කසළ මලු තොගයක් පෝදා පරිසරයට මුදාහරින්න හැදූ අයට දඬුවම් | දිනමිණ

කසළ මලු තොගයක් පෝදා පරිසරයට මුදාහරින්න හැදූ අයට දඬුවම්

ඇසළ පුන් පෝදා කඩවත සාන්ත ඇන්ඩෲස් මාවතට කසළ මලු තොගයක් පටවාගෙන පැමිණි සැකකරුවන් සිවුදෙනෙකු සහ එම ලොරි රථය ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයට ගෙන කඩවත පොලිසියට භාරදීමේ පුවතක් කඩවත පොලිසියෙන් වාර්තා වේ.

කඩවත නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි අව්ලෙයි අන්ද්‍රීනු දේවස්ථානය අසල ඇන්ඩෲස් මාවතේ කාලයක් මුළුල්ලේ සිදුකළ කසළ බැහැර කිරීමේ ජාවාරමේ සැකකරුවන් ප්‍රදේශවාසීන් විසින් රැකවල්ලා සිට අල්ලා කඩවත පොලිසිය වෙත භාරදී ඇත.

කසළ මළු පුරවාගෙන පැමිණි ඩිමෝ බට්ටා වර්ගයට අයත් කුඩා ලොරි රථය සහ එහි සිටි සැකකරුවන් සිවුදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පුද්ගලයන් පිළියන්දල, මස්කෙළිය, පස්සර, ලුණුගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් යැයි පොලිසිය පැවසීය.

කාලයක් මුළුල්ලේ සිදුකරගෙන ගොස් ඇති මෙම කසළ බැහැර කිරීමේ ජාවාරම ප්‍රදේශවාසීන්ට ඉමහත් පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබී ඇත. ඇසළ පුර පසළොස්වක පෝදා නිවෙස්වලට වී රැකවල්ලා සිටි ප්‍රදේශවාසීන් මෙලෙස කසළ පුරවාගෙන පැමිණි ලොරිය සහ සැකකරුවන් සැඟව සිට වටලා කඩවත පොලිසියට භාරදී තිබේ. සැකකරුවන් සිවුදෙනා කඩවත පොලිසියේ උපපොලිස් පරීක්ෂක රණතුංග මහතා විසින් කඩවත මහර අධිකරණයේ අංක එක අධිකරණ විනිසුරු සමන් පරණලියනගේ මහතා වෙත 4 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 4000.00 බැගින් දඩ මුදල් අය කර අවවාද කර මුදා හැර ඇත.

රාගම සමූහ - කේ. එස්. හැන්නදි

නව අදහස දක්වන්න