි

ශ්‍රී ලාංකේය සමාජය තුළ ඉහත කී ප්‍රකාශන සඳහා ප්‍රමිති අංකයක් දැනට පවතින නෛතික තත්ත්වය මත අත්‍යාවශ්‍ය ම නැති වුව ද, එවැන්නක් තිබීමෙන් ප්‍රකාශනයට අන්තර්ජාතිකව වටිනාකමක් හිමි වේ. මේ විස්තර මේ සම්බන්ධයෙන් ඇති අන්තර්ජාතික ප්‍රධාන ආයතනය වෙත යවන බැවින්, වාර්ෂිකව පළ කරන ISBN Publisher’s Directory ප්‍රකාශනයට ඇතුළු කිරීමෙන් කිසියම් ප්‍රකාශනයක විස්තර ජාත්‍යන්තරව ව්‍යාප්ත වන බැවින්, මේ අංකය ප්‍රකාශනයේ පළ කිරීම වැදගත් වේ. එසේ ම මේ අංකය තිබීමෙන් අදාළ ප්‍රකාශනයට දේශීය මෙන් ම ජාත්‍යන්තරව ද වටිනාකමක් එක්වන බැවින් ප්‍රකාශකයන්ට, පොත් වෙළෙඳුන්ට, පුස්තකාල හා තොරතුරු මධ්‍යස්ථානවලට වාසි රැසක් ගෙන දෙයි. ඒ අනුව ප්‍රකාශකයන් වෙනුවෙන් සංස්කාරක හෝ කර්තෘ මණ්ඩලය කළමනාකරණයේ දී, ගිවිසුම් කටයුතු කිරීමේ දී, ගණනය කිරීම්වල දී, ගබඩා තොරතුරු පාලනයේ දී, කළමනාකරණයේ දී, ප්‍රකාශන ඇනවුම් කිරීමේ දී හා අලෙවි කිරීමේ දී නව තාක්ෂණය හා බද්ධ වී විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සැපැයුම් කටයුතු කිරීමේ දී, ප්‍රකාශන අයිතිය තහවුරු කිරීමේ දී මෙන් ම ප්‍රකාශකයන්ට ද අන්තර්ජාතික වශයෙන් ප්‍රචාරයක් ලැබීම යනාදී වාසි රැසක් අත්වන බැවින් මේ අංකය යෙදීම මඟින් ප්‍රකාශනයක් සඳහා ගුණාත්මක වටිනාකමක් හිමි වේ. එසේ ම මේ මඟින් කිසියම් ප්‍රකාශනයක් තරමක සමීක්ෂණයකට ලක්වන හෙයින්, ප්‍රකාශනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවෙන බව කිව හැකි ය. මෙය ජාත්‍යන්තරව ජාලයක් තුළන් විධිමත්ව සංවිධානය වී, වාර්ෂිකව අන්තර්ජාතිකව හා කලාපීය වශයෙන් මේ සම්බන්ධයෙන් අදාළ රටවල නියෝජිතයන් රැස්වී සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වයි. 2015 වසරේ දී වාර්ෂික සමුළුව ඉන්දුනීසියාවේ පවත්වා තිබේ. ඒ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් ද නිලධාරියෙක් සහභාගී වී ඇත. මේ ප්‍රමිති අංකය දීමේ දී හා භාවිතයේ දී ඇති ගැටලු සාකච්ඡා කිරීම නිසා, ප්‍රකාශන ක්ෂේත්‍රයේ දී මේ අංකය ඉතාම වැදගත් වේ. එබැවින් මේ සියල්ලෙන් ම දිස්වන්නේ මෙහි ඇති අන්තර්ජාතික වටිනාකම හේතුවෙන් ප්‍රකාශනවල ගුණාත්මක තත්ත්වය වැඩිදියුණු කිරීමට මේ අංකය ප්‍රකාශන සඳහා යෙදීම ඉතා වැදගත් බව ය.

විජය ප්‍රේමදර්ශන

සහකාර අධ්‍යක්ෂ/අංශ ප්‍රධාන

ක්‍රමෝපාය සැලසුම් අංශය

ජාතික පුස්තකාල හා

ප්‍රලේඛන සේවා මණ්ඩලය

අදහස් 1ක් ඇත

ශ්‍රී ලංකාව තුල පුද්ගලිකව පොතක් ලියු කෙනෙකු ISBN අංකය ලබා ගන්නේ කෙසේද

නව අදහස දක්වන්න