ගල්කිස්ස අධිකරණයේදී වෙඩි තැබූ අය සහ මෙහෙයවූ පුද්ගලයා කොටු | දිනමිණ

ගල්කිස්ස අධිකරණයේදී වෙඩි තැබූ අය සහ මෙහෙයවූ පුද්ගලයා කොටු

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට පැමිනි පුද්ගලයා සහ එය මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය කියයි. එම සැකකරුවන් සමඟ වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය සහ රුපියල් ලක්ෂ 13ක මුදලක් ද පොලිස් බාරයට ගෙන ඇත. ඉකුත් වසරේ අගෝස්තු 4 වන දින මෙම වෙඩි තැබීම සිදු වූ අතර එහිදී කිසිවෙකුටත් තුවාල සිදු නොවූ බවත් වෙඩිකරු අහසට ද වෙඩි තබා පලා ගිය බවත් පොලිසිය කියයි.

එම වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති සි ඩි වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මගින් විමර්ශන පැවැත්විණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව ඉකුත් 29 වැනි දින එම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා හෝමාගම දී අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී හරක් කටා නැමැත්තාගේ ප්‍රධාන අනුගාමිකයෙකු ලෙස කටයුතු කරන ඩුබායිහි සැඟවී සිටින රුවන් නමැත්තා එය සැලසුම් කළ බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ වෙනුවෙන් රුවන් නමැත්තා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට එකඟ වූ බවත් ඒ අනුව වෙඩික්කරු ලෙස පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයකු තමන් විසින් තෝරා ගත් බවත් හෝමාගම දී අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය සහ ඒ වෙනුවෙන් ලබාදීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 13ක මුදලක් සොයා ගැනිණි. සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න