ඩයස්පෝරාවේ පිනුම් අප්පු | දිනමිණ

ඩයස්පෝරාවේ පිනුම් අප්පු

දකුණු මෙක්සිකෝවේ සෙන් පෙඩ්රෝ හුවාමිලුලාහි නගරාධිපති ඇලිසියා ඇඩ්රියානා කිඹුලියක සහේට ගත්තේය. ඒවාගේ කතා ඉන්දියාවෙන් ද ඉඳහිට වාර්තා වන්නේය. ඔහොම ඒවා දකින විට ‘සතා මොකාදැයි’ හඳුනා ගැනීමේ අපහසුකමක් අපට පළමුව එයි. මේවා ඒ රටවල සම්ප්‍රදායන් මිස ‘පවුල් කන ජාතියේ’ කසාද නොවේ. වසර 230ක පමණ සිට මෙක්සිකෝවේ මේ චාරිත්‍රය පැවත එන්නේය. නගරාධිපති ඇලිසියාගේ දෙවන කිඹුල් විවාහය මෙයය. එතැනදී මොකක් වෙන්නේ දැයි කිඹුලා දන්නේ නැත. යම් චාරිත්‍රයක් සඳහා මිනිස්සු ඌව යොදා ගන්නවා හැර, කිඹුලියගේ පාර්ශ්වයෙන් එය වධයක් මිස කසාදයක් වන්නේ ද නැත. මෙහෙම කිඹුලියක සමඟ විවාහ වීම, මෙක්සිකෝව සලකන්නේ, සෞභාග්‍යයේ සලකුණක් ලෙසය.

එහෙම උත්සවාකාරයෙන් සිදුවෙන විවාහ පිළිබඳව කතා ශ්‍රී ලංකාවේ නැතත්, සත්තු සමඟ දේශපාලන කසාද නම් ශ්‍රී ලංකාවේ අඩු නැත. එහෙම මනාලයෙකු පෙරේදා අධි ඇසළ පොහෝ දින, පලාලි, කන්කසන්තුරේ, කලෙයිමගල් පාරේ රඟන්නට විය. එස්. ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා මෙහෙම නැටුමක්, ළඟ ළඟ නැටූ දෙවැනි වාරය මෙයයි. අවුරුදු තිහකට වැඩි කාලයක් ලංකා පොළොව රත් පැහැ කළ කොටි පිල්ලිය පරාජය කර ඇත්තේ නමුදු, මේ ජාතියේ මනාලයෝ තවමත් කොටි හොල්මන් විවාහ කරගෙන, දේශපාලන වශයෙන් පවුල් කන්නෝය.

පෝය දවස යනු සීලය සඳහා මුල්තැන දෙමින්, බෞද්ධ උවැසි උවැසියෝ ගත කරන දිනය ය. එහෙවු දිනයේ ගජේන්ද්‍රන් නම් ‘මළ කොටියෙකු’ සමඟ දීග කන, ‘ලෙඩා’ තිස්ස රජ මහා විහාරය අවට රඟන්නට විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යාපනයේ සංචාරයක නිරත වූයේ, එහි ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුම් සොයන අටියෙනි. නිදහස් දින සමරුව මුල් කර ගනිමින් ජනාධිපතිවරයා යාපනයේ ජනතාව සමඟ කතා බහ කරන විට, සිය අඩවියට පිටින් එකෙක් බැස්සා යන හැඟීම, මේ දෙමළ වර්ගවාදී ඔළුවට කාන්දු විය. අහල පහලින් අහුලා ගත් දහයක විස්සක සෙනඟක් සමඟ මන්ත්‍රීවරයා එළියට බැස ජනපති යාපනයේ ඒමට විරෝධතා දක්වන්නට විය. අනෙක් ගම් නියම් ගම්හි උදවිය නිතර කියන්නේ අපේ ප්‍රශ්න ඇසීම සඳහා මන්ත්‍රී කෙනෙක් හෝ නොඑන බවය. එහෙම තිබියදී, ජනාධිපති යාපනයේ ගිය විට, මේකාගේ වයර් ෂෝට් වන්නේය.

සියමෙන් උපසම්පදාව ගෙනැවිත් වසර 270ක් ගත වන විට, ඒ සඳහා තායි හිමිවරු පනස් නමක්, වසර දෙසිය හැත්තෑවකට පෙර ආ මාර්ගයේම, ලක්දිවට යළි වැඩම කළහ. මේකාගේ වයර් යළිත් ෂෝට් විය. ගජේන්ද්‍රන්කාරයා, වටේ සිට දහය පහළොව සමඟ ත්‍රිකුණාමලයේ ඒ හිමිවරු ගොඩබසින තැනට ඇවිත්, ඊට විරෝධය දක්වන්නට වූහ.

