උස්වැටකෙයියාවේ හොර දොස්තර 18 තෙක් රිමාන්ඩ් | දිනමිණ

උස්වැටකෙයියාවේ හොර දොස්තර 18 තෙක් රිමාන්ඩ්

නෙල්කා මැදගෙදර

ලියාපදිංචි වෛද්‍යවරයකු බව හඟවමින් නීති විරෝධී අන්දමින් වසර දෙකක කාලයක් වෛද්‍ය වෘත්තියේ යෙදුණු වෛද්‍යවරයකු නොවන පුද්ගලයකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (04) නියම කළේය.

ලියාපදිංචි වෛද්‍යවරුන් දෙදෙනකුගේ නම්වලින් පෙනී සිටිමින් උස්වැටකෙයියාව වෛද්‍ය මධ්‍යස්ථානයක දී රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටිය දී අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කරන ලද ජා-ඇළ කණුවන සහ කොළඹ 12 ආමර් වීදියේ පදිංචි ඉලිප්පුල ආරච්චිගේ විශාක විශ්වජිත් පෙරේරා (55) නමැත්තා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලදී.

වෛද්‍යවරයකු බව හඟවමින් නීති විරෝධී ලෙස වෛද්‍ය වෘත්තියේ යෙදුණු මෙම පුද්ගලයා සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කළ යුතු බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක 01 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය දෙන ලදී.

මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කරන ලෙසද

කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක 01යට නියම කරන ලදී. වෛද්‍යවරයකු නොවන බව දැන සිටියදීම තමා වෛද්‍යවරයකු බව හඟවමින් පුද්ගලයකු නීති විරෝධී වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක 01 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත මහතාට ලැබුණු තොරතුරකට අනුව වැටලීම කර ඇති බව එම කොට්ඨාසය අධිකරණයට වාර්තා කළේය.

පොලිස් නිලධාරියකු උපාය දූතයකු ලෙස යොදවා වෛද්‍ය ප්‍රතිකාර හා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමට යොමුකර සිදු කළ විමර්ශනවලදී හෙළිවූ තොරතුරුවලට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

වෛද්‍යවරුන් දෙදෙනකුගේ නම්වලින් පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටිය දී සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහු ළඟ තිබී ව්‍යාජ නම් දෙකක් සඳහන් ලන්ඩන්, රුසියා සහ මෙරට උපාධි තුනක් ඇති වෛද්‍යවරයකු බව සඳහන් නිල මුද්‍රා 3ක් පොලිස් භාරයට ගෙන ඇතැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.

‘යුකේ” හෙල්ත් සෙන්ටර්’ නමැති වෛද්‍ය මධ්‍යස්ථානයේ නමින් හා ව්‍යාජ නම් දෙකකින් ලියාපදිංචි විස්තර සඳහා ලිපි ශීර්ෂ පත්‍රිකා, මරණ සහතික කිරීමේ පෝරම, රෝගීන්ට වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ කිරීමට නිර්දේශ කිරීම සඳහා භාවිත කරන පත්‍රිකා තොගයක් සොයා ගත් බව පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා එහි දී සඳහන් කළේය.

සැකකරු මීට පෙර වෛද්‍යවරයකු යටතේ සේවය කර ඇති බවත් මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඊට අමතරව ඔහුට වෙනත් කිසිම සුදුසුකමක් නැති බව එහි දී සඳහන් කෙරිණ.

සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කළ යුතු බව දැනුම් දුන් පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියේය. කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම කළේය.

නව අදහස දක්වන්න