TAAI සමුළුව නැවතත් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් | දිනමිණ

TAAI සමුළුව නැවතත් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම්

ඉන්දියාවේ විශාලතම සංචාරක සංවිධානයවන ඉන්දියානු සංචාරක නියෝජිතයන්ගේ සංගමය (Travel Agents Association of India - TAAI) වසර 18කට පසුව නැවතත් සිය වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
 
67වන වරට පැවැත්වෙන මෙම සමුළුව සඳහා එම සංගමය ශ්‍රී ලංකන් ගුවන්සේවය සමග අත්වැල් බැඳගෙන සිටී. 2023 ජූලි 06දින සිට ජූලි 09දින දක්වා කොළඹදී මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
 
සාමාන්‍යයෙන් මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයන් අතරින් 45% ක් පමණම ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කරති.
 
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින ගුවන් සේවයක් වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මේ ආකාරයට ඉන්දියාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වාර්ෂික සමුළුව සමග අත්වැල් බැඳ ගැනීමට කටයුතු කර ඇති අතර, මෙය අභියෝගකාරී වසර කිහිපයකින් අනතුරුව ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම නැවත වර්ධනය කරගැනීමට ලැබෙන අගනා අවස්ථාවක්වනු නිසැකය.
 
ගුවන්සේවාවන්, සංචාරක සේවා සමාගම්, හෝටල් සහ ප්‍රවාහන සමාගම් ඇතුළු පාර්ශ්ව රැසක් සාමාජිකත්වය දරන TAAI සංගමය, ඉන්දියාවේ සංචාරක සේවා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපීපෙනෙන කාර්ය භාරයක් ඉටුකරයි. 
 
මෙම වසරේ සමුළුවට සමාගම් 450ක් සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් 50ක් පමණ සහභාගීවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ අතරින් සැලකිය යුතු පිරිසක් ශ්‍රීලංකාවට පැමිණීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරනු ඇත. මෙම සමුළුව සත්කාරක රටට දැවැන්ත ප්‍රචාරයක් ලබාදෙමින් එරට සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට සමත්වන සමුළුවක් ලෙස සැලකේ.
 
TAAI 2023සමුළුවේ ප්‍රධාන තේමාව කලාපීය සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමවන අතර, එය ශ්‍රී ලංකන් ගුවන් සේවය කලාපය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමෝපායට සමගාමීවේ.
 
ඉන්දියානු සාගරයේ සුවිශේෂී ස්ථානයක පිහිටා තිබීම නිසා ශ්‍රී ලංකාව ඉන්දියාවට උතුරින්, නැගෙනහිරින් සහ බටහිරින් පිහිටි රටවල් යා කරන කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිතා කිරීම පහසුය. මේ නිසාම ආසියාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ මාලදිවයින වෙත ගමන් කරන ඉන්දියානු සංචාරකයන් අතර ජනප්‍රියම අතරමැදි ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇත. මේ වනවිට ශ්‍රීලංකන් ගුවන්සේවය ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, බැංගලෝර්, හයිද්‍රාබාද්, කොචි, ත්‍රිවේන්ද්‍රම්, චෙන්නායි, ට්‍රිචි සහ මදුරෙයි අතර සතිපතා ගමන් වාර 85ක් ක්‍රියාත්මක කරයි.
 

නව අදහස දක්වන්න