ඇෆ්ගන් අධ්‍යාපනවේදියා නිදහස් කරන්නැයි ක්ෂමා සංවිධානය තලේබාන් රජයෙන් ඉල්ලයි | දිනමිණ

ඇෆ්ගන් අධ්‍යාපනවේදියා නිදහස් කරන්නැයි ක්ෂමා සංවිධානය තලේබාන් රජයෙන් ඉල්ලයි

මාස තුනකට අධික කාලයක් පුරා රඳවා තබාගෙන සිටින ඇෆ්ගනිස්තානයේ කීර්තිමත් අධ්‍යාපනඥයකු වන මතියුල්ලා වෙසා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය තලේබාන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය මාර්තු මස අගභාගයේදී තලේබාන් බුද්ධි ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ නැමදුමට සහභාගි වී දේවස්ථානයේ සිට නැවත නිවෙස බලා පැමිණෙමින් සිටියදීය.

ඇෆ්ගනිස්තානයේ දැරිවියන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟූ මේ විද්වතා ඒ සඳහා ‘පෙන් පාත්‘ නමින් සංවිධානයක් ද ආරම්භ කර තිබූ අතර, අත්අඩංගුවට පත්වීමෙන් පසු මේ දක්වා ඔහු සමඟ කතාබහ කිරීමට පවා පවුලේ සාමාජිකයන්ට අවසර ලැබී නැතැයි වැඩිදුරටත් වාර්තා වේ.

මතියුල්ලා දිගින් දිගටම රඳවා තබා ගැනීම ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ සාමකාමී රැස්වීම් පැවැත්වීමේ අයිතිවාසිකම් පැහැදිලිවම උල්ලංඝනය කිරිමක් බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය තලේබාන් රජයට දැනුම් දී තිබේ.

නව අදහස දක්වන්න