මේ ඡන්ද පදනම් ඇති මහජන නියෝජිතයෝ නොවේ. එදා මේ සතා, වටේ සිටින දහය දොළහ සමඟ තිස්ස විහාරයට ගොස් එහි පොහෝදා වැඩසටහන කඩාකප්පල් කරන විට, ඒ ගමේ කිසිවෙකු ඒ වැඩේට සම්බන්ධ නොවූහ. ගම් වැසියන්ට තිස්ස රජමහා විහාරය සමඟ එහෙම ආරියාදුවක් නැත. එහෙවු පරිසරයක් තිබියදී ‘මේ සතා ඇවිස්සී’ ඇත්තේ ඇයි යන ප්‍රශ්නය අපිට තිබේ. සමහර විට ප්‍රතිකාර නොලැබීමේ තත්ත්වයක් නිසා මෙහෙම ඉබාගාතේ දුවනවා ඇත. හිස කුඩිච්චියක් හෝ හැකි ආකාරයට දමා, මේ ලෙඩේට බෙහෙත් සොයාදීම, දන්නා කියන අයට භාර කරමු. අනෙක් අතට ඩයස්පෝරාව ඉදිරියේ වලිගය වැනීම සඳහා මෙහෙම කරනවාද ඇත. ඕවා හොඳ ඉල්ලම්ය. ප්‍රභාකරන් තවම ජීවතුන් අතර ඇතැයි සිතා ජීවත් වෙන ඩයස්පෝරාවේ හැත්ත, මේ ජාතියේ සෙල්ලම් ප්‍රිය කරන්නේය. “නැන්දම්මලාගේ ගෙදර යන හැටි පෙන්නපන් පුතා...” ආදී ලෙස කියන විට රිළා මොටා, පිරිස මැද්දේ, කෝට්ටක් කරේ තබාගෙන ඇවිදින්නේය. එහෙම කළහම, කුණු කෙසෙල් ගෙඩියක් ලැබෙන්නේය. ඒ විදිහට ‘මේ සතා’ රඟනවා ඇත.

එහෙම ආදායම් මාර්ගයක් සඳහා මේ යකා බිල්ලට ගන්නේ, මේ රටේ සහජීවනය ය; ආගම ඇදහීමේ නිදහසය. ඔය ජාතියේ ‘මොටයියන්’ එළියට එන විට, උගුල්ලා දැමීම ආණ්ඩුවේ වගකීමය.

තිස්ස රජ මහා විහාරය යනු වල්ලිපුරම් රන් පතේද සඳහන්ව ඇති මහ වෙහෙර බිමකි. තිස්ස විහාරයට අක්කර හතහමාරක භූමියක් පැවැති බව මුල්ම සිතියම් අධ්‍යයනයේදී පෙනී යයි. දේවානම් පියතිස්ස රජු බුදුදහම වැලඳ, පළමු වසර ඇතුළත යාපාපටුනේ ඉදි කළ විහාර ලෙස දඹකොළපටුන, කඳුරුගොඩ, හා තිස්ස විහාරය හඳුන්වන බව මහා වංශයේ විසිවැනි පරිච්ඡේදයේ සඳහන් වේ. එවන් බිම්කඩක් ඉදිරියේ, කොටි සම්කඩ එළාගෙන, මේකා රඟන්නේ, මේ පන්සල ගලවා දමන්න කියාදැයි ප්‍රශ්න කළ යුතුය. උතුරු සහ නැඟෙනහිර දෙපළාතේ විහාරයක උළු කැටයක් මාරු කිරීම සඳහා ද මේ ‘සතාලාගේ’අවසරය දැන් ගත යුතු තත්ත්වයක් තිබේ.

සාමය කඩවීම, සංහිඳියාවට හානිවීමට වඩා මේ ජාතියේ ගේම්වල අවුල් තිබේ. දොරේ අප්පාට වෙඩි තබා පටන් ගත් එක් නැටුමක් අහවර වූයේ, ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය, මේ පොළොවේ බිහිවීමෙනි. ඒ නිසා මෙවන් ‘සතුන්’ කල් තබාම අදාළ ස්ථානවලට ගාල් කළ යුත්තේය.

නව අදහස දක්වන්